brand logo

මම දැන් වත්තේ තේ වවනවා

12 October 2019

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසයේ දීර්ඝතම අපේක්ෂක ලැයිස්තුව සැකසෙන්නේ මෙවර ජනාධිපතිවරණයේදීය. ඒ ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ කුමාර වෙල්ගම මහතාද ඇප මුදල් තැන්පත් කළේය. නමුත් ඔහු නාමයෝජනා භාරදුන්නේ නැත. දැන් ඔහු තේ වවයි. මේ ඔහු සමග කළ කතාබහයි.   මන්ත්‍රීතුමා දැන් තේ වවනව කියල ආරංචියි....? කොහොමත් ඉතින් මට වත්තක් තියෙනවනෙ තාත්තගෙන් හම්බවෙච්ච. කවුරුත් දන්න ඒක තියෙන්නෙ මතුගම හොරවල. ඒකෙ දැනටත් තේ වවල තියෙන්නෙ. ඒත් දැන් ටිකක් හිතට අරගෙන මාත් ඒකට සම්බන්ධවෙල තේ  අක්කර 50ක් විතර දාගන්න තමයි කල්පනාව. මේ වෙනකොටත් තේ අක්කර 10ක් දාල ඉවරයි. ඒ වගාවට සම්බන්ධවෙන්න තමයි මම දේශපාලනයෙන් ඈත්වුණේ. ඒ කියන්නේ මේ දිනවල පූර්ණකාලීනව දේශපාලනයෙන් ඈත්වෙලාද? පූර්ණකාලීනව කියන්න බෑ. මම නිහඬයි මේ දවස්වල. මං පොහොට්ටුවට වැඩ කරන්නෙත් නෑ. යූ. ඇන්. පී. යට කඩේ යන්නෙත් නෑ. නමුත් පොහොට්ටුව නිර්මාණය කිරීමේ පෙරමුණේ රාල කෙනෙක් තමයි ඔබ... ඒක ඇත්ත. මම තමයි මහින්ද මහත්තයා වෙනුවෙන් 2015දී මෛත්‍රී මහත්තයට කියල එළියට ආපු පළමුවෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. නුගේගොඩ රැස්වීමේ ඉඳල හැම එකකටම ගිහිල්ල ඒකාබද්ධ විපක්ෂය කියන එක හැදුව. ඒ තනියෙන් නෙමෙයි, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ. උදය ගම්මන්පිල කියන ඔක්කොමත් එක්ක එකතුවෙලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙච්ච මිනිහෙක් මම. මම මහින්ද මහත්තයට කොහොමත් ආදරය කරන, ගරුකරන මිනිහෙක්. අදත් ඒ ආදරය එහෙමයි. හැබැයි මට එතැනින් එන්න සිද්ධ වුණේ මේ ගත්ත වැරැදි තීන්දුව හින්දයි. මොකක්ද ඒක... ඒ කියන්නෙ මම කැමැති වුණේ නෑ පොහොට්ටුවේ දැන් ඉන්න ජනාධිපති අපේක්ෂකතුමා දානවට. ඒක දැනගත්ත මොහොතෙ ඉදන් මම විරුද්ධ වුණා. ඒක අපට දැනුම් දුන්නෙ නෑ. නමුත් අපට දැනගන්න ලැබුණෙ ගෙදර කුස්සියෙ ඉඳන් තමයි මේක තීරණය කළේ කියල. මම කිව්ව දේශපාලනය නොකරපු ප්‍රාදේශීය සභාවකටවත් නොගිය, රාජපක්ෂ පවුලේ කෙනෙක් ගේනවට විරුද්ධ බව. ජ්‍යෙෂ්ඨත්වයට තැන දෙන්න කියල. වාසුදේව මහත්තයා ඉන්නව, දිනේෂ් ගුණවර්ධන මහත්තය ඉන්නව, මම ඉන්නව. මේ අපේක්ෂකයා රාජපක්ෂම පවුලෙම, දේශපාලනය නොකරපු, අනෙක් එක මිනිසුන්ගෙත් භයක් තියෙන පුද්ගලයෙක්. ඒක මං ප්‍රසිද්ධියෙ හැමතැනම කියල තියෙනව. ඒක දැන් විග්‍රහ කරන්න යන්නෙ නෑ. එහෙම කරන්න දැන් හොඳත් නෑ. මොකද දැන් තරගයට පිවිසිල තියෙන නිසා. මම නිහඬව ඉන්න කෙනෙක් හැටියට දෙපැත්තේ අයගෙ වැරදි කියන්න සදාචාරාත්මක අයිතියක් තියෙනව. පවුල්වාදය බොහොම ඉහළට ගොඩනැගිච්ච නිසා තමයි මම තීරණය කළේ පොහොට්ටුවෙන් අයින් වෙන්න. පොහොට්ටුව කියන පක්ෂයට මම බැඳිල තිබුණෙ නෑ. මට පොහොට්ටුව පක්ෂයේ සාමාජිකත්වය ගන්න කිව්ව ආණ්ඩුව විසුරුවා හැරපු වෙලාවෙ. මම ඒක ප්‍රතික්ෂේප කළා. මම කිව්ව මම ශ්‍රී ලංකාකාරයෙක්, නිදහස් පක්ෂය දාල යන්නෙ නෑ කියල. ඒ නිසා මම පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්තෙ නෑ. අද මම නිහඬව සිටියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් යොදනව. ඒකට ප්‍රධාන දෙයක් වශයෙන් මම කරනව ලංකාවෙ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ, පක්ෂය ආරක්ෂා කරන්න කැමැති ක්‍රියාකාරීන් ඉන්නව නම් ඒ අය එක තැනකට එක්කරල ඔවුන්ට කරුණු පහදා දෙන්න. එතනදී කතා කරන්නෙ ජනාධිපතිවරණය ගැන නෙමේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් පොහොට්ටුවට උකස් කරල ඉවරයි. එදා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් එක විකුණුවනෙ චන්ද්‍රිකා නෝනගෙ කාලෙ. ඊට පස්සෙ වාසුදේව මහත්තයා නඩුවක් දාල ඒක ආපහු ආණ්ඩුවට ගත්ත. අන්න ඒ ක්‍රියා කලාපයෙ තමයි මම යන්නෙ. නඩු කියන්න නෙමේ. මම ඉල්ලීමක් කරනව නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් උකසට තිබ්බ පක්ෂය බේරගන්න එන්න කියල. ජනාධිපතිවරණයට ඇප බැඳලත් අවසන් මොහොතේ ඉවත් වෙන්න තීරණය කළේ ඇයි? ජනාධිපතිවරණයට චමල් රාජපක්ෂ මහත්තයත් ඇප බැන්දනෙ. මම කල්පනා කළා රාජපක්ෂ පවුල තවත් තහවුරු වෙනව කියල මේ කරන වැඩෙන්. ඒ අයට සැකයක් තිබුණ නම් ගෝඨාභය මහත්තය නඩුවෙන් පරදිනව කියල, ඒ අයට තිබුණ දිනේෂ් ගුණවර්ධන වගේ කෙනෙක් ඉදිරිපත් කරන්න. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් හැටියට. නමුත් එතැනින් තහවුරු වුණා රටේ ජනතාවට මේ අය කවදාවත් පවුලෙන් පිට මේ දේවල් දෙන්නෙ නෑ කියල. තව අවුරුදු පනහක් ගියත් හැටක් ගියත් පොහොට්ටුව රාජපක්ෂ කෙනෙක්ගෙන් පිටතට මේකෙ නායකත්වය දෙන්නෙ නෑ කියල. මේකෙන් තහවුරු වුණා. දිනේෂ් ගුණවර්ධන මහත්තයට ඇප බඳින්න කිව්ව නම් මමත් සතුටුවෙනව මහින්ද මහත්තය පවුලෙන් පිට කෙනෙකුට ඇප බඳින්න දුන්න කියල. එහෙම නම් මමත් ඇප බඳින්නෙ නෑ. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාන්නෙ නෑ කිව්වම, මම හිතුව ස්වාධීනව ඇප බැඳල ඔවුන්ගේ සහයෝගය ලබාගන්න පුලුවන් කියල. ඒ කියන්නෙ නිදහස් පක්ෂ නායකයන්ගෙ සහයෝගය. අවුරුදු 38ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ආසන සංවිධායකවරයෙක් සහ අවුරුදු 25ක් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු මන්ත්‍රීවරයෙන් හැටියට පක්ෂයේ ආශිර්වාදය මට ලැබෙයි කියල. නමුත් ඒක මට ලබාදුන්නෙ නෑ. ඒකත් හේතුවක් තමයි මම තරගයෙන් ඉවත්වෙන්න තීරණය කරන්න. අනෙක මං තරග කරන එකෙන් වෙන්නෙ වමේ පක්ෂයේ අපේක්ෂකයින්ගෙ එක ඡන්දයක් හරි නැතිවෙන එකනෙ. ඒ නිසා තරග කළොත් ඒ පවත් මට කරගහන්න වෙනව. ඒ හේතූන් සියල්ල නිසා තමයි තරග බිමෙන් අයින් වුණෙ. නමුත් මම දේශපාලනයෙන් අයින්වෙලා නෑ. ඔබගෙ ආසනයේ පාක්ෂිකයන් ඔබව හැඳන්වුයෙ ‘කළු ගංතොට සිංහයා’ නමින්. ඒත් දැන් අලුත් සිංහයෙක් මතුගමට ඇවිත් නේද? නෑ, මම කවුද කියන එක කෝරලේ මිනිස්සු දන්නව. ලංකාවෙ මිනිස්සු දන්නව කුමාර වෙල්ගම කියන්නෙ කෙලින් කතාකරන, නිර්භීත මිනිහෙක් කියල. ඉතින් මට සහතික දෙන්න කවුරුත් ඕන නෑ. මට දෙන්න ඕන සහතිකය මිනිසුන්ගෙ හදවතෙ තියෙනව. කවුරු ‘කළු ගංතොට සිංහය’ කියල ගහගත්තත් මට ප්‍රශ්නයක් නෑ. දැන් ඔය යූ. එන්. පී. එකෙන් ගහන්නෙ ‘කළු ගංතොට දැවැන්තයා’ කියල. එහෙමත් ගහනව. කෝරළයේ පළමුවෙනි සිංහයා වුණේ මමනෙ. අර ‘බොරළුගොඩ සිංහය’ වගෙ. මට ඒ ඇති. ඔබගේ පුතා සෙනාල් වෙල්ගම මේ ජනාධිපතිවරණයේදී ක්‍රියාකරන ආකාරය ගැන ඔබ දැනුවත්ද? සෙනාල් ගැන කතා කරන්න මට අයිතියක්. නෑ ඔහු නීතිඥයෙක්. ඔහුට ඔහු ගැන කතා කරන්න පුළුවන්. ඔහුට තීන්දු ගන්න පුළුවන් අනිත් අයට වගේම. එයාට මම ගුරුහරුකම් දෙන කාලෙ දැන් ඉවරයි. මේ ජනාධිපතිවරණයේදී කවුරුන් ජය ගනීද? ඒක මං කියන්නෙ නෑ. මම ඒක කියන්න අවශ්‍ය නෑ. මම නිහඬව ඉන්න පුද්ගලයෙක්. මගේ ඡන්දය මම පාවිච්චි කරනව හැරෙන්න මම කළුතර දිස්ත්‍රික්කයේ කිසිම කෙනකුට කියල නෑ මගෙ පස්සෙ වරෙන්, අහවලාට ඡන්දෙ දියන් කියල. මම එහෙම ආත්මාර්ථකාමී කෙනෙක් නෙමේ. මට තීරණයක් ගන්න පුළුවන් නම් හෘදසාක්ෂියට එකඟව ප්‍රජාතන්ත්‍රවාදීව ඒක අනෙක් අයටත් ඒ විදිහටම වලංගුයි. මුලින් කිව්ව වගේ මම තේ වවාගෙන ඉන්නව. මතක ඇති 1978දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැරදුණ වෙලාවෙ අපේ කළුතර දිස්ත්‍රික් නායකයා රත්නසිරි වික්‍රමනායක මහත්තය ගියා මහජන පක්ෂයට. මහජන පක්ෂයත් සාර්ථක වුණෙ නෑ. ඊට පස්සෙ කළේ එයාගෙ දාම්පෙ වත්තෙ කහ වැව්ව එක. කිසිම පක්ෂයට නොගිහින්, මැතිවරණයකට ඉදිරිපත් වෙන්නෙ නැතිව වගා කරල ඒවායින් ආදායමක් අරගෙන ජීවත් වුණා. ඒත් කළුතර දිස්ත්‍රික්කයේ නායකයෙක්. මමත් ඉතින් හිතුව රටට වැඩදායක දෙයක් කරන එක හොඳයි කියල. මේ විදිහට තාවකාලිවක හෝ දේශපාලනයෙන් ඉවත්වීම ඔබගේ අනාගත දේශපාලන ජීවිතයට අනතුරක් නෙමේද? මම රත්නසිරි වික්‍රමනායක මහත්තය ගැන කිව්වනෙ. ඒක හොඳට මතක තියාගන්න. ඒක උදාහරණයකට ගන්න. ඔහු දේශපාලනය නොකර කහ වවල, අවසානයෙ රටේ අගමැතිවරයා බවට පත්වුණා. ඔබේ කේන්දරයෙ ඔබට රාජයෝගයක් තියෙන බවට සඳහන් වෙනවද? මම කේන්දර විශ්වාස කරන මිනිහෙක් නෙමෙයි. මගේ අත් ඔරලෝසුවයි, මගේ නෝන දැම්ම මුද්දයි හැරෙන්න වෙන කිසිම දෙයක් මගේ ඇඟේ නෑ. ආරක්ෂාවට කියල සුර කොහෙවත් එල්ලගෙන නෑ. මම විශ්වාස කරන්නෙ එදිනෙදාට එන ප්‍රශ්නවලට මුහුණ දීල ජීවිතය ගෙන යෑම මිසක් සුර එල්ලගෙන එහෙම යන සිරිතක් මගෙ නෑ. ඒක මට අදාළම නෑ. ලක්මාල් බෝගහවත්ත
 

More News..