brand logo

මම පක්ෂ නායකත්වයට සුදුසුද කියා තීරණය කළ යුත්තේ පාක්ෂිකයා - රුවන් විජයවර්ධන

02 March 2019

ජනමාධ්‍ය ඇමැතිකම ඔබ ඉල්ලුවද? එහෙමත් නැත්නම් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා විසින් මේ තනතුර භාරගන්න ලෙසට ඉල්ලීමක් කළාද? අගමැතිතුමා තමයි මේ යෝජනාව මුලින්ම කළේ. එය සිදුවෙලා දැන් වසරකටත් වැඩියි. ඒත් ඒ වෙලාවේ මම රාජ්‍ය ආරක්ෂක ඇමැතිකමේම ඉන්න කැමැත්ත පළ කළා. නමුත් ඊට පස්සේ මාධ්‍ය ක්ෂේත්‍රයේ කලබල ඇතිවුණු පසුගිය කාලයේදී නැවතත් අගමැතිතුමා කතා කරලා කිව්වා ජනමාධ්‍ය ඇමැතිකමට මම ඔබේ නම යෝජනා කරනවා කියලා. ඒ අවස්ථාවේදී මට අගමැතිතුමාගේ ඒ යෝජනාවට පිටුපාන්න බැරි නිසා මගේ කැමැත්ත පළ කළා. අගමැති කළ ඉල්ලීමට ජනාධිපතිවරයාත් පූර්ණ ආශිර්වාදය ලබාදෙමින් යහපත් ලෙස ප්‍රතිචාර දැක්වූවා. මා කෙරෙහි ඒ දෙපළටම තිබෙන විශ්වාසය නිසා මේ තනතුර මට ලබාදෙන්න ඇති. ජනමාධ්‍ය කියන්නේ සිව්වැනි රජය කියලයි කියන්නේ? ඒත් ඒකට කැබිනට් ඇමැතිකමක් නැහැ. ඔබ කැබිනට් ඇමැතිකමට පොඩි වැඩිද? එහෙම දෙයක් නැහැ. දැන් ආණ්ඩුවේ කැබිනට් තනතුරු සීමාවෙලා තියෙන්නේ. අගමැතිතුමාටත් ඒ සීමාව තුළ වැඩ කරන්න වෙලා තියෙන්නේ. අගමැතිතුමාට අවශ්‍ය වෙලා තිබුණා ජනමාධ්‍යයට කැබිනට් ඇමැතිවරයෙක් පත් කරන්න. ඒත් සීමාව නිසා තමයි ජනමාධ්‍ය විෂය එළියට අරගෙන කැබිනට් නොවන අමාත්‍ය ධුරයකට මාව පත් කළේ. ඇත්තටම කැබිනට් අමාත්‍ය තනතුරක් නොවුණට මට ඉහළින් කවුරුත් නැහැ. මම තමයි අමාත්‍යවරයා. හැබැයි අමාත්‍යාංශයේ යෝජනා කැබිනට් එකට ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් එය සිදුවන්නේ ජනාධිපති කාර්යාලය හරහා. නමුත් ඇමැති හැටියට මට පූර්ණ බලතල තියෙනවා අවශ්‍ය පරිදි කටයුතු කරන්න. ඔබේ පරම්පරාව මාධ්‍ය දැවැන්තයෝ. වර්තමානයේදීත් තත්ත්වය එහෙමමයි. මේ ඇමැතිකම ළබැඳියාවන් අතර ගැටුමකට හේතු වෙන්න බැරිද? ඇයි එහෙම හිතන්නේ? මම මුලින්ම විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව ඉගෙන ගත්තේ. ඊට පස්සේ පශ්චාත් උපාධියක් විදිහට මාධ්‍ය විෂය හැදෑරුවා. ඒ එංගලන්තයේ සිටි විශ්වවිද්‍යාලයේ. ඒක හදාරන ගමන්ම ලංකාවට ඇවිත් මුලින්ම ඩේලි මිරර් පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට අවුරුද්දකටත් වැඩි කාලයක් කටයුතු කළා. මාධ්‍ය පළපුරුද්ද මට මුලින්ම ලැබුණේ එතැනදි. මගේ සීයා ඩී.