brand logo

මම ඒ් ආදරේ ප්‍රකාශ කරලා නෑ හිතේම තියාගෙන ඉන්නවා

07 June 2021

යුරේනි නොෂිකා කියන්නේ කා අතරත් ජනප්‍රිය රූමත් රංගන ශිල්පිනියක් සේම කටකාර නිවේදිකාවක්. මේ දිනවල යුරේනි මොකද කරන්නේ කියලා දැන ගන්න අපි යුරේනිට කතා කළා.

මේ දවස්වල මොකද වෙන්නේ?

මෙගා ස්ටාර් එකේ වැඩ ටික කරනවා. කූඹියෝ-2 රූපගතකිරීම් පටන් ගන්නවා කියලා කිව්වා. වැඩිපුර ගෙදර ඉන්න නිසා පොත් කියවනවා. ඉඳලා හිටලා චිත්‍රපටයකුත් බලනවා.

චරිත තෝරලා ද රඟපාන්නේ?

අනිවාර්යෙන්ම. ඒ පිටපත කියවද්දී මට ලැබුණු චරිතය මැවිලා පේන්න ඕනේ. එතකොට තමා මට දැනෙන්නේ චරිතය මගේ ඇඟේ දුවනවා කියන එක. පිටපත තුළින් ඒ චරිතය මට මවාගන්න බැරි නම් මම හිතනවා ඒ චරිතයට පණ පොවන්න බැහැ කියලා.

තරුණ කාලයට වඩා අත්දැකීම්වලින් පරිණත නිසා ටිකක් සීනිබෝල චරිතවලින් ඈත් වෙලා වෙනස්ම චරිතවලට පණ පොවන්නට කැමැතියි.

යුරේනි වැඩිපුර නිර්මාණවලින් දකින්න නැත්තේ ඇයි?

ටෙලි නිර්මාණ නම් බොහොමයකට ආරාධනා ලැබෙනවා. හුඟක් වෙලාවට මට ලැබෙන චරිත ගැඹුරක් නැති දෙබස් පමණක් කියන්න තියෙන ඒවා. ඒ නිසා එවැනි චරිත භාර නොගෙන ඉන්නවා. නමුත් සමාජයට පණිවිඩයක් දිය හැකි චරිතයක් ලැබුණොත් මම භාර ගන්නවා.

යුරේනි අයකරන ගාණ ටිකක් වැඩියි නේද?

තමන් කරන දේ ගැන තමන්ට විශ්වාසයක් තියෙනවා නම් සහ තමන් ඒකට වටිනාකමක් එක් කරනවා කියන එක තමන් දන්නවා නම් මිලක් නියම කරන්න පුළුවන්. තමන් ගැන අවතක්සේරුවකින් ඉන්න බැහැ කොයිම වෙලාවකවත්. එහෙම කියලා අධි තක්සේරුවෙන් හිතන්නත් හොඳ නැහැ. මට සාධාරණයි කියලා හිතෙන මිලක් මම නියම කරන්නේ.

මිල ගණන් නිසා මගහැරුණු හොඳ නිර්මාණ තියෙනවද?

මේ අවුරුදු 15 ඇතුළත එවැනි අවස්ථා තියෙනවා. සමහර වෙලාවට අපි ගන්න හැම ගන්න තීරණයම හරි වෙන්නේ නැහැනේ. එහෙම මගහැරුණු, මුදල් ගැන නොසිතා මේක කළා නම් කියලා හිතුණු අවස්ථා තියෙනවා.

සිනමාව පැත්තෙන් කතා කළොත්...

සිනමාව පැත්තෙන් නම් මට ආරාධනා ලැබෙන්නේ නැහැ.

ඇයි ඒ?

අනේ මන්දා, මම ඒකට හේතුවක් කියන්න දන්නේ නැහැ. මට ආරධනා දෙක තුනක් ආවත් ඒ චරිතවල‍ට මම අකමැති නිසා මම ඒවා භාර ගත්තේ නැහැ. මම කැමතියි සිනමාවට දායක වෙන්න. බලමු ඉදිරියේදී හෝ හොඳ ආරධනාවක් ආවොත් මම අනිවාර්යෙන්ම භාර ගන්නවා.

හැමදාම තනියම ඉන්නද කල්පනාව?

තනියම ඉන්න පුළුවන් තාක් කල් ඉන්නවා.

හිත නැවතුණ තැන් නැද්ද?

තියෙනවා. අතරමග හිත නැවතුණ තැන් තියෙනවා. සමහර තැන්වල හිත නැවතුණත් මම ඒ ආදරේ ප්‍රකාශ කරලා නැහැ. හිතේම තියාගෙන ඉන්නවා.

ඇයි ඒ?

