brand logo

මම තවම පන්දුවාර 20 පිටියෙන් සමුගෙන නැහැ

11 May 2021

ඉකුත් 2020 වසරේ මාර්තු මාසයෙන් පසුව පන්දුවාර 20 තරගයකට සහභාගි වී නොමැති මෙන්ම ටෙස්ට් සහ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් සංචිතයට කැඳවීමේ සූදානමක් ඇතැයි ‘අරුණ’ට වාර්තා වේ. මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් අවසන් වරට ශ්‍රී ලංකා විස්සයි විස්ස පිල නියෝජනය කරනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මාසයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදීය. අනතුරුව කිසිදු ජාත්‍යන්තර තරගයකට හෝ අයි.පී.එල්. තරගාවලියකට සහභාගි නොවූ මාලිංග, සිය ඉදිරි ක්‍රිකට් සැලසුම්වලදී සලකා බලන බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ‘අරුණ’ට පැවසීය. ‘අපි ඉක්මනින්ම ලසිත්ට කතා කරනවා. ළඟ එන ලෝක කුසලානය සඳහා අපගේ සැලසුම්වලට ඔහුත් ඇතුළත්.’ යනුවෙන් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසීය. සීමිත පන්දුවාර තරග සඳහා තරුණ කණ්ඩායමක් සමග පිවිසීමේ නවමු ප්‍රතිපත්තිය අනුව ක්‍රියා කරන වික්‍රමසිංහ ප්‍රමුඛ කමිටුව, මේ මස අග බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් ඉවත් කරන ලදී. අදාළ ක්‍රීඩකයන් ඉන් අනතුරුව එංගලන්තය සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා ද ඇතුළත් නොවේ. ‘අපි කටයුතු කරමින් ඉන්නේ 2023 පන්දුවාර 50 ලෝක කුසලානය ඉලක්ක කර ගෙනයි. එහිදී අපේ මූලික අවධානය යොමු වෙන්නේ කාරණා දෙකක් සඳහා. ඒ තමයි ක්‍රීඩකයන්ගේ වයස සහ ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව. ලෝකයේ හොඳම කණ්ඩායම් දෙස බැලුවාම මේ කාරණා දෙකේ සම්පූර්ණ එකතුවේ සාමාන්‍ය අගය ඉතා සමානයි. අපිත් උත්සාහ කරන්නේ ඒ වාගේ සාමාන්‍යයක් ළඟාකර ගන්න.’ යනුවෙන් වික්‍රමසිංහ විස්තර කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ‘නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ ලසිත් කියන්නේ සුවිශේෂී ක්‍රීඩකයෙක් බව. මේ අවුරුද්දෙ සහ ඊළඟ අවුරුද්දෙ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන දෙක සඳහා කණ්ඩායම් සකස් කිරීමේදී අපි ලසිත්ව සලකා බැලීමට තීරණය කළා. ඔහුත් සමග සාකච්ඡා කරලා අවසන් තීරණය ගන්නවා.’ යි කීවේය. මේ අතර මේ වන තෙක් කිසිවෙක් තමාගෙන් සිය ඉදිරි සැලසුම් පිළිබඳව විමසා නැති බවත්, වර්තමාන තේරීම් කමිටුව තමා සමග සාකච්ඡා කළහොත් තමන්ගේ ඉදිරි සැලසුම් මොනවාදැයි ඔවුන්ට පැවසීමට සූදානමින් සිටින බවත්, මාලිංග ‘අරුණ’ වෙත පැවසීය. ‘මම දැනටමත් ටෙස්ට් සහ එක්දින තරගවලින් විශ්‍රාම අරන් ඉන්නේ. නමුත් විස්සයි විස්ස තරගවලින් තාමත් විශ්‍රාම අරන් නැහැ. මම බලන් ඉන්නවා කොහොමද තේරීම් කමිටුව මගේ සේවාව බලාපොරොත්තු වෙන්නේ කියලා. මගේ ජීවිතයේ අවස්ථා කිහිපයකදීම කාලයක් ක්‍රීඩා නොකර ඉඳලා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පැමිණි මුල්ම අවස්ථාවන්වලදී මම හොඳට කරලා තරග දිනවලා තියෙනවා යනුවෙන් මාලිංග’ පැවසීය. ‘මම හැමදාම තේරීම් කමිටුවලට මගේ උපරිම සහයෝගය ලබාදීලා තියෙනවා. එක එක කාලයට ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්. මොකද ඒ එක් එක් කමිටුවට වෙන් වූ වෙනස් දැක්මක් සහ සැලැස්මක් තියෙනවා. මේ දේවල් තමයි මම හිතන්නේ ඉදිරි සාකච්ඡාවකදී සැලකිල්ලට ගන්න බලාපොරොත්තු වෙන්නේ’ යි මාලිංග තවදුරටත් පැවසීය. රේවත එස්. සිල්වා
 

More News..