brand logo

මම ආයෙත් පන්ති පටන් ගන්නවා - සක්විති රණසිංහ 

16 June 2019

හිරගෙදර ජීවිතය ඇත්තෙන්ම කටුකයි. ඇත්තටම ඒක දුෂ්කරයි. නමුත් මම ඒ කාලය තුළ ලොකු පන්නරයක් ලැබුවා. මේ කාලය ගත වුණේ කොහොමද? හිරගෙදර වැඩිපුරම කළේ ඉංග්‍රීසි පන්ති කරන එකයි. එතැනදි බන්ධනාගාර නිලධාරීන්ට, එයාලගේ දරුවන්ටත්, ඒ වගේම රැඳවියන් වෙනුවෙනුත් පන්ති කළා. සාමාන්‍ය පෙළ විභාගයට රැඳවියන් වෙනුවෙන් පන්ති කරලා විභාගයට යොමු කළා. වැලිකඩ පන්සල් වාට්ටුවේ රැඳවියන්ට ඉංග්‍රීසි පන්ති කරලා කතා කරන්න ඉගැන්නුවා. අදටත් මගෙන් ඉගෙන ගත්ත ගෝලයෝ එතැන අයට උගන්වනවා. ඔබට බන්ධනාගාරය තුළ ගුරුවරයෙක් වෙන්න අවසරයක් තිබුණද? වැලිකඩ බන්ධනාගාරයට ඉංග්‍රීසි පන්ති පැවැත්වීමේ රටාව කියලා දුන්නේ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහත්තයා ඔබගේ සේවයෙන් වැඩක් වුණාද? මම හිතනවා බන්ධනාගාරයේ මගේ නම හැමදාම ලියවිලා තියේවි. ඉංග්‍රීසි පන්ති පවත්වමින් රැඳවියන්ට යහපත් ලෙස කාලය ගත කරන්න පරිසරයක් හදල දුන්නා කියලා ඒ අයගේ හිතේ තියෙනවා. මරණීය දණ්ඩනය පෙනි පෙනී සිටින අයත් ඉංග්‍රීසි ඉගෙන ගත්තද? ඔවුන්ට ලොකු ඇල්මක් තිබුණා අලුත් භාෂාවක් ඉගෙන ගන්න. ඔවුන්ගේ මනස නිදහස්. ඉක්මනට භාෂාව ග්‍රහණය කරගන්නවා. ගුරුවරයෙක් විදියