brand logo

මම ජනතාවට පිටිකිරි පොවලා කල්කිරි බොන පරයෙක් නොවේ - බුද්ධික පතිරණ

24 February 2019

ආනයනික පිටිකිරිවල උෟරු තෙල් මෙලමයින් තිබෙන බවට ඔබ නගන චෝදනාව ඉතාම බරපතළයි. රටේ අති බහුතර ජනතාවක් පිටිකිරි පරිභෝජනය කරනවා. මේ අය බොන්නේ වහද? ඔබේ චෝදනාවට තිබෙන සාක්ෂි මොනවද? මෙතැන සිදුවන දේ ඔබ තේරුම් ගත යුතුයි. පාරිභෝගික අධිකාරිය තිබෙන්නේ අපේ අමාත්‍යාංශය යටතේ. ඒ වගේම පිටිකිරිවල මිල වැඩිකිරීම් ඇතුළු සාකච්ඡා සඳහා නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මා සම්බන්ධ කර ගන්නැයි කැබිනට් ඇමැති බදියුදීන් ලිපියක් මගින් අනෙකුත් අමාත්‍යාංශවලටත් දන්වනවා. ඒ කියන්නේ මේ ගැන කතා කරන්න ලිපියකින්ම මට බලය පවරා තිබෙනවා. ඒ වන විට පාරිභෝගික අධිකාරියත් පිටිකිරි ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා. මම පත්වෙන්න කලින් එම අධිකාරියට ලැබුණු මහජන පැමිණිලි මත. වයඹ විශ්වවිද්‍යාලයේ සහ බ්‍රිතාන්‍යයේදී මේ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වාර්තා ඇතුළත් පැමිණිල්ලකුත් ඉදිරිපත් වී තිබුණා. මොනවගේ ආයතනවලින්ද පැමිණිලි ලැබී තිබෙන්නේ? තනි පුද්ගලයන්, ආයතන, මව්වරු විදිහට පැමිණිලි ලැබී තිබෙනවා. ඇතැමුන් නම් ගම් කියන්න බයයි මොකද මේ රටේ සුදු වෑන් සංස්කෘතියකුත් තිබුණා. එංගලන්තයේදී කළ පර් යේෂණයට මැදිහත් වී තිබුණේ කවුද? එම වාර්තාව ගත්තේ වෙන කවුරුවත් නෙවෙයි. 2009-10 වර්ෂවලදී වයඹ විශ්වවිද්‍යාලයෙන්. විශ්වවිද්‍යාලයට කිසියම් ආයතනයක් මගින් පිටිකිරි ගැන පරීක්ෂණ කරන ලෙස භාරදී තිබුණා. වයඹ විශ්වවිද්‍යාලයේ එම පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ බොහෝම නරක තත්ත්වයක් ගැනයි. ඒ වගේම ලැබී ඇති පැමිණිලවල තිබෙන්නේ පිටිකිරිවල ප්‍රෝටීන් වෙනුවට මෙලමයින් සහ ඩී.සී.ඩී. තිබෙනවාය. කිරිමේදය වෙනුවට ෆාම්ඔයිල් හෝ වෙනයම් ශාක මේදය ද ඌරු තෙල් ද තිබෙනවාය කියායි. ලැක්ටෝස් කුඩු එකතු කොට හදන බොරු කිරි වර්ගයක් කියාත් කියනවා. ඒ අනුව මේ ගැන පරීක්ෂණ කරන්න අප පෞද්ගලික ආයතනයකට භාර දුන්නා. එහෙත් පරීක්ෂණය භාරගෙන සති දෙකකට පස්සේ ඒ අය කියනවා මේක අපිට කරන්න බැහැ කියලා. අපි සල්ලිත් බැඳලයි තිබුණේ. පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණයක් අනුවයි එලෙස මුදල් බැන්දේ. ඔන්න ඔය කාලේ තමයි අර ඔක්තෝබර් ජංජාලේ එන්නේ. එතැනදි මට අමාත්‍යාංශයෙන් ඉවත් වෙන්න වුණා. එහෙත් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දිගටම මේ ගැන කටයුතු කොට එම ආයතනයට බැඳපු මුදල් නැවත ලබාගැනීමට කටයුතු කර තිබුණා. එම ආයතනය කුමක්ද ? ඇයි රජයේ ආයතනයක පරීක්ෂණ නොකළේ? ම​ගේ මතකයේ හැටියට එස්.