brand logo

මරණ දඬුවම නියමව වසර 15ක් හිරේ සිටි තිදෙනාට නිදහස

19 February 2020

මිනීමැරීමේ චෝදනාවකට මාතර මහාධිකරණයෙන් මරණ දඬුවම නියම වී වසර 15කට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි තිදෙනකු අභියාචනාධිකරණය මගින් ඊයේ (18 වැනිදා) නිදොස් කොට නිදහස් කළේය. දයාරත්න විජේසුන්දර, වැල්ලපිලියේ සමන් හෙවත් කොන්ඩ සමන්, සුබසිංහගේ ප්‍රේමසිරි විත්තිකරු තිදෙනායි. ඔවුන් මාතර ලේල්වල කටුමැටියාන පදිංචිකරුවෝ වෙති. අභියාචනාධිකරණය විත්තිකරුවන් නිදහස් කිරීමට තීරණය කළේ මාතර මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව ගොනුකර තිබූ ඇපෑල විභාග කිරීමෙන් අනතුරුවයි. අචල වෙංගප්පුලි සහ ආචාර්ය රුවන් ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඇපෑල විභාග විය. වික්‍රමආරච්චි කන්කානම්ගේ ජිනදාස මියගිය තැනැත්තායි. 2005 අප්‍රේල් 8 වැනිදා මිනීමැරුම සිදුවී ඇත. එදින රාත්‍රියේ 7.30ට පමණ නිවසට ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් තිදෙනෙක් ජිනදාස යන අයට පිහියකින් ඇන ඔහු මරා දමා ඔහුගේ බිරිඳට හා දියණියට තුවාල සිදුකර ඔවුන් සතුව තිබූ මුදල් සහ රන් ආභරණ කොල්ලකා පලාගොස් ඇත. ඇපෑල විභාග කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ සන්සුන්ව දිවි ගෙවූ අසරණ දරු පවුලක පියාට ජීවිත අහිමි කිරීම ඉතා කෲර පිළිකුල් සහගත සිද්ධියක් නමුත් ඒ අපරාධය සිදුකළේ කවුරුන්ද යන්න නිසැකව හඳුනාගෙන නැති බවයි. සිද්ධිය ඇසින් දුටු බව කියන මියගිය තැනැත්තාගේ බිරිඳ සීලවතී සහ දියණිය මාතර මහාධිකරණය හමුවේ දී ඇති සාක්ෂි එකිනෙකට වෙනස් බවත් සීලවතීගේ සාක්ෂිය මාතර මහාධිකරණය විසින් ප්‍රතික්​ෂේප කරනු ලැබ ඇති බවත් මෙහිදී කියැවිණි. විත්තිකරුවන් හඳුනාගත් ආකාරය පිළිබඳව දුන් සාක්ෂිය උසාවියකට පිළිගත නොහැකි බවද එනිසා විත්තිකරුවන් නිදහස් කිරීමට තීරණය කළ බවද විනිසුරු වෙන්ගප්පුලි, විනිසුරු ආචාර්ය ප්‍රනාන්දුගේ එකඟත්වය ඇතිව ලියා ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කර ඇත. අධිනීතිඥ නිහාල් ගුණසිංහ 1 වැනි විත්තිකරු වෙනුවෙන්ද අධිනීතිඥ චන්දන ශ්‍රී නිශ්ශංක 2 වැනි විත්තිකරු වෙනුවෙන්ද අධිනීතිඥ අමිල පල්ලියගේ නිහාර රන්දෙණිය සංදීපානි විජේසූරිය සහ දුමින්ද අල්විස් යන නීතිඥවරු 3 වැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියහ. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර නීතිපති වෙනුවෙන් පැමිණිල්ලට පෙනී සිටියේය.   සරත් ධර්මසේන
 

More News..