brand logo

මම කොහොමහරි එනවා - බලාගෙන ඉන්නකෝ

09 September 2019

ඉකුත් සතිඅන්තයේ රැස්වූ ‘කැලණි විහාරයේ දායක සභාවෙන් රනිල්ව ඉවත්කිරීම’ ද වැදගත් දේශපාලන සිදුවීමක් විය. මෙහිදී අනාදිමත් කාලයක් තිස්සේ එහි සභාපතිත්වය දැරූ අගමැති රනිල්ව ඉවත්කිරීමට යෝජනාවක් පැමිණි අතර දායක සභාවේ සම ලේකම් සමන් රණසිංහ විසින් එය ස්ථිර කරන ලදී. ඉන් අනතුරුව විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් විසින් ඒ සඳහා ඡන්ද විමසීමක් පැවති අතර එහිදී අගමැති රනිල් ඉන් ඉවත්කිරීම වැළැක්වීම වෙනුවෙන් ඡන්ද හතක් පමණ ලැබෙද්දී එමෙන් අට ගුණයක් පමණ වූ සෙසු දායකයන් ‘රනිල් ඉවත් කළ යුතු බවට’ වන යෝජනාවට පක්ෂ විය. මේ අනුව සිය මව් පාර්ශ්වයයෙන් රනිල්ට ලැබුණු කැලණිය දායක සභාවේ බලය මේ වන විට රනිල් අතින් සම්පූර්ණයෙන් ම ගිලිහී ගොස් ඇති බව කිව හැකි ය. මේ සම්බන්ධයෙන් පසුගිය සඳුදා පාර්ලිමේන්තු ලොබියේදී අපූරු කතාබහක් සිදුවිය. ඒ එ.ජා.ප. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් සහ එ.ජ.නි.ස. පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් අතර ය. ‘‘ලොක්ක දායක සභාවෙන් නම් එළෙව්වා නේද...?’’ එ.ජ.නි.ස. මන්ත්‍රීවරයෙකු ඇසුවේය. ‘‘පක්ෂ නායකත්වයෙනුත් ළඟදීම යන්න වෙනවා...’’ එ.ජා.ප. මන්ත්‍රීවරයෙකු කීවේ ය. ‘‘කැලණිය දායක සභාවෙන් කට්ටියක් කෘත්‍යාධිකාරියට දැම්ම නං ඉවරයිනෙ මල්ලී...’’ තවත් එ.ජ.නි.ස. මන්ත්‍රීවරයෙකු පැවසුවේ ය. ‘‘ඒක නං නියම අදහස...’’ එ.ජා.ප. මන්ත්‍රීවරයා නැවත වතාවක් පැවසුවේ ය. කෙසේවෙතත් මේ කතාබහ මේ ආකාරයෙන් සිදුවන අතරතුර එ.ජ.නි.ස.යේ නිමල් ලන්සා සහ එ.ජා.ප.යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර ද ‘රසවත්’ දෙබසක් ඇතිවිය. පාර්ලිමේන්තුවේ පිවිසුම් දොර අසලින් යන සජිත් ප්‍රේමදාසට ඇසෙන ලෙස ‘‘ආ... ආ... අපේක්ෂකතුමා...’’ යැයි නිමල් ලන්සා කීවේය. ‘‘ඕක ටිකක් හයියෙන් අපේ පැත්තෙ අයටත් ඇහෙන්නත් කිව්වනං තමයි හොඳ....’’ සජිත් කීවේ ය. ‘‘හරි... හරි... ඔබතුමා ඉස්සෙල්ල අපේක්ෂකත්වය ගන්න...ඊට පස්සෙ අපි හයියෙන්ම කතා කරන්නම්...’’ ලන්සා කීවේය. ‘‘මම කොහොමහරි එනවා.... බලාගෙන ඉන්නකො...’’ සජිත් කීවේය. ඉන්පසුව එතැන රැඳී සිටි මන්ත්‍රීවරුන් තවදුරටත් සජිත් ගැන කතා කළේ ය. ‘‘මිනිහා පාවිච්චි කරන්නෙ වර්ණපාල තියරිය...’’ ‘‘කොහොමට හිටපු මිනිහෙක් ද... පව් අප්පා... රනිල් කීයටවත් මෙච්චර කල් ගිහිල්ලා සජිත්ට දෙන එකක් නෑ...’’
 

More News..