brand logo

මම වෙනස් වුණා...

19 May 2020

අහිංසක පෙම්වතෙකුට මේ තරම් නපුරු වෙන්න මේ තරම්ම දඩබ්බර වෙන්න පුළුවන්ද? ඇත්තටම හැමදේම වෙනස්වෙන මේ මහපොළව මතදි මොනවද වෙනස් නොවෙන්නෙ? විශේෂයෙන්ම නළුවෙකුට වෙනස් වෙන්න බැරි නම් වෙන කාටද වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔහු අද වෙනස්වෙලා. ඔබ ආදරය කරන ඔහු සුරාජ් මාපා ඔබට අදහා ගන්න බැරි තරමට වෙනස් වෙලා. සුරාජ්ට සඳරු කියන්නෙ පෙර කළ චරිතවලට වඩා විශේෂ චරිතයක්ද? මට ලැබුණ හැම නිර්මාණයකදීම මම බලන්නෙ කලින් නිර්මාණයට වඩා හොඳින් කරන්න. මගේ රංගන දිවියේ මම එක නිර්මාණයක්වත් අතහරින්න කැමැති නැහැ. කලින් ජනප්‍රිය වුණ කලින් මිනිස්සු හොඳයි කියපු චරිතවලදි වගේම සඳරූගේ චරිතයත් වඩා හොඳින් කරන්නයි මම උත්සාහ කළේ. සඳරු ඉදිරියේ සුරාජ් ළඟ හිටි අහිංසක ආදරණීය පෙම්වතාව අතහැර දැමීම පහසු වුණාද? මේ චරිතයට මට කතා කරනකොට මම විදේශගත වෙලා හිටියේ. ශාන්ත අයියා මට කතා කරලා ඇහුවා දඩබ්බර චරිතයක් කරමුද කියලා. මම කිව්වා මම ආසයි කරමු කියල. මොකද මගේ අදහස මම වෘත්තිය නළුවෙක්. මට නිර්මාණ භාරගන්න කොට හැමදාම මිනිස්සු සතුටු කරන්න පුළුවන් චරිතම භාරගන්න බැහැ. අහිංසක ප්‍රේමවන්තයා කියලා කාලයක් මාව නම් කරලා තිබුණා මම ඒක හොඳටම කළා. මම හිතන්නෙ නැහැ මෑත කාලයේ ඒ තරම්ම අහිංසක පෙම්වතෙක් බිහිවුණා කියලා හැමෝම කිව්වා දැන් ඕක කළා ඇති කියලා. මටත් ඒකෙන් මිදෙන්න ඕන වෙලා තිබුණා. නමුත් කිසිම රංගන ශිල්පියකුට තමන්ට ඕන වෙලාවට එහෙම චරිතවලින් මිදෙන්න බැහැ. තමන්ට ලැබෙන චරිතයට ආදරය කරන්න තමයි සිද්ධ වෙන්නේ. ශාන්ත සොයිසා මහේෂ්, රත්සර මද්දුමආරච්චි කියන ටෙලිනාට්‍ය කලාවේ සුසංයෝගය මේ චරිතය භාර ගැනීමට විශේෂ කාරණාවක් වුණාද? ශාන්ත සොයිසා, මහේෂ් රත්සර මද්දුමආරච්චියි එකතුවෙලා කරන හැම නිර්මාණයක්ම ජනප්‍රිය වෙනව කියන තැන ඉඳල මම මේ නිර්මාණය භාරගත්තෙ නැහැ. කොහොමත් මම ආසයි ඔවුන් දෙදෙනාම වැඩ කරන විදිහට. මහේෂ් තම පිටපතට හරි අවංකයි. ඒ වගේම සමාජයේ ගැඹුරු තැන් ස්පර්ශ කරලයි ඔහු පිටපත ලියන්නෙ. ඒවා ඇතුළෙ ජීවිතය කියන දේ තියෙනව සහ ශාන්ත සොයිසා එක්ක වැඩ කරද්දි අනෙක් අධ්‍යක්ෂවරුන් වගේ ඔහු අපිට ගොඩක් කරදර කරන්නෙ නැහැ. ඔහු එක්ක වැඩ කිරීම හරිම තෘප්තිමත් අත්දැකීමක්. ඇත්තටම කලාකරුවකුට තෘප්තියක් නැත්නම් කලාව ඇතුළෙ වැඩ කරන එකේ තේරුමක් නැහැ. කලාවෙන් අපි මුදලට වඩා ලොකු තෘප්තියක් ලබනවා. ඒක මුදලින් තක්සේරු කරන්න බැරි වටිනාකමක්. ඔබට පෙම්බඳින රසික රසිකාවියන් ඔබගේ මේ වෙනස්වීම් භාරගෙන තිබෙන්නෙ කෙසේද? දුෂ්ටයා වුණත් දඩබ්බරයා වුණත් පෙම්වතා වුණත් මම කියන්නෙ ඔහු ඒ තත්ත්වයට පත්වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවනේ. මම විශ්වාස කරන්නේ අපි චරිතයට සාධාරණයක් කරනව කියන්නෙ චරිතය හොඳ තැනකට ගේන එක නෙවෙයි. මේ චරිත මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා වටහාගෙන අපි රඟපාන්න ඕන. මම දුෂ්ටයාගේ චරිතය රඟපෑවා කියල මට පෞද්ගලිකව බනින තැනක මගේ ප්‍රේක්ෂකයෝ නැහැ. ඒ අතර අනේ පව් කියන අයත් ඉන්නව. මට ආදරය කරන සහ මම රඟපාන නිර්මාණ අනිවාර්යයෙන් නරඹන ප්‍රේක්ෂක පිරිසක් මට ඉන්නවා. ඒ පිරිස මම කාලයක් තිස්සේ පරිස්සම් කරගෙන ආපු පිරිසක්. මම මොන ආකාරයෙ චරිත රඟපෑවත් ඒ පිරිස දිනෙන් දින වැඩිවුණා මිස අඩුවුණේ නැහැ. මේ ප්‍රේක්ෂක පිරිස හරිම බුද්ධිමත් කියන තැනයි මම ඉන්නේ. සුරාජ් මාපා චරිතයකට කැමැත්ත පළකරන්න පෙර හිතා බලන කරුණු මොනවද? සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂවරයා නිසා නාට්‍ය තෝර ගන්නවා. සමහර වෙලාවල පිටපත නිසා නාට්‍ය තෝරගන්නවා. හැබැයි දැන්නම් පිටපතයි අධ්‍යක්ෂවරයයි. දෙකම බලලයි නාට්‍ය තොරගන්නේ. මුලදී ඉතා හොඳ මට්ටමින් පටන් ගන්නා නිර්මාණ අතරමගදී හැරයන්න හිතෙන තැනට වැටෙන අවස්ථා ඇවිත් නැතිද? මම කවදාවත් නිර්මාණයක් දාලා ගිහින් නැහැ. මට කොච්චර ආසාධාරණකම් වුණත් මම භාරගත්ත චරිතය මගදී දාලා ගිහින් නැහැ කවදාවත්. සහය අධ්‍යක්ෂවරුන්ට ගහලා ගිහින් නැහැ. මම සහයෝගයෙන් සතුටින් වැඩ කරන කෙනෙක්. මම උත්සාහ කරනව පුළුවන් තරම් වෘත්තියමය මට්ටමෙන් නිර්මාණයක් ඇතුළෙදි වැඩ කරන්න. චරිතයක් වෙනුවෙන් පුහුණු වීම් කරලා මගේ උපරිම දායකත්වය දෙන්න. ඒ විදිහට කැපවීම් කරපු අවස්ථා තියෙනව. ඉදිරියෙදීත් එවන් කැපකිරීම් කරමින් හොඳ චරිත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව. පහුගිය අවුරුදු කිහිපය සුරාජ්ට විසල් අහිමිවීමක් සිදුකළා නේද? පහුගිය අවුරුදු හතර ගත්තම මගේ ජීවිතයේ වාසනාවන්ත කාලයක් නෙවෙයි. ප්‍රශ්න රාශියක් සමග පසු කළ කාලයක්. විශේෂයෙන්ම මීට අවුරුදු තුනකට කලින් මගේ පියා මියගියා. මීට අවුරුදු දෙකකට කලින් මගේ අම්ම මියගියා. මගේ මව්පිය දෙදෙනාම එක ළඟ වියෝවීම මට විශාල දුකක් ඇති වූ කාරණයක් වුණත්, මේ දේවල් මට දරාගෙන ඉන්න සිද්ධ වුණා. මගේ අක්කල දෙන්නා ඉන්නෙ වෙනත් රටවල් දෙකක. දෙමවුපිය වියෝව නිසා ඔවුන් ලංකාවට ආවත් ඔවුන්ගේ රැකියාවන් නිසා යළිත් ඒ රටවලට යන්න වුණා. මම මගේ රට ඇතුළෙ තනිවුණා. හැමදේම බලාගෙන අම්මයි තාත්තයි වෙනුවෙන් පින්කම් කරගෙන මම කාලය ගත කළා. අහිමිවීම් අතර ගෙවීගිය කාලය ජීවිතයට එක්කළ අත්දැකීම් මොනවද? ජීවිතයේ කටුක කාල අපි පසු කරන්න ඕන. මේ කාලේ ළඟ හිටපු අයත් මම පෙම් කළ අයත් මාව හැරගිය අවස්ථා තිබුණා. අම්මා තාත්තා කවද හරි නැති වෙනවා. යාළුවො අපිව දාලා යනවා. ආදරය කරන අය විවාහ වෙන්න බැරි නම් දාලා යන අවස්ථා තියෙනවා. ඒක සාමන්‍ය දෙයක්. මේ කාලයේ නිර්මාණවලිනුත් දුරස් වුණා. පහුගිය කාලෙ අපිට හොඳ නිර්මාණ ලැබුණෙ නැහැ. පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ කලාවට ලොකු හානියක් වුණා. සුරාජ් මේ අතර ව්‍යාපාරයකට අතගැහුවා කියන්නෙ ඇත්තද? ඔව් මම පහුගිය කාලයේ elsa නමින් ඇඟලුම් ව්‍යාපාරයක් පටන් ගත්තා. ඔඩෙල් ආයතනය සමගිනුයි මම මගේ නිෂ්පාදන අ​ෙලවි කරන්නේ. පහුගිය කාලයේ නිකුත් වූ හඬපට තුළ ඔබත් එක් චරිතයක් වූවා නේද? අපි ජනප්‍රිය වෙනකොට අපිට මේ හැම දෙයක්ම දරාගන්න පුළුවන් ශක්තියකුත් තියෙන්න ඕන. සමාජය අපිට හොඳ කියනව වගේම අපිට පහර ගහන අවස්ථාත් තිනෙව. ඒක මේ වෘත්තිය ඇතුළෙ එක ලක්ෂණයක්. මම සමාජයේ විවිධ පුද්ගලයෝ ආශ්‍රය කරනවා. ඒ මනුස්සකමට මිස වෙන දේකට නෙවෙයි. මිනිස්සුන්ට ආදරය කරන එක හොඳ දෙයක් මිස නරක දෙයක් විදිහට මම දකින්නෙ නැහැ. සමාජ මාධ්‍ය මේ දේවල්වලට ලොකු ප්‍රසිද්ධියක් ලබාදීම ගැන ඔබට පවසන්න තිබෙන්​නේ කුමක්ද? ගෙදර පඩික්කමෙනුත් ප්‍රයෝජනයක් තියෙනවනේ. මිනිස්සු සල්ලි හොයන්න දේවල් කරනව. හොඳට සල්ලි හම්බ කරන හිඟන්නො ඉන්නවනේ. ඔවුන් ඒක ව්‍යාපාරයක් විදිහට කරනවා. නමුත් කිළිටි ඇඳගෙන කැත කුණු ගොඩේ ඉඳන් සල්ලි හෙව්වට ඒ වෘත්තිය ඇතුළෙ තියෙන තෘප්තිය මොකක්ද ඒක කරුමයක් නේද? එහෙම මිනිස්සු හම්බ කරන්න ඕන නැහැ කියලා මම හිතනව. නරක දේවල්වලින් හම්බ කරන අයට මට කියන්න තියෙන්නෙ එච්චරයි, මම ඒවයින් සැලුනෙ නැහැ. මගේ ළඟින් ඉන්න අය දන්නව මම කව්ද කියලා. මම නිදහසේ ඉන්නව ඔය කියපු කතන්දර එකක්වත් භාරගන්නෙ නැහැ. සුරාජ් විවාහය කියන කාරණය ජිවිතයෙන් ප්‍රතික්ෂේප කර සිටින පුද්ගලයෙක්ද? විවාහය කියන දේ ජිවිතයකට අනිවාර්‌යෙන් අවශ්‍ය දෙයක් කියල මම හිතනව. නමුත් විවාහය කියන දේ නිසා තමන්ගෙ නිදහස නැතිකර ගන්නවට වඩා තමන්ට නිදහස ලැබෙන විවාහයක් කරගන්න එකයි මනුස්සයෙක් කරගන්න ඕන. මම අද ජීවිතයේ ගොඩක් දේවල් පහුකරගෙන ඇවිත් තේරුම් ඇති තැනකට ඇවිත් තියෙනව. මම දැකල තියෙනව රැඩිකල් කියන අයත් ජීවිතය තෙරුම්ගත්තා කියන අයත් අසාර්ථක විවාහ ජීවිත නිසා දුක් විඳිනව. විවාහය අවශ්‍ය දෙයක් හැබැයි විවාහ වෙන්න ඕන තමන්ව සතුටින් තියන කෙනෙක් සමගයි. සුරාජ්ව සතුටින් තැබිය හැකි ආදරයක් තවම හමුවුණේ නැතිද? ගොඩක් වෙලාවට මාව තෙරුම් ගන්න හරි අමාරුයි. මාව මතුපිටින් දැකල මාව මනින අයට මාත් එක්ක ජීවත් වෙන්න ගොඩක් අමාරුයි. මාව තෙරුම් අරන් ආශ්‍රය කරන්න පුළුවන් කෙනෙක් හම්බ වුණොත් මම විවාහ වෙනව. මම හරි කැමැතියි අවංකකමට. අද කාලෙ ආදරය කරද්දි සමහරු බොරු කියනවා. ආදරයෙදි මොන දේ වෙන්න හරි ඇත්ත කියන කෙනෙකුට මම කැමැතියි. ඔබ ආදරය කරද්දි ඕන දෙයක් වෙන්න කියල ඇත්තම කියපු කෙනෙක්ද? ජීවිතයෙන් අපි හැම වෙලාවෙම පාඩම් ඉගෙන ගන්නව .අප අතින් වැරදි වන අවස්ථා තියෙනවා. වැරදි නොවන අවස්ථා තියෙනවා. වැරදිවෙලා ආදරය අහිමිවුණ අවස්ථා තියෙනවා. අපි කව්රුත් හොඳ නැහැ. අපි වැරදියි. ඒත් වැරැද්දක් වුණාම ඒ වැරැද්ද තේරුම් අරගෙන හොඳ වෙන්න ඕනනේ. මම බොරු කියපු අවස්ථා තියෙනවා. මම වැරදි කරපු අවස්ථා තියෙනව. ඒවායින් පාඩම් ඉගෙන ගෙන ඉදිරියේදී වැරදි හදාගෙන ජීවිතය හොඳ තැනකට ගේන්න බලනවා. ධම්මිකා සුරංජි පතිරණ ඡායාරූප - හේමාල් පෙරේරා
 

More News..