brand logo

මම කලාවට ආවට පස්සේ තමයි අපි හඳුනාගත්තේ

03 August 2021

සිඳු, මැටි කඩුළු ඇතුළු ටෙලි නාට්‍ය කීපයකින්ම විවිධ චරිත ඔස්සේ හමුවන රංගි රාජපක්ෂ කියන්නේ ටිකක් වෙනස් නිළියක්. මහ පොළොවේ පය ගහලා ඉන්න කැමති රංගිට ඕනම චරිතයක් කරන්නත් පුළුවන්. මේ නිසාම අපි අද රංගිව මුණ ගැසෙනවා...

මේ දවස්වල රසික රසිකාවියන් රංගිව වැඩියෙන්ම ප්‍රතිචාර දක්වන්නේ ගුරුතුමිය ටීචර්ගේ චරිතයටලු නේද?

ඇත්තටම සිඳු ටෙලි නාට්‍යයේ ගුරුතුමියගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මගේ චරිතයේ සහාය නළුවා කෝකිල පවන් මල්ලිනේ. එයත් මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලබන කෙනෙක්නේ. ඒ දේවලුත් එක්වෙලා තමයි මේ ප්‍රතිචාර විඳින්නේ.

මේ විදිහට ලංකාවේ දීර්ඝතම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ...

මම මීට පෙර ‘බස් එකේ ඉස්කෝලේ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. එහි අධ්‍යක්ෂවරයා වුණේ තිළිණ බොරලැස්ස අයියා. ඒ දැනහැඳුනුම්කම මත තමයි මට සිඳු ටෙලි නාට්‍යයේ ගුරුතුමියගේ චරිතයට ඇරයුම් ලැබුණේ. තිළිණ අයියා එක්ක මීට පෙර වැඩ කරලා තිබුණ නිසා සිඳු එකේ වැඩ කරන එක නම් හරි පහසුයි. මේක මම හරි ආසාවෙන් භාරගත්ත චරිතයක්. පුංචි දරුවෝ එකක් වැඩ කරද්දි හරිම සුන්දරයි. හැබැයි ඉතින් එයාලට තේරෙන්නෙ නැහැ. වෙලාවකට හරි දඟයි. ඒ හැම අලකලංචි ගොඩක් මැද්දෙ මෙයාල එක්ක ඉන්න එකම මට අලුත් අත්දැකීමක්.

ඔය කොයිදේත් මට නම් හුරු පුරුදුයි

රංගිට රංගන දිවිය ආරම්භ වෙන්නෙම විවිධත්වයකින් නේද...

මම හරි ආසයි විවිධ චරිත කරන්න. අහිංසක සුන්දර චරිත වගේම දුෂ්ට චරිතත් මම මේ වෙද්දි කරලා තියනවා. සුදු චරිතවලට රසිකයෝ ආදරය කරනවා වගේ තමයි කළු චරිත ළඟදි බැණුම් අහන්නත් වෙනවා. ඒත් ඒ බැණුම් අහන්න වෙන්නේ අපි හරියට චරිතය කරන නිසානේ. මම ඒ හැම දෙයක්ම සතුටින් භාරගන්නවා. පහුගිය දවස්වල අවසන් වුණ මැටි කඩුළු කියන්නෙත් දුෂ්කර පරිසරයක රූපගත කරපු වෙනස්ම චරිතයක්. මේ දවස්වල රූගත කරන සඳ දෝණත් මාගේ රූපය සම්පූර්ණයෙන්ම කළු කරලා තමයි වෙස් ගන්වන්නේ. අපි කකුල්වල දියපට්ටා එනකම් ඇවිදිනවා. වෙලාවකට තුෂාරි අක්කා කියනව අපි මේ ලස්සන කෙල්ලව කැත කරනවා කියලත්. ඒත් මම ඒ දුෂ්කර අත්දැකීම්වලට හරි ආසයි.

ජීවිතය මතුපිටින් පෙනෙන තරම්ම සුන්දරද...

ඒක ඉතින් එක එක්කෙනාට අනුව වෙනස්. මම නිළියක් කියලා මගෙ ගැන එළියේ අය කතා කරනවා කියලා කොයිම වෙලාවකවත් මට හිතෙන්නෙ නැහැ. ගෙදර ගියාම මම ගේ අතුගාන, තේ හදන, රෙදි හෝදන, අපේ අම්මා කියන වැඩවලට උදව් වෙන සරල තරුණියක් විතරයි. මම පොළටත් යනවා, කඩෙත් යනවා, සුපර් මාකට් එකටත් යනවා. පේමන්ට් එකෙනුත් ඇඳුම් ගන්නවා, ලොකු සාප්පුවලිනුත් ඇඳුම් ගන්නවා. ඔය කොයිදේත් මට නම් හුරු පුරුදුයි.