පී.සී. හෝ එස්.පී.ජී. නමැති ආයතනයකටයි මේ කටයුතු භාරදී තිබුණේ. රාජ්‍ය ආයතනවල අවශ්‍ය තාක්ෂණික පහසුකම් නොමැති බව එම ආයතන කියනවා. එම පෞද්ගලික ආයතනයට මෙම පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය උපකරණ තිබෙනවාද? අපි විශ්වාස කරනවා එම ආයතනයට එම පරීක්ෂණ සිදු කළ හැකි බව. ඔවුනුත් එය තහවුරු කළා. ඒ නිසානේ දුන්නේ. වැඩේ අතරමග නවත්තපු එක තමයි ප්‍රශ්නෙ. ඇයි එහෙම වුණේ කියන සැකය අපට මතු වෙනවා. ඔබ එවැනි චෝදනා කළාට පිටිකිරි පරිභෝජනයට සුදුසුයි කියලා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශ ආහාර දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන ගණනාවක් සහතික වෙනවා ආහාර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසාන වගකිවයුත්තා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයානේ. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පිටිකිරි සමාගමක තනතුරක් දරන කොටම තවත් කතා කරන්න දෙයක් තියෙනවාද? ඒකෙන් දැන් ඉන්න නිලධාරීන්ටත් කොළ ලයිට් පත්තු වෙනවා, පැන්ෂන් ගියාට පසු ලොකු මුදලකට රැකියාව ඇත කියා. මේක නිකම් අනියම් මිනීමැරුමක් වගේ අනියම් අල්ලසක් නොවේද? අනෙක් අතට ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයම තමයි මීට පෙර දැන්වීම් පළ කළේ කිරිපිටි බිව්වහම ලෙඩ රෝග 21ක් ඇතිවෙනවයි කියල. ඒ දැන්වීම් මා ළඟ තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් නොවේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් එයම අනුමත කර තිබෙනවා. සෞඛ්‍ය ඇමැති කවුද? රාජිත සේනාරත්න මැතිතුමා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති කවුද? රාජිත සේනාරත්න මැතිතුමා. ඒගොල්ලොම දැන්වීමක් දාලා ලෙඩ 21ක් ඇතිවෙන බව කියලා දැන් කියනවා ආනයනික පිටිකිරි බොන්න කියලා. අපි පිළිගන්න ඕන මොකක්ද? එහෙම ලෙඩ රෝග 21ක් ඇති වෙනවා නම් සිගරැට් පැකැට්ටුවේ සඳහන් සෞඛ්‍යයට අහිතකර දැන්වීම් වගේම දැන්වීමක් ඊට ලොකුවට පිටිකිරි පැකැට්ටුවේ සඳහන් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය පියවරගත යුතුයිනේ. නමුත් එහෙම දෙයක් සිදුවුණාද? නෑනේ. සෞඛ්‍ය අමාත්‍යවරයාත් කියනව බය නැතුව පිටිකිරි බොන්න කියලා ? එතුමා දුම්කොළ කොමැපැනිවලට වැට බැන්දා, සීනි කොම්පැනිවලට වැට බැන්දා. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙනාවා. මම ඒවාට ඉතාම ඉහළින් ගරු කරනවා. ඉතින් මම කියන්නේ මේ පිටිකිරි ප්‍රශ්නෙදිත් අමාත්‍යාංශ නිලධාරීන් කියන දේම පිළිගන්නේ නැතුව මධ්‍යස්ථව බලන්න කියලා. එතුමන් ඉගෙන ගත්තේ ජීව විද්‍යාව මමත් ඉගෙන ගත්තේ ජීව විද්‍යාව. අපි යම් දෙයක තීන්දුවකට එන්නේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මගින්. ඒ නිසා අනුන්ගේ පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන මත යැපෙන්නේ නැතිව අපි දෙන්නම පරීක්ෂණ, නිරීක්ෂණ කරලා නිගමනවලට එමු කියලයි මම කියන්නේ. එතුමට මම හරිම ආදරෙයි. මම කැමැති නැහැ රාජිත ඇමැතිතුමාට අපත්තියක් වෙනවට. ඒකනෙ මෙච්චර කියන්නේ. ඔබට අවශ්‍ය නම් බදියුදීන්​ අැමැතිවරයා ලවා මේ ගැන කැබිනට් එකේදි ප්‍රශ්න කරන්න පුළුවන්? කැබිනට් එකේ ඉන්නවද මේක ගැන පරීක්ෂණ කරන්න පුළුවන් අය. පරීක්ෂණාගාරයට ගිහින් ටෙස්ට් ටියුබ් එකක් අල්ලපු කී දෙනාද කැබිනට් එකේ ඉන්නේ. මේ එකක්වත් නෙමෙයි කරන්න ඕන. එක්කෝ ආනයනික පිටිකිරි ගැන සොයා බලන්න ජනාධිපති පරීක්ෂණ කොමිසමක් පත් කළ යුතුයි. නැත්නම් සර්ව පාක්ෂික තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි. එතකොට ඒ අයට පුළුවන් ලෝකයේ අනෙකුත් රටවල්වලට කතා කරලා මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න. පිටිකිරිවල ප්‍රමිතිය පරීක්ෂා කරන්න ශ්‍රී ලංකාවේ ආයතන සතුව තිබෙන තාක්ෂණික උපකරණවලට හැකියාවක් නැද්ද? වහාම ඊට අවශ්‍ය කරන උපකරණ ගෙන්විය යුතුයි. එතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට පරීක්ෂණ කිරීමේ හැකියාවක් නැද්ද? ප්‍රමිති ආයතනය පිළිබඳ ජනාධිපති වාර්තාව බැලුවහම ඒ අය කවුද කියල අවබෝධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ පරීක්ෂණ භාරදීමට තරම් ප්‍රමිති ආයතනය සුදුසු මදි කියන එකද? මම නෙමේ, විගණකාධිපතිතුමා ප්‍රමිති ආයතනයේ කල්ක්‍රියාව ගැන දුන්නු විගණන වාර්තාව බලන්නකෝ. එතකොට එම ආයතනය ගැන තීන්දුවක් ගන්න පුළුවන්. අනෙක් අතට ප්‍රමිති ආයතනය තමයි යම් යම් පරීක්ෂණයන්ට අදාළ ප්‍රමිතීන් නිර්මාණය කරන්නේ. එවැනි ප්‍රමිති හදන අය ලවාම පරීක්ෂණ කරවන එක එතරම් සුදුසු නොවන බවයි මගේ හැඟීම. මම කියන්නේ ප්‍රමිති ආයතනය දූෂිතයි කියන එක නොවේ. ඒක තීරණය කිරීම අදාළ පාර්ශ්වයට භාර වෙනවා. කොහොම වුණත් කිරිපිටි සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස පාර්ලිමේන්තුව මගින් මේ වන