brand logo

මම කරන්නේ මට හොඳයි කියලා හිතෙන දේ

23 March 2020

කලා ලෝකයේ පුවත් මවන ජනප්‍රිය චරිත අතර චතුරිකා පීරිස් කියන්නෙ ඉදිරියෙන්ම සිටින තරුවක්. ඇතැම් අවස්ථාල චතුරිකාගේ කලා දිවියේ තොරතුරුවලටත් වඩා ඇයගේ පෞද්ගලික දිවියේ තොරතුරුවලට රසිකයන්ගේ අවධානය වැඩිවූනා. මොනව කොහොම සිද්ධ වුණත් ඇය බොහෝම නිසංසලේ ඇගේ ගමන යනවා. පසුගියදා සිය ජීවිතයේ උතුම් පදවියෙන් ඇය පිදුම් ලැබුවා. අම්ම කෙනෙක් වුණාට පස්සෙ තවම රංගන කටයුතුවලට ගියේ නැද්ද? මම ඇත්තටම ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තෙ බබා ඉපදිලා දවස් 17 න්. මොකද දරුවා ලැබුණ කාලයේම මම කලින් වැඩ කරපු ටෙලි නාට්‍යයක ඉතිරි කොටස් රූගත කිරීම ආරම්භ වුණා. ඒ නිසා මට ඒකට යන්න සිදු වුණා. ඊට පස්සෙ නම් මම ලොකුවට වැඩවලට ගියේ නැහැ. මම ආයෙත් වැඩ භාර අරගෙන තියෙන්නෙ මැයි මාසෙන් පස්සෙ කෙරෙන නිර්මාණවල. දැන් ඉස්සර වගේ කාර්යබහුල වෙන්න අපහසුයි ද? මම රංගන කටයුතුවලින් කවදත් කාර්යබහුල වෙලා ගොඩක් වැඩ කරන්නෙ නැහැ. ඒත් මගේ වෙනත් වැඩ නිසා මම කාර්බහුලයි. ඇයි ඔබේ ප්‍රධාන කාර්ය රංගනය පැත්තකින් තියල වෙනත් වැඩවලට යොමුවෙලා ඉන්නෙ? අනිත් වැඩවලට ගියහම සවස් වෙත්දි ගෙදර එන්න පුළුවන්. හැබැයි ෂූටිංවලට ගියහම සමහර වෙලාවට රෑ වෙනතුරු එතැනින් එන්න අපහසුයි. ඒ නිසා මම දැන් වැඩ භාරගන්නෙම ටිකක් නම්‍යශීලි වෙලා කටයුතු කරන්න හැකි අය එක්කයි. මොකද දිර්ඝ වෙලාවක් මට බබාගෙන් දුරස් වෙලා ඉන්න අපහසුයි. වෘත්තීය වැඩ නිසා දරුවගේ වැඩකටයුතු ඉටු කරන්න කාලය හොයාගන්නෙ කොහොම ද? සියයට අනූවක් විතර මම තමයි දරුවගේ වැඩ කරන්නෙ. ගයාන්ගේ අම්ම අපිත් එක්ක ඉන්නව. තව උදව්වට කෙනෙකුත් ඉන්නවා. ඒත් දරුවගේ කෑම ටිකේ ඉඳන්ම හැම දෙයක්ම සූදානම් කරලයි මම ගෙදරින් යන්නේ. චතුරිකා අම්ම කෙනෙක් වුණාට පස්සෙ ජීවිතය වෙනස් විදිහට දැනෙන්න පටන් ගත්තද? ඒක හරිම සුන්දර අත්දැකීමක්. වෙනත් රැකියාවක් කරන කාන්තාවකට දරුවෙක් ලැබිලා නිවාඩු ලැබෙන්නේ මාස තුනයිනේ. මම කල්පනා කරනව ඒ අම්ම එච්චර ඉක්මනට දරුවා ගෙදර තියලා වැඩට යන්න හිත හදාගන්නෙ කොහොමද කියල. මොකද දරුවෙක් ලැබුණට පස්සෙ අපි දරුවත් ඒක්ක ඇතිවන බැඳීම මේ යැයි කියන්න බැහැ. දැනටත් මම මොකක් හරි වැඩකට යන්න වුණහම දෙතුන් වතාවක් හිතනවා. දැන් හැම තීරණයක්ම ගන්නෙ දරුවා ගැන හිතලද? එයානේ මේ වෙලාවෙ අපිට තියෙන වටිනාම වස්තුව. එයාව අමතක කරල අපිට කිසිම තීරණයක් ගන්න බැහැනේ. දුවගේ අනාගතය ගැන තියෙන හීන මොනවද? මට ලැබුණ සහ මට ලැබුණෙ නැති සැප සම්පතුත් දුවට දීලා දුවට හොඳට උගන්වල, අපේ රටට ජාතියට බරක් නැති නැති කෙනෙක් කරන්නයි අවශ්‍යය. දුවට නම් තියන්න හවුල් වුණේ කවුරුන්ද? දුවගෙ නම ආරාධනා හංසද්ධ්වනි වික්‍රමතිලක. ආරාධනා කියන නම දැම්මෙ ගයාන්. ඒක අමුතු හැඟීමක් ඇති නමක්. ඒ නම මැදට වෙන