මම වාහනයක් ගන්නකම් මම ෂූටිං ගියෙත්, මගේ වැඩවලට ගියෙත් බස් එකේ

ඔබ හැදී වැඩෙන්නේ මොන වගේ පරිසරයකද?

අපි ගමක සාමාන්‍ය පවුලක්. ඒත් අපේ අම්මයි, තාත්තයි අපිට කිසිම අඩුවක් කරල නැහැ. අපේ තාත්තගේ ව්‍යාපාරය ලර්නර්ස් එකක් නිසා පොඩි කාලෙ ඉඳන් ගමන් බිමන් යන්න අපිට වාහන තිබ්බා. හැබැයි ගෙදර කොච්චර වාහන තිබ්බත් රියැදුරු පුහුණුව ලබන්න ගෙදර වාහනයක් පාවිච්චි කළා හැර මගේ කිසිම දේකට ගෙදර වාහනයක් අරන් ගිහින් නැහැ. මම වාහනයක් ගන්නකම් මම ෂූටිං ගියෙත්, මගේ වැඩවලට ගියෙත් බස් එකේ.

මේ වෙද්දි රංගි නිළියක් විතරක් නෙවෙයි නේද?

අපේ තාත්තා ලර්නර්ස් එකක් කරන නිසා මමත් වෑන් එකක් අරන් ඒකෙම ශාඛාවක් පටන් ගත්තා. දැන් ඒ ව්‍යාපාරය දියුණු මට්ටමක තියෙනවා. ඉතින් මම නිළියක්, නිරූපිකාවක් හා ව්‍යාපාරිකාවක් කියන චරිත තුන ඇතුළේ ඉන්නවා.

නිළියකට වඩා ප්‍රසිද්ධ නිරූපිකාවක් හැටියට නේද?

මම මුලින්ම දන්න අයගේ මනාලියන් දැක්මවල් හා ෆොටෝ ෂූට් කළා. ඔය කාලෙ තමයි ගොඩක් දෙනා මට නිරූපණ ක්ෂේත්‍රයට යන්න කිව්වේ. පස්සේ මම බ්‍රයන් සර්ගේ ක්ලාස් එකට ගියා. එතැන ඉගෙන ගනිද්දි මට වෙළෙඳ දැන්වීම් ලැබෙන්න ගත්තා. මේ විදිහට මට වෙළෙඳ දැනවීම් 35, 40ක විතර එක දිගට නිරූපණයේ යෙදෙන්නත් අවස්ථාව ලැබුණා. ඔය අතරෙ දෙරණෙදි තුෂාර අයියා මාව දැකලා ‘රාවණ’ ටෙලි නාට්‍යයට ඇරයුම් කළා. එතැනින් පස්සේ මම රංගනයට එකතු වුණා.

දිගටම කලාවෙ ඉන්නවද..

ඔව්. මම කලාවටත් ආදරෙයි, රංගනයටත් ආදරෙයි. වෙනස් වෙනස් හොඳ වැඩ කරන්න ආසයි.

මම කලාවට ආවට පස්සේ තමයි අපි හඳුනාගත්තේ

ළඟදිම විවාහ වෙනවා කියලා ඔබ මාධ්‍යයට කියලා ගොඩක් කල් ගියානේ...

ඔව්. අපි මේ අවුරුද්දේ විවාහ වෙන්න තමයි හිටියේ. ඒත් මේ කොරෝනා ප්‍රශ්නය නිසා ඒක ටිකක් කල් දාන්න වුණා. ලබන අවුරුද්දේ මැද වෙද්දි හරි විවාහ උත්සවය ගන්න තමයි සැලසුම් කරන් ඉන්නේ.

ඔහුත් කාලවෙන් හම්බවුණ කෙනෙක්ද...

නැහැ. එයාව පුද්ගලික දැන හැඳුනුම්කම මත හඳුනාගත්ත කෙනෙක්. එයා පෞද්ගලික අංශයේ රැකියාව කරන්නේ. මම කලාවට ආවට පස්සේ තමයි අපි හඳුනාගත්තේ. හැබැයි මම මේ දැන් ඉන්න තත්ත්වය ගැන හිතලා පටන් ගත්ත සම්බන්ධකමක් නම් නෙවෙයි. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..