brand logo

මම ගැන පැතිරෙන කට කතා අමූලික බොරු

14 September 2020

අද පළමු පියවර තුළින් ඔබට සමීප කරන්නේ 80 දශකයේ දී ලංකාවේ යොවුන් ගී කණ්ඩායම නියෝජනය කළ බොහොම සංවේදී ප්‍රතිභා පූර්ණ කලාකරුවෙක් වන සෝමසිරි මැදගෙදර මහතාගේ ගමන් මග. පසුගිය දිනක ඔහු ගැන අසත්‍ය පුවතක් පවා සමාජ මාධ්‍ය තුළ හුවමාරු වුණා. කෙසේ වෙතත් කිසිදු කරදරයකින් තොරව ඔහු සුවය ලබමින් සුවසේ කල් ගෙවනවා. මේ ඔහු සංගීත ලොවේ තැබූ මුල් පියවරයන්.... මම උපන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ තෙරිපැහැ කියන ගම්මානයේ. මගේ සංගීත ජීවිතය පටන් ගන්නේ නවසිය අසූ ගණන්වල. එවකට ජාතික තරුණ සේවා සභාවේ සභාපති වෙලා හිටියේ චරිත රත්වත්තේ මහතා. ඉතින් ඒ මහතාට ඕනේ වෙලා තිබ්බා තරුණ සේවා සභාවට අනුබද්ධව යොවුන් ගී කණ්ඩායමක් පිහිටුවන්න. ඕකට ඉල්ලුම්පත් කැඳවලා තිබ්බා පුවත් පත් දැන්වීම් මගින්. ඒකට මමත් අයැදුම් කළා. මාව දිස්ත්‍රික් මට්ටමින් තේරුණා. ඊට පස්සේ තිබ්බා යොවුන් ගී කණ්ඩායමට බඳවා ගැනීමේ තරග විනිශ්චය මණ්ඩලයක් ඉදිරියට යන්න. මම ඒකට ගියා. එතැන හිටියේ මහාචාර්ය සනත් නන්දසිරි මහතා. එතුමා ප්‍රතාපවත් විදියට මගේ ඉස්සරහ ඉන්නවා මම මගේ අවස්ථාව අරගෙන ගීතයක් ගායනා කළා. එතැනිනුත් මාව තේරුණා. ඒ වගේම මට වාසනාව ලැබුණා යොවුන් ගී කණ්ඩායමේ පළමු සාමාජිකයා වෙන්න. ඊට පස්සේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, චන්ද්‍රලේඛා පෙරේරා, තේජා දමයන්ති ගුණවර්ධන, ධම්මිකා කරුණාරත්න, මාෂල් ජනතා කියන අය එක්ක යොවුන් ගී කණ්ඩායම ආරම්භ වුණේ. අවිස්සාවේල්ල බටංගල පුහුණු මධ්‍යස්ථානයේ තමයි අපිට පුහුණු වීම් කටයුතු තිබ්බේ. අපේ ගුරුවරු වුණේ විශාරද නිහාල් ගම්හේවා සහ විශාරද ෂර්ලි වෛජයන්ත මහතා. අපේ යොවුන් ගී කණ්ඩායමට පුළුවන් වුණා නව ආරක ගී සම්ප්‍රදායක් ඇති කරන්න. ඒ අනුව බිහි වුණු ගීත තමා සීත කඳුයායේ..., තවලම් අපි යනවා.., ජයතු ජයතු..., දොර කවුළුවෙන් එබී බලා වගේ ගීත. ඒ වෙද්දී රසිකයින් අතර වඩා ජනප්‍රිය වෙලා තිබ්බේ හින්දි ගීත. නමුත් අපිට පුළුවන් වුණා ඒ හින්දි ගී රැල්ලට විරාමයක් තියන්න. ඒ වගේම කණ්ඩායම් සංගීතයේ හැරවුම් ලක්ෂ්‍යක් බවටත් පත් වුණා. අපි රටපුරා සංගීත සංදර්ශනවලට සහභාගි වුණා. ඔය අතරේ 1984 දී මට ජාතික තරුණ සේවා සභාවේ ප්‍රධාන කාර්යාලයේ සහකාර නිලධාරී තනතුරක් ලැබුණා. ඒ නිසා 1984 ජුනි 16 වනදා ඒ තනතුර මම භාර ගනිද්දී යොවුන් ගී කණ්ඩායමට සමුදෙන්න සිද්ධ වුණා. නමුත් මම සංගීතයට තිබ්බ ආදරය ආශාව නිසාම ගුවන් විදුලි තැටියකට ගීත හතරක් ගායනා කළා. ඒ ගීත හතර තමයි "රිදවන්න එපා මේ තරම්.... ඔබේ ආදරේ මහා සාගරේ... සඳයි තරුයි නිසංසලේ... අසා ඇති අපි..." මේ ගීත හතර නොසිතු විදියට ජනප්‍රිය වුණා. මේ කාලයේ තමා කැසට් පට ජනප්‍රියත්වයට පත් වුණේ. මගේ මුල්ම කැසට් පටය මම කළේ 1986 දී ඒ "මංගල යහන" කියන කැසට් පටය. ඊට පස්සේ 1989 දී අහිංසකාවිය ඔබට නොවේ, 1992 දී සිතක් බිඳුණු පසු... කියන කැසට් පට දෙක නිකුත් කළා. ඊට ටික කාලයක් ගත වෙද්දී සන්ෆ්ලවර් සංගීතය රැල්ලක් වෙලා තිබ්බේ. සන්ෆ්ලවර් සමඟ සෝමසිරි කියලා 2000 / 2001 දී කැසට් පට දෙකකුත් නිකුත් කළා. ඒවා උණු කැවුම් වගේ අලෙවි වුණා. ඊට පස්සේ 2004 දී සුවඳ හාදුවක්. සහ 2011 දී පහන් වැටක් කියන ගී එකතුව කළා. මේ වෙද්දී නම් කැසට් පට යට ගිහින් සී.ඩී තැටි එන යුගය. ඒ නිසා මගේ කැසට් පටවල ගීතත් සීඩී පටවලට නැවත ගත්තා. ඊට පස්සේ මට අවස්ථාව ලැබුණා ශ්‍රියාණි අමරසේන මහත්මිය නිෂ්පාදනය කරපු ඉරබටු තරුව ටෙලි නාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කරන්න. ඒ පටන් ගැන්මෙන් පස්සේ ටෙලිනාට්‍ය කිහිපයකම මම සංගීත අධ්‍යක්ෂණය කළා. මගේ නිර්මාණ එක්ක මගෙත් එක්ක යුග ගායනාවෙන් එකතු වෙලා තියෙනවා නිලා වික්‍රමසිංහ, දීපිකා ප්‍රියදර්ශනී, මාලනී බුලත්සිංහල, ප්‍රදීපා ධර්මදාස, ශෂිකා නිසංසලා. විශේෂයෙන්ම මම මෙතැනදී සනත් නන්දසිරි සර්ව මතක් කරන්න ඕනේ. එතුමාව මම දකින්නේ මගේ පියා වගේ. මගේ ජීවිතේ සුවිශේෂී තැන් කිහිපයකම එතුමා තමා මා එක්ක හිටියේ. මගේ මුල් ගී අතර තියෙන සඳයි තරුයි නිසංසලේ... කියන ගීතයේ සංගීතය පවා එතුමා කළේ. ඒ විතරක් නෙවෙයි මගේ විවාහයේ වගේම මගේ පුතාගේ විවාහයට පවා අත්සන් කළේ එතුමා. මම භාග්‍යවන්ත වුණා තරුණ සේවා සභාවේ සංස්කෘතික අංශයේ සහකාර අධ්‍යක්ෂ තනතුර දක්වා එන්න ඉතින් ජීවිතේ දිහා මම බලන්නේ. උපේක්ෂා සහගතව. මමයි මගේ නෝනයි දරුවෝ තුන්දෙනයි ජීවත් වුණේ සහ ඉදිරියටත් ජීවත් වෙන්නේ කිසි කෙනෙක්ට කරදරයක් නැතිව. ඒ නිසා කිසි ලෙසකින් කරදරයක් නොවෙයි කියන විශ්වාසය එදත් තිබ්බා අදත් තියෙනවා. ඕනෙම කෙනෙක්ට ලෙඩ දුක් හැදෙන්න පුළුවන්. ඒ ගැන දුකක් නැහැ. මම වුණත් නිසි ප්‍රතිකර්ම ලබා ගනිමින් සුව අතට පත්වෙමින් ඉන්නේ. දැන් සංගීත ප්‍රසංගවලට පවා සහභාගී වෙනවා. විශේෂයෙන්ම ස්තුති වන්ත වෙන්න ඕනේ මහරගම අපේක්ෂා රෝහලේ සියලුම දෙනාට. අනුෂා රණසිංහ
 

More News..