නමක් දාන්නෙ නැහැ කියල හිතාගෙන හිටියෙ. ඔය අතරෙ මගේ නංගිගෙ සැමියා වන පේෂල මනෝජ් තමයි හංසද්ධ්වනි කියන නම යෝජනා කරල තියෙන්නෙ. මේක සංගීතයේ එන හංස කියන රාගයේ ඒ කියන්නෙ හංසනාදය කියන අදහසයි එන්නෙ. දුවත් රංගනයට යොමු කරන්න අදහසක් තියෙනවද? මගේ නම් ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ රටේ කලාව අද තියෙන තැන තියෙනවා නම් කලාව තෝරගන්න එක ගැන අපි දෙපාරක් හිතන්න කියනව. ඉස්සරහට එන තත්ත්වය එක්ක දරුවකුට ලොකු බලපෑම් කරන්න බැහැ. මොකද එයාලගේ පරම්පරාව අපිටත් වඩා ස්වාධීන වෙයි. ඇත්තටම එයා කලාවට ඇත්තටම ලැදි කෙනෙක් වුණොත් අපි අපේ සහයෝගය දෙනව. ලංකාවේ කලාව කරන්න බැරිවුණොත් මේ රටෙන් පිට ගිහින් හරි කලා කටයුතුවලට දායක වෙන්න. ගයාන් හිටිගමන් දේශපාලනයට යොමුවුණ එකට ඔබගේ අදහස් මොකක්ද? මුලින්ම මගේ කැමැත්තක් තිබුණෙ නැහැ. නමුත් එයා හිටිගමන් දේශපාලනය ගැන කැමැත්තක් ඇතිවුණා නෙවෙයි. ඔහු පාසල් වියේදි දේශපාලන විද්‍යාව හදාරල තියෙනවා. අත්තනායක එම්. හේරත් සර් ගයාන්ට කියල තියෙනව නරකද ගයාන් දේශපාලනය හදාරන එක පැත්තකින් තියල නළුවෙක් වුණොත් ඒකට සුදුසුකම් හොඳටම තියෙනවනෙ කියලා. ගයාන්ගෙ කැමැතිම විෂය දේශපාලන විද්‍යාව එයා බොහොම කැමැත්තෙන් ඒ දේ කරන නිසා මම හිතනව ඔහු දේශපාලනයෙන් වැඩක් කරයි කියල. මේ දිනවල ඔබට හා කලකදි ඔබට සමීපව හිටි කෙනෙකුට හිමි දේපළක් ගැන ලොකු කතාවක් හුවමාරු වෙනව නේද? ඇත්තටම ඒ ගැන කතාකරන්න මම කැමැති නැහැ. මගෙන් පුවත්පත් කිහිපයක්ම ඔය කාරණය ගැන ඇහුවා. මම කිසිම ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටියා. ඔය ගැන තව දුරටත් කතාකිරීමෙන් මිනිස්සුන්ට කතාකරන්න අනවශ්‍ය මාතෘකාවක් ලබාදෙන එකයි වෙන්නෙ. කොහොම වුණත් ඔබලා ගැන මේ තරම් දේවල් සමාජයේ කතාබහ වෙද්දි ඒ දිහා උපේක්ෂාවෙන් බැලිය හැකිද? අද වනවිට වැඩියෙන් කතාබහට ලක්වෙන චරිත අතර මම සහ ගයාන් ඉන්නව කියල මම හිතනව. පල ඇති රුකටනෙ හැමෝම ගල් ගහන්නෙ කියල කතාවකුත් තියෙනවනෙ. මම ඇත්තටම ඔය කිසිම කෙනෙක් කියන දෙයක් ලොකුවට ගනන් ගන්න කෙනෙක් නෙ​ෙවයි. මම ජීවත් වෙන්නෙ මගේ හිතට හොඳයි කියල හිතෙන විදිහට. අද ඊයේ උපන් දරුවටත් අපහාස කරන මිනිස්සු ඉන්න රටක. අපිට දොස් කියන එක හරිම සාමාන්‍යයයි. අපි සමාජයේ ප්‍රසිද්ධ අය නිසා අපේ ක්ෂේත්‍රයේ අයගෙ ජීවිතවල පිටතට නොදිය යුතු දෙවල් ලොකුවට පිටවෙනව. මිනිස්සුත් තමන්ගෙ තියෙන මානසික ආතතීන් පිටකරගන්න ඒ දේවල් පාවිච්චි වෙනවා. මට කිවිසුමක් ගියත් චතුරිකාට ලොකු කිවිසුමක් ගියා කියලා ප්‍රචාරය වෙනව. කාලයක් මමයි ගයානුයි සමාජයේ ලොකු මාතෘකාවක් වෙලා හිටියා. ඒ ගැන මම සතුටු වෙනව මිනිස්සු අපට ආදරේ නිසානේ අපි ගැන කතා කරන්නෙ. ඒ නිසා ඕවට සැලෙන්නෙ නැහැ උපේක්ෂා සහගතව බලනව. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..