විට පාරිභෝගික අධිකාරියට දන්වා තිබෙනවා ? එම පරීක්ෂණය විදේශයකදී සිදු කරන්න යන බවයි පේන්නේ? ඒකට හේතු ගණනාවක් තිබෙනවා. අපට බයයි පිටිකිරි සමාගම්වලින් සල්ලි දීලා අපේ ඇතැම් මිනිසුන් අල්ලගනියි කියලා. අනිත් එක මෙම පරීක්ෂණ ඉතාම ගැඹුරින් සිදුවිය යුතුයි. පිටිකිරිවල තිබෙන ​මේදය කිරි මේදයම ද කියලා තහවුරු කර ගත යුතුයි. ඌරු තෙල් හෝ ශාක තෙල් තිබෙනවාද යන්න ස්ථිර ලෙසම දැනගත යුතු වෙනවා. මොකද නවසීලන්තයේම ඇතැම් පිටිකිරි සමාගම්වල වෙබ් අඩවිවල සඳහන් වෙනවා තුන්වැනි ලෝකයේ රටවල්වලට යවන්නේ කලවම් කරපු පිටිකිරි බවට. මේව මම කියන්නේ ඔප්පු කරන පුළුවන් නිසයි. දේශීය පිටිකිරි සම්බන්ධයෙන් දෙන තහවුරුව කුමක්ද? ඒ අය ගැනත් අප අවධානයෙන් ඉන්නවා. වේවැල තියාගෙන ඉන්නේ. ඒ අය නිෂ්පාදනය කරන යෝගට්, අයිස්ක්‍රීම්, ගැනත් සොයා බැලීම් කරනවා. දැනට එහෙම ගැටලුවක් වාර්තා වන්නේ නැහැ. පිටිකිරි නම් කවුරුත් එකයි. හැමදෙනාටම එකම නීතිය. ඒකයි මම කියන්නේ රස පරීක්ෂක හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ ප්‍රමිති ආයතනය හෝ යම් පරීක්ෂණයක් කරලා තිබෙනවා නම් සෞඛ්‍ය ඇමැතිතුමා හෝ නියෝජ්‍ය ඇමැතිතුමා මගින් ඒවා පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා එවිට අපට පුළුවන්. ඒ පරීක්ෂණ මත ඉදිරි පියවර ගන්න. නමුත් එහෙම වෙන්නෙ නැහැනේ. ඔබ කරන චෝදනාව නිසා කිරිපිටි ආනයනය යම් විදිහකට අඩාළ වුණොත් දේශීය පිටිකිරි නිෂ්පාදන මගින් වෙළෙඳපොළ ඉල්ලුම සම්පූර්ණ කරන්න පුළුවන්ද? දේශීය සමාගම්වලට ඉල්ලුම සපයන්න බැහැ. ඒක හරි. හැබැයි ඉල්ලුම සපයන්න බැහැ කියල වහ බිව්වොත් හරිද? මේක දැන් ඇබ්බැහියක් වෙලා. කසිප්පු බොනවා. සිගරැට් බොනවා වගේ සමහර අයට වැසිකිළි යන්නත් පිටිකිරි බොන්න ඕන. ඔබ ගෙන යන සටනට බදියුදීන් ඇමැතිවරයාගෙන් ලැබෙන සහාය ප්‍රමාණවත්ද? ‘අපෝ’ ඔව්. එතුමාටයි මටයි පසුගියදා මන්නාරමේදී අගමැතිතුමා හමුවුණා. එහිදී අගමැතිතුමා මගෙන් ඇහුවා යාපනේට ආවේ නැත්තේ රාජිත ඇමැතිතුමාට බයේද කියලා. මා කිව් හැම වචනයක්ම මට විශ්වාසයි. ඒ කිව්ව හැම දෙයකම වගකීම මම බාර ගන්නවා කියලා අගමැතිතුමාට කිව්වා. ඒ වෙලාවේ අගමැතිතුමත් බදියුදීන් ඇමැතිතුමත් බොහෝම හොඳින් මා කියන දේ අසාගෙන හිටියා. මම වැරදිනම් අගමැතිතුමා කියන්න එපැයි රාජිත ඇමැතිතුමත් එක්ක හැප්පෙන්න යන්න එපා ඕක නවත්වන්න කියලා. අගමැති තුමා එහෙම කිව්වේ නැහැ. ඒ කියන්නේ මට ‘ගෝ හෙඩ්’ කියන එකනේ. බදියුදීන් ඇමැතිතුමත් මට බාධා කරන්නේ නැහැ. රටේ සාමාන්‍ය ජනතාව අතර මතයක් තිබෙනවා ඕන දෙයක් ගැන ඕනවට වැඩිය කෑ ගහනවා නම් එතැන යටිකූට්ටු වැඩක් තිබිය හැකි බවට. ඇතැම් විට ඔබ මේ නගන හඬ ගැනත් එවැනි සැක මතුවිය හැකියි? එ​හෙම කරන අය ඇති. එහෙත් මම ඉතා පැහැදිලිව කියනවා. මම පසුගිය කාලෙ වැඩ කරපු හැටි බලන්න කියලා. 