brand logo

මම දැන් බෞද්ධයෙක්; ඒ දර්ශනයට අනුව ජීවත් වෙනවා

09 February 2021

කේ. සුජීවා කියපු ගමන් ඔබට මැවෙන්නේ හරිම සැහැල්ලුවෙන් ජීවිතය විදින ගායිකාවක්. ඇය ගැන කාලෙන් කාලෙට එක එක තාලයේ පුවත් මැවෙන්නෙත් ඒ නිසා. ඇය මතුපිටින් දකින ස්වරූපයට එහා ගිය කෙනෙක්. දියණියන් දෙදෙනෙක්ගේ මවක්. වගකීම් ගොඩක්. මේ සියල්ල මැද්දේ ජීවිතය සොයා යන ගැහැනියක්. තමන්ට තමන් ගැන විවෘතව කතා කරන්න පුළුවන් නම් ඒක ලොකු වටිනාකමක්. ගීතයක් කරන්න මෙච්චර කාලයක් ගත්තේ ඇයි? මට ගීතයක් කරන්න ලොකු කාලයක් ගියා. ඒකට හේතු තියෙනවා. මම ජීවිතයේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දුන්න කෙනෙක්. මගේ දරුවෝ දෙන්නට අම්මා වගේම තාත්තා වෙන්නත් සිද්ධ වුණේ මට. මට කියලා දෙයක් කරගන්න අවස්ථාව ලැබුණට ඒකට මට මානසික මට්ටමක් තිබ්බේ නැහැ. මම සාමාන්‍යයෙන් මට කියලා දෙයක් කරගත්තේ නැති තරම්. මගේ යාළුවෝ මට කියන්නේ ඔයා ඔයාට විතරක් කියලා ගන්නේ බොන බෙහෙත් පෙත්තක් විතරයි කියලා. ඇඳුමක් ගත්තත් මම දුවලා දෙන්නටයි මටයි අඳින්න පුළුවන් විදිහට ගන්නේ. දුවලා දෙන්නගේ කැමැත්ත බලලා තමයි මම දේවල් ගන්නේ. එයාලා කැමති කෑම තමයි මම ගෙදර උයන්නේ. මම මේ වෙනකල් මට විතරක් දෙයක් කරගන්න ඕනේ කියන හැඟීමෙන් වැඩ කරලා නැහැ. ඉදිරියේදි එහෙම කරන්නෙත් නැහැ. මගේ කෙල්ලෝ දෙන්නා වෙනුවෙන් ජීවත් වෙලා තමයි මට හුරු. මම තනියම හම්බ කරලා මගේ දරුවෝ බලාගන්නේ. මම වියදම් කරන හැම රුපියලක්ම මම මහන්සියෙන් හම්බ කළ සල්ලි. ඒවා කාගෙන්වත් ඉල්ලගෙන වියදම් කරලා නැහැ. මම මගේ දරුවෝ ගැන බලන්න ඕනේ. ඒ වෙනුවෙන් මම ම මහන්සි වෙන්න ඕනේ. සංගීත ක්ෂේත්‍රයේ වැඩත් අඩු වෙලා ඔබ කොහොමද තනි මවක් විදිහට දරුවෝ රකින්නේ? මම සංගීත ක්ෂේත්‍රයෙන් හම්බ කරගත්තේ නෑ කිව්වොත් බොරුවක්. හැබැයි සංගීත කටයුතු විතරක්ම කරලා තනි අම්මා කෙනෙක් විදිහට දරුවොත් බලාගෙන ජීවත් වෙන්න අමාරුයි. මම සංගීත ක්ෂේත්‍රයට එන්න කලින් නිවේදන කටයුතු කළා. ඒ වගේම මම සමාගමක business development manager කෙනෙක් විදිහට කටයුතු කරලා තමයි ඒකෙන් අයින් වෙලා සංගීත ක්ෂේත්‍රයට ආවේ. මගේ අම්මා තාත්තා මට උගන්නලා තියෙනවා. මට උපාධියක් තියෙනවා. කාන්තාවක් විදිහට තනියම හම්බ කරගෙන ජීවත් වෙන්න ඕනේ මට්ටමට මම ඉගෙන ගෙන තියෙනවා. මට සැලෝන් එකක් තියෙනවා. මට ප්‍රධාන ආදායම එන්නේ ඒ ව්‍යාපාරයෙන්. ඔය මොනවා කිව්වත් ඔබේ ජීවිතවල හිටපු අයම ඔබව විවේචනය කළ අවස්ථා තියෙනවා ඕනම කෙනෙක්ට චෝදනා කරන්න පුළුවන්. මම කළේ මොනවද මට ලැබුණේ මොනවද කියලා මට ඔප්පු කරන්නත් පුළුවන්. මම මේ වෙද්දි බෞද්ධයෙක්. බුද්ධ දර්ශනයට මම යොමු වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා. බුද්ධ දර්ශනය ඉගෙන ගන්න කෙනෙක් විදිහට යම් අවබෝධයක් මට ඒ පිළිබඳව තියෙනවා. බුද්ධ දර්ශනයේ කියනවානේ අපි දෙයක් දෙද්දි ඒ දේ අතහැරලා දෙන්න කියලා. අතහැරලා දුන්න දේවල් ගැන මම කියන එකත් සුදුසු නැහැ. මට කවුරු හරි බැන්නත් අපහාස කළත් ඒ අයගේ හිතට බොරු කරන්න බෑනේ. ඔබ ජීවිතේ නොහිතපු වෙන්ව යාම්වලට මුහුණ දුන්න කෙනෙක්... ජීවිතයේ නොහිතපු දේවල් නොහිතපු විදිහට වෙන්න හේතු තියෙනවා. කපටි කමින් හොරබොරු හිතේ තියාගෙන කාව හරි රවට්ටගෙන ඉන්න මම සැලසුම් කළා නම් රැවටෙන්නේ නැතුව මගේ ජීවිතෙත් වෙන විදිහකට ගොඩ දාන්න පුළුවන්කම තිබ්බා. දුක හිතෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්නෙ නැතුව ඉන්න තිබ්බා. කවුරු හරි මට කන්න අඳින්න දීලා මාව පෝෂණය කරන්න ඕනේ කියන තැන මම කවදාවත් හිටියේ නැහැ. මම කාගෙන් හරි දෙයක් ගන්න බලාගෙන හිටියා නම් මම ඒක අරන් අයින් වෙනවානේ. මට හැමදේම තියෙන ගමන්නේ මට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණේ. ඒක මගේ වැරැද්දක්. මම දෙයක් වෙච්ච ගමන් කාටහරි චෝදනා කරන්න කැමැති නැහැ. මම ජීවිතේ මොනම ප්‍රශ්නයකට හරි මුහුණ දුන්නානම් එහෙම වුණේ මම ගත්ත තීරණ නිසා. මගේ වැරැදි නිසා. මගේ මෝඩකම් නිසා මම මෝඩකමෙන් අන්ධ වුණ නිසා. මම වෙනකාටවත් දොස් කියන්නේ නැහැ. මගේ අවබෝධය තමයි ප්‍රශ්නේ. ගැහැනියකට තනියම ජීවත් වෙන්න බෑ කියනවා... ගැහැනියකට තනියම ජීවත් වෙන්න බෑ කියන එක බොරුවක්. මට උදව් කරන්න, මට කන්න අඳින්න දෙන්න උදව් කරන්න කෙනෙක් ඉඳලා නැහැ. මම මේ කාගෙවත් සල්ලිවලින් බත් පැකට් එකක්වත් අරගෙන කාලා නැහැ. මම හම්බ කළ සල්ලිවලින් මම දරුවොත් බලාගෙන ජීවත් වුණා. ආයෙත් ඔබේ ජීවිතයට සහකාරයෙක් ඕන කියලා දැනෙයිද? කාන්තාවකට ඉන්න හිටින්න තැනක් තියෙනවානම් කන්න අඳින්න තියෙනවා නම් තමන්ගේ ජීවිතේ දේවල් බලාගන්න පුළුවන්නම් ස්වාධීන නම් තනියම ජීවත් වෙන්න බැරි නැහැ. නමුත් ජීවන සහකරුවෙක් කියන්නේ අපිව හැම පැත්තෙන්ම බලාගන්න කෙනෙක්. දුකේදි සැපේදි ළඟ ඉන්න කෙනෙක්. මම මගේ ජීවිතේ කවුරු හිටියත් නැතත් මගේ ගමන ගියා. ආදරය කියන දේ සැලසුම් කරගෙන ඇති වෙන්නේ නැහැ.ඒ නිසා ඉදිරියෙදී මොනවා වෙයිද කියන්න බැහැ. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..