ආර්. විජේවර්ධන මහතා තමයි ලාංකිකයෙක් හැටියට මුලින්ම මාධ්‍යයට විශාලම සේවයක් කළේ. ඒ වගේම මගේ පියාත් දැන් පුවත්පත් ආයතනයක් පවත්වාගෙන යනවා. මම වැරැද්දක් කළොත් ඒ පුවත්පත්වලින් මාවත් විවේචනය කරයි. මම දේශපාලනයට පය තිබ්බට පසු ඉඳලා විජය පුවත්පත් සමාගමත් එක්ක මගේ කිසිදු සම්බන්ධයක් නැහැ. ඒ ආයතනයට මට කිසිම බලපෑමක් කරන්න බැහැ. වසර කිහිපයකින් මම එතැනට අඩිය තියලාවත් නැහැ. ඒ නිසා ඒ ආයතනයත්, ඇමැතිකමත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. මාධ්‍ය ඇමැතිකම භාරගන්නවාට පියාගේ කැමැත්තක් තිබුණද? පියාගේ කැමැත්තක් තිබුණා කියලා නම් එච්චර හිතන්න බැහැ. මට වැටහුණේ ඒ විදිහට. කොහොමටත් එක පැත්තකින් එහෙම වුණත් තවත් පැත්තකින් එතුමා මම ගැන ආඩම්බර වෙනවා කියලත් මට හිතෙනවා. මගේ පියාත් හැමවිටම මාධ්‍ය නිදහස ගැන කතා කරන කෙනෙක්. ඔහු පුවත්පත් ආයතනයේ සභාපතිවරයා වුණත් කර්තෘ මණ්ඩලයට අවශ්‍ය නිදහස, ස්වාධීනත්වය ලබාදීලා තියෙනවා. කිසිම බලපෑමක් කරන්නේ නැහැ. අපේ පක්ෂයට විරුද්ධ දෙයක් පුවත්පත්වල පළවුණාම පක්ෂයේම අය මගෙන් ඒ ගැන අහනවා. මට බණිනවා, ඇයි එහෙම වෙන්නේ කියලා. ඒත් මටවත්, තාත්තාටවත් ඒ වෙලාවට කරන්න කිසිම දෙයක් නැහැ. රාජ්‍ය හෝ පෞද්ගලික කියා වෙනසක් නැතිව වර්තමානයේදී මාධ්‍ය පිළිබඳ විශ්වාසය නැතිවෙලා ගිහින් නේද? පසුගිය කාලයේ වෙන කවරදාටත් වඩා මාධ්‍ය සදාචාරය ගැනත් කතාබහක් ඇතිවුණා. මේ තත්ත්වය ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේ වෙනත් රටවලත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා මේ මොහොතේදී. බොරු ප්‍රවෘත්ති (Fake News) නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. ප්‍රේක්ෂක හෝ පාඨක සංඛ්‍යාව වැඩිකර ගන්න තියෙන තරගය නිසා විශ්වසනීයත්වය යට ගිහින්. දිගින් දිගටම යම් ආයතනයක් තුළ මේ තත්ත්වය ඇතිවුණොත් ජනතාව අතර ඔවුන් කොන්වේවි. විශ්වසනීයත්වය රැකගන්න බැරි නම් කිසිම මාධ්‍ය ආයතනයකින් කාටවත් ප්‍රයෝජනයක් නැහැ. ඒ තත්ත්වය ඇතිකර නොගන්න මාධ්‍ය ආයතන වගබලා ගන්න ඕනේ. එහෙම නොවුණොත් ජනතාව ඔවුන්ගෙන් ඈත්වේවි. ඒ මාධ්‍ය ආයතන ජනතාව ප්‍රතික්ෂේප කරාවි. රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කිරීමට මීට පෙර කමිටුවක් පත් කළා. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ඔබ ගන්න පියවර කුමක්ද? ඒ කමිටුවේ වැඩකටයුතු ඉදිරියට අරගෙන යන්න පුළුවන්. තවම ඒ ගැන හරියටම සොයා බලන්න බැරිවුණා. රාජ්‍ය මාධ්‍ය හැමවිටම ස්වාධීන විය යුතු නිසා ඒ ගැන සොයා බලා වැඩ කරන්න පුළුවන්. මේ මොහොතේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඒවාට මොකද කරන්නේ? මේ ගැටලුකාරී තත්ත්වය ඇතිවුණේ පසුගිය කාලයේ සිදුවුණු ආණ්ඩු වෙනසත් එක්ක. ඒ තත්ත්වය තවමත් ජාතික රූපවාහිනිය තුළත් ස්වාධීන රූපවාහිනිය තුළත් තියෙනවා. මම හිතනවා ඉදිරියේදී ඒවා ගැන සොයා බලා සාකච්ඡා කර හොඳ විසඳුමකට එන්න පුළුවන් වේවි