1818 කැරැල්ලේ විරුවන් රාජ්‍යද්‍රෝහී ලේඛනයෙන් ඉවත් කරන්න මට හැකි වුණා. ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ සිදුවූ වංචාව හෙළි කළා. ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ අක්‍රමිකතා හෙළි කළා. ඒ සටනත් ජය ගත්තා. ජාතික ඇගයීම් ප්‍රතිපත්තියක් රටට ඕන කියල පාර්ලිමේන්තුවට යෝජනා කළේ මම. මෙවැනි ජයග්‍රහණ රැසක් මම රටට ඇති කර දුන්නා. එහෙම කරපු මම නිකම් ‘ලෑතරස්’ වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ වගේම ඔබතුමාලටත් යමක් කියන්න ඕන. ඔබේ මාධ්‍ය ආයතනයට මම ගරු කරනවා පිටිකිරි සිද්ධිය ගැන පිටු ගණන් ලියමින් ජනතාව දැනුවත් කිරීම ගැන. එලෙස ලියැවෙන පුවත්පත් ඉතාම අඩුයි. ඔබ ආයතනය මේ ඉටු කරන්නේ ජාතික යුතුකමක්. මේ වගේ සතියක් දෙකක් ලියන කොට පිටිකිරි සමාගම්වලින් දැන්වීම් එන්න පටන් ගනියි. එතකොට මෙම ජාතික යුතුකම පැහැර හරින්න එපා කියා ඉල්ලා සිටිනවා. මේ සටනෙනුත් ජයගන්නයි එහෙනම් කල්පනාව? ඔව්. අනිවාර්යයෙන්ම. මේකේ ජයග්‍රහණය කියන්නේ සත්‍ය හෙළි කර ගැනීමයි. සටන ජයගැනීම කෙසේ වෙතත් තියෙන නියෝජ්‍ය ඇමැතිකමටත් තට්ටු වෙයිද දන්නේ නැහැ? මම වගකීමෙන් කියනවා. මේ රජය පවතින තාක්කල් පාරිභෝගික අධිකාරිය නැති කිසිම අමාත්‍යාංශයක් මම භාරගන්නේ නැහැ. එවැනි අමාත්‍යාංශයක රාජ්‍ය ඇමැතිකමක් දුන්නත් මම ගන්නේ නැහැ. මේ නියෝජ්‍ය ඇමැතිකම නැති වුණොත් ආණ්ඩුවේම පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස වාඩිවෙනවා. ඒ වගේම කියන්න ඕන. මම තව තීන්දුවක් අරන් තිබෙනවා. මේ ප්‍රශ්නයෙන් පැහැදිලි තීන්දුවක් එනකම් පාර්ලිමේන්තුවෙන් දෙන කිසිම තේ එකක් බොන්නේ නැහැ. මම මේ ගැන කතා කරන කොට එදා කථානායකතුමා කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බයවෙන්න​ දෙයක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන්නේ කල්කිරි සහ නැවුම් කිරි කියලා. මේකෙන් නොකියා කියන්නේ පරීක්ෂණ නොකළත් පිටිකිරිවල යම් ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කියන එක නේද? රටේ ජනතාවට පිටිකිරි පොවලා මම කල්කිරි බොන්න තරම් පරයෙක් වෙන්න කැමැති නැහැ. තුෂාර උඩවත්ත
 

More News..