සමහර දේවල්වලට අපි කැමති වුණා කියලා බැහැනේ. ඒ දේවල් ප්‍රායෝගික වෙන්නත් එපැයි. විවාහයට මනුස්සයෙක් තෝරා ගන්නකොට ජීවිත කාලයටම ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ සහ ඒ බැඳීම ප්‍රායෝගික වෙන්න ඕනේ.

මගේ හිත නැවතුණාට මගේ තියෙන දඟකාරකමට ඒ පුද්ගලයන් ජීවිත කාලයටම ගැළපෙන්නේ නැත්නම් වැඩක් නැහැනේ. ඒ නිසා එහෙම හිත නැවතුණ තැන් හිත ඇතුළෙම තියන් ඉඳලත් තියෙනවා.

 කොහොම කෙනෙක්ද යුරේනි හොයන්නේ?

මගේ ජීවිතයට වටිනාකමක් එකතු කළ හැකි කෙනෙක් විය යුතුයි. නැතුව මට එයාව බලාගන්න හෝ එයාගේ තනියට ඉන්න බැහැ. මගේ ජීවිතේ හැමදේම මම තනියම කරගෙන තනියම ආව ගමනක් තියෙන්නේ. ඒ නිසා මම විවාහ වුණු දවසට චුට්ටක් හරි මේ බර මගේ ඔළුවෙන් ගන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම මාව හිර කරලා තියන්නේ නැතුව මගේ වටිනාකම් දක්ෂතාවලට මගපෙන්වීමක් කරන කෙනෙක් වෙන්න ඕනේ. මම මැරෙනකම්ම කලාව එක්ක ඉඳියි. ඒක තමා කලාකරුවන් විදියට අපේ ලේ නහරවල දුවන්නේ. අනික මට ඉන්නේ ගොඩක් පිරිමි යාළුවෝ. ලංකා සමාජය දකින්නේ ගැහැනු ළමයෙක් සහ පිරිමි ළමයෙක්ට හොඳ යාළුවෝ වෙන්න බෑ. එහෙම නම් ඔවුන් අතර මොනවා හරි ඇති කියන වැරදි විදියට දකින්නේ. ඒ නිසා මාව හොඳින් තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ලැබුණු දවසට සමහර විට මමම ගිහින් අහයි මාව බඳින්න කැමතිද කියලා එතකල් මෙහෙම නිදහසේ ඉන්න කැමතියි.

යුරේනි වැඩිපුර වියදම් කරන්නේ මොනවටද?

ජිම් ඇඳුම්වලට. මොකද වැඩක් නැත්නම් වැඩිපුර ඉන්නේ ජිම් එක ඇතුළෙ නිසා මිල අධිකම දේවල් විදියට තියෙන්නේ ජිම් ඇඳුම්.

යුරේනි වාහනවලටත් කැමති කෙනෙක් නේද?

ඔව්. මම කැමතියි ස්පෝර්ට්ස් කාරවලට. දැන් මට තියෙන්නේ මර්සිඩීස් කන්වර්ට්බල් ස්පෝර්ට්ස් කාර් එකක්. තව ආසයි ඉතින් අප්ඩේට් කරන්න.

ස්පෝර්ට්ස් රේන්ජ් එකේ කාර් ඔක්කොම පැදලා ඉවර කරන්න ආසයි

ඒ කියන්නේ ළඟදීම වාහනේ මාරු කරන්න අදහසක් තියෙනවද?

අනේ නැහැ. මේ යන විදියට තව අවුරුදු දෙකකටවත් වාහනේ මාරු වෙන එකක් නැහැ. මේක අරගෙනත් අවුරුදු දෙකක් වගේ වෙන්නේ. හැබැයි ඉතින් ඉස්සරහට මම ආසයි ස්පෝර්ට්ස් රේන්ජ් එකේ ඔක්කොම කාර් පැදලා ඉවර කරන්න.

යුරේනි ගැන හඳුන්වා දෙන්න කියලා යුරේනිටම කිව්වොත්...

මම සෝඩා බෝතලේ වගේ. හොස්ස ළඟින් මැස්සා යන්න බෑ. ඒක ඒ වෙලාවට විතරයි. ඒ ගැන මාව ළඟින් ආශ්‍රය කරන අය දන්නවා. මම හරි සැහැල්ලුවෙන් ඉන්න කැමති මිත්‍රශීලි කෙනෙක්. පුළුවන් හැමවිටම කාට හෝ උදව්වක් කරන්න කැමති හරි සංවේදී කෙනෙක්.

රූප මාධ්‍ය තුළින් දකිනවට වඩා වෙනස් චරිතයක් අතුළාන්තයෙන් බැලුවම. ජීවිතේ දිහා ධනාත්මකව බලලා ජීවිතය ගෙවන කෙනෙක්  මම .

අනුෂා රණසිංහ
 

More News..