brand logo

මම ක්‍රිකට් නිලවරණයට එනවා - ක්‍රිකට් දියුණු කිරීම මගේ අරමුණයි

01 February 2019

තමන් සහ තම පාර්ශ්වය ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් ජයගතහොත් රට ගැන සිතන පරිපාලනයක් සේම කණ්ඩායමක්ද ඇති කරන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. තමන් සිටින ක්‍රිකට් පරිපාලනයකදී රට සහ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරන, තමන් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කරන බවද ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උඩුගම්පොල පැවැති ක්‍රීඩා උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි. “ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ තවත් මාස කිහිපයක් පමණයි. ලෝක කුසලානය දිනා ගන්න තියා අවසාන තරගවලට එන්න පුළුවන් තත්වයක්වත් දැන් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. ක්‍රිකට් අද වැටිලා තියෙන්නේ ඉතා භයානයක තත්ත්වයක. මම පසුගිය වසර කිහිපයේම ක්‍රිකට්වලින් ඉවත් වෙලා සිටියේ. නමුත් තවදුරටත් එහෙම ඉන්න බැහැ. මහජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ නිහඬ කියලා. ඒ නිසා තමයි ‍මම මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ. අපි මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්නේ එක් පාර්ශ්වයක් ලෙසින්. එම පාර්ශවයේ මම කැමැති නැති පුද්ගලයින් ඉන්න පුළුවන්. නමුත් ඒ කණ්ඩායමේ සූදුකාරයෝ නැහැ. හොරකම් කරන අය නැහැ. ක්‍රිකට්වලට යමක් කරන්න කැමැති අයයි ඒ පාර්ශ්වයේ ඉන්නේ. අපි කණ්ඩායමක් විදියට මේ නිලවරණයෙන් ජයග්‍රහණය කළාට පස්සේ අනිවාර්යෙන්ම ක්‍රිකට් හදනවා. පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආ සල්ලි කොහේ ගියාද කියලත් හොයනවා. මම ඒ සඳහා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ලබා ගන්නවා. අපි අපේ රටේ ක්‍රිකට්වලට ආ ‍මුදල් ගසා කෑවේ කවුද කියලා හොරකම් කළේ කවුද කියලා රටට පෙන්වන්න ඕන යැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ එංගලන්තයේ මැයි මාසයේ සිට වේ. එම තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ඉහළට ගත යුතු බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. “වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට මූලිකතම හේතුව නුසුදුසු පුද්ගලයෝ පරිපාලනයට පැමිණීම. මට ඇත්තටම සභාපති ධුරයට සුදුසුකම් තියෙනවා. නමුත් ක්‍රිකට් නීතියට අනුව මට සභාපති ධුරයට තරග කරන්න බැහැ. ඒ නිසා මම මෙවර නිලවරණයේදී උපසභාපති ධුරයට තරග කරන්න තීරණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ක්‍රිකට් පරිපාලනය වගේම ක්‍රීඩකයින්ගේ මොළත් ශුද්ධ කරන්න ඕන. ක්‍රීඩකයින්ගේ විනය ගැන අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. කැපවීමත් අවශ්‍යයි. ඒවා හදාගන්න පුළුවන්. මේ දරුවෝ වැඩිපුර ප්‍රමාණයක් ගම්වලින් ආව අය. මේ අයගේ මනස විනාශ කලේ මේ පරිපාලනය කළ සූදු කාරයෝ. ක්‍රීඩකයින්ට තමන්ට රටට ක්‍රීඩා කිරිමට අවශ්‍යතාවය නැත්නම් ඒ අය ක්‍රීඩා කරන්න ඕනි නෑ. තවත් ඕනි තරම් මේ රටේ ක්‍රීඩකයෝ ඉන්නවා. අපි ඉදිරියේදි මේ කටයුතු සාර්ථකව කරගෙන යන්න කටයුතු කරනවා යනුවෙන් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය.
 

More News..