කියලා. මමත් බලාපොරොත්තු වෙනවා ඉදිරි​ දින කිහිපය තුළදී ඒ ආයතනවලට ගිහිල්ලා සේවකයන් සමග සාකච්ඡා කරන්න. සාකච්ඡාවලින් පස්සේ ප්‍රශ්න විසඳගන්න පුළුවන් වේවි. මේ ආණ්ඩුව බලයට එන්න ලසන්ත, පෝද්දල සහ එක්නැලිගොඩ විකිණුවා. නමුත් අද වනතුරු ඒ අයගේ මිනීමරුවෝ හොයලා නැහැ. ආරක්ෂක රාජ්‍ය ඇමැතිත් ඔබ? අපි පොලිසියට සියලු බලතල දීලා තියෙනවා මේ ගැන පරීක්ෂණ කරන්න. ප්‍රමාදවීම් ගැන කනගාටු වෙනවා. මේ සියලු ප්‍රමාදයන්ට බලපෑවේ ආයතනවල තියෙන අභ්‍යන්තර ප්‍රශ්න. මේවා එකින් එක විසඳගන්න ඕනේ. පරීක්ෂණ නියම විදිහට ඉදිරියට කෙරීගෙන යනවා. අපිට ඡන්ද දිනා ගැනීමට පමණක් නොවෙයි, හදවතින්ම වුවමනාවක් තිබුණා මේ අපරාධවලට වගකිව යුත්තන් සොයාගන්න. මේ අයගේ පවුල්වල අයට සාධාරණය ඉටු කරන්න අපට අවශ්‍යතාව තියෙනවා. යම් යම් තැන්වල මේ පරීක්ෂණ කටයුතු හිරවෙලා තිබුණා. නමුත් මම හිතනවා ඉදිරියේදී මේ ගැටලු නිරාකරණය වේවි කියලා. ඊළඟ ඡන්දයට පෙරද? බලමු, බලමු. ඇත්තෙන්ම මම හිතනවා පුළුවන් වෙයි කියලා. මාධ්‍යයට නියාමනයක් අවශ්‍යමයි නේද? නියාමනයක් අවශ්‍යද? එය ස්වයං නියාමනයක් විය යුතුද කියලා තමයි අපි බලන්න ඕනේ. රජයක් හැටියට නියාමනයක් සිදු කරනවාට වඩා ප්‍රතිඵලදායක වෙයි ස්වයං නියාමනයක් ඇතිකර ගැනීම තුළින් කියලයි මගේ නම් අදහස. මේ වෙනකොට මාධ්‍ය භාවිතාව සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන ජනතාව අතරත් විශාල කතාබහක් තියෙනවා. මේ කරුණු කාරණා ඇමැතිවරයාටවත්, අමාත්‍යාංශයටවත් විතරක් විසඳුම් දෙන්න පුළුවන් ඒවා නොවෙයි. සියලු දෙනාගේ සහයෝගයෙන් වඩාත් හොඳ මාධ්‍ය භාවිතයක් ඇතිකර ගැනීමයි අපි කළ යුත්තේ. රජයෙන් බලපෑමක් නොකර මාධ්‍ය ආයතන විසින්ම මේ තත්ත්වය ඇතිකර ගැනීම වැදගත්. සමාජ මාධ්‍ය අද බොහොම බලගතුයි. කිසිදු වගකීමක් නැති මේ මාධ්‍ය කලාව මීට වඩා විධිමත් විය යුතු නැද්ද? ඔව්. අපේ රටේ පමණක් නොවෙයි ලෝකයටම මේක ප්‍රශ්නයක්. එංගලන්ත පාර්ලිමේන්තුවේත්, අැමෙරිකාවේත් මේ ගැන සාකච්ඡා කළා. ඔවුන් සකර්බර්ග්වත් ප්‍රශ්න කරලා තිබුණා. මොනවගේ තොරතුරුද ජනතාවට දිය යුත්තේ කියලා. ලංකාවේ වුණත් සමාජ මාධ්‍යවල ප්‍රශ්නකාරී තත්ත්වයක් තියෙනවා. සමාජ මාධ්‍ය හසුරුවන්න කෙනෙක් නැහැ. ඒ වගේම එහි පළවෙන තොරතුරු ඇත්තද? බොරුද? මඩ ගැසීමක්ද? වෙනත් අරමුණක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. අපි මේවා හසුරුවන්න ගියොත් කියයි ප්‍රජාතන්ත්‍රවාදය නැති කළා කියලා. නමුත් මේ සම්බන්ධයෙන් යම් සීමාවක් නොදැම්මොත් එයින් සමාජයටත්, අනාගත පරම්පරාවටත් වන හානිය සුළුපටු නැහැ. මේක ධනාත්මක වගේම සෘණාත්මක දෙකම තියෙන මාධ්‍ය ජාලයක්. නමුත් තරුණ පරපුර වැඩිපුරම සමාජ මාධ්‍ය සෘණාත්මක දේවලට තමයි යොමු කරලා තියෙන්නේ. මාධ්‍යයන්ට එල්ල වන චෝදනාවක් තමා ඔවුන් දේශපාලනීකරණයයි කියන එක? ආයතන හිමිකරුවන්ගේ අදහස හෝ කැමැත්ත තමයි මාධ්‍ය ආයතන තුළින් එළියට එන්නේ. ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරගන්නනේ ඒ ආයතන හදන්නේ. ඒ තත්ත්වය අපට වළක්වන්න බැහැ. තමන්ගේ දේශපාලන කෝණයෙන් තමන්ගේ මාධ්‍ය හසුරුවා ගන්නවා. සමබර තත්ත්වයක් යම්කිසි මාධ්‍යයක් තුළ පවත්වා ගන්න පුළුවන් වුණොත් ඒකට ජනතාවගේ ප්‍රතිචාර ඉහළ මට්ටමකින් ලැබේවි. ඒ වගේම තමන්ගේ න්‍යාය පත්‍රය ජනතාවට නොගැළපෙන තැනදී ඒ ආයතන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වේවි. රජයේ මාධ්‍ය ආයතනවලටත් මේ තත්ත්වය එකසේ බලපානවා. සමහර මාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදී දීමනා නිසි අයුරින් ලබාදෙන්නේ නැහැ. මේ ගැන ඔබ සොයා බැලීමක් කරනවද? ඒක හරි. ඒ ගැන අපට දැනගන්න ලැබුණා. මටත් අවබෝධයක් තියෙනවා මේ ප්‍රශ්නය ගැන. මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වෘත්තීය මට්ටම ඉහළ තැනකට ගන්න. ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීමට අවශ්‍ය ප්‍රතිපාදන හා ශක්තිය ලබාදීමට අප අරමුණු කරගෙන ඉන්නවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙළකුත් හදනවා. දැනට ඔවුන් කෙරෙහි යොමුවී ඇති අවධානයට වඩා වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කරනවා. මැතිවරණවලට පක්ෂය සූදානම්ද? ඔව්, අපි සූදානම්. මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ ඉදිරියට එන මැතිවරණ ගැන. අපි ඡන්දවලට බය නැහැ. අපට චෝදනා එල්ල කරනවා අපි පළාත් සභා ඡන්ද තියන්නේ නැහැ කියලා. ඇත්තටම අගමැතිතුමා ගිය අවුරුද්දේ තමයි කිව්වේ පළාත් සභා මැතිවරණයට සූදානම් වෙමු කියලා. නමුත් ඒ අවස්ථාවේදී මතුවුණු විවිධ කරුණු නිසා ඒ තත්ත්වය නැතිවෙලා ඉදිරියට යන්න බැරිවුණා. නමුත් පළාත් සභාද, ජනාධිපතිවරණයද, මහ මැතිවරණයද කියලා හිතන්නේ නැතිව එන ඕනෑම ඡන්දයකට මුහුණ දෙන්න අපි සූදානම්. ජාතික ආණ්ඩුව අකුළා ගත්තා නේද? ඇත්තටම ඒක නම් හරිම අපරාධයක් කියලා හිතෙනවා. ජාතික ආණ්ඩුවක් තුළ පක්ෂ සියල්ලම එකමුතුව වැඩ කළා නම් මට හිතෙනවා රටට විශාල සේවයක් කරන්න හොඳ අවස්ථාවක් තිබුණා කියලා. දේශපාලන පක්ෂ අතර තිබුණ කඹ ඇදිල්ල නිසා ඒ තත්ත්වය අපෙන් ගිලිහිලා ගියා. ජාතික ආණ්ඩුවක් හැටියට අපි එකතු වුණේ රටේ තිබෙන මූලික ප්‍රශ්න ටික විසඳගන්න. ජාත්‍යන්තර වශයෙන් අපට බලපෑම් තිබුණා. ආර්ථික ප්‍රශ්න තිබුණා. තවමත් ඒ ප්‍රශ්න තිබෙනවා. ණය ගෙවන්න තියෙනවා. ඉතින් මේ සියල්ලටම පක්ෂ භේදයකින් තොරව විසඳුම් හොයලා ජනතාවට සේවයක් කරන්නයි අපේ බලාපොරොත්තුව වුණේ. නමුත් පක්ෂ තුළ තිබෙන අර්බුද නිසා ඒ ස්වර්ණමය අවස්ථාව නැතිවුණා. රටට සේවය කරන්න තිබුණු හොඳ අවස්ථාවක් නැතිවුණේ. ජනාධිපතිවරණයට ආපහු ගේන්නේ පොදු අපේක්ෂකයෙක්ද? එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේම බලාපොරොත්තුව අපේ පක්ෂයේම අපේක්ෂකයෙක් ගැන. සමස්තයක් හැටියට පක්ෂයේ සියලු දෙනාම ඒ අදහසේ ඉන්නවා. නමුත් පක්ෂ ගණනාවක් එකතු කරලා සන්ධානයක් හදන අවස්ථාවකදී ඒ තත්ත්වය ගැන හරියටම කියන්න බැරි වෙයි. ඉදිරියේදී ඒ ගැන සාකච්ඡා කරලා සුදුසුම අපේක්ෂකයා ඉදිරිපත් කරනවා. මමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් හැටියට හිතන්නේ එක්සත් ජාතික පක්ෂයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා තමයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන එක්සත් ජාතික පාක්ෂිකයන් තෘප්තිමත් නැහැ නේද? අවුරුදු ගණනාවක් දුක් විඳපු පාක්ෂිකයන් ඔවුන්ට අවශ්‍ය සහන බලාපොරොත්තු වෙනවා. රටේ ආර්ථික තත්ත්වයත් ජාතික ආණ්ඩුවේ තිබුණු කඹ ඇදිල්ලත් නිසා අපේ පාක්ෂිකයන්ට සලකන්න අපට බැරිවුණා. ඉදිරියේදී ඒ අයට අවශ්‍ය දේවල් ඉක්මනින්ම අපි ලබාදෙනවා. මේ වනවිට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගෙන යනවා. නමුත් අපි දන්නවා එක්සත් ජාතික පාක්ෂිකයා තමන්ට මොන ප්‍රශ්න තිබුණත් මැතිවරණයකදී පක්ෂයට පිටුපාන්නේ නැහැ කියලා. ඒත් එහෙම කියලා ඒ අයගේ ප්‍රශ්න අමතක කරන්න අපට බැහැ. ජනපති, අගමැති විරසකය රටට බලපාලා තියෙනව නේද? ජනපතිත්, අගමැතිත් අතර ප්‍රශ්න, ගැටලු තිබුණත් අවශ්‍ය අවස්ථාවලදී එකට වැඩ කරනවා. කැබිනට් එකේදි වුණත් සාකච්ඡා කරලා තීරණ ගන්නවා. මතිමතාන්තර වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒකට අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. දැනට තියෙන දේශපාලන වාතාවරණය නිසාත්, ගැටලු මතුවෙන්න පුළුවන්. කොහොම වුණත් මම හිතනවා ජනාධිපතිත්, අගමැතිත් විශාල කාලයක් දේශපාලනය කරලා අත්දැකීම් තිබෙන නායකයන් දෙදෙනෙක්. මේ සුළු සුළු ප්‍රශ්න නිසා ඒ දෙන්නා රටේ ප්‍රශ්නවලට අඩුපාඩු වෙන්න නොදී වැඩකටයුතු කරයි කියලා හිතෙනවා. ඔබ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලාපොරොත්තු වෙනවාද? ඒක කවදා හරි පාක්ෂිකයන් තීරණය කරන්න ඕනේ දෙයක්. පාක්ෂිකයන් හිතනවා නම් මම නායකත්වයට සුදුසුයි කියලා මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මම හිතනවා දැනට පක්ෂය තුළ බොහෝ අත්දැකීම් තිබෙන නායකත්වයට සුදුසු මැති ඇමැතිවරු ගණනාවක් ඉන්නවා කියලා. නායකත්වයට පොරබදන්න කවදාවත් කිසිම අවශ්‍යතාවක් මට නැහැ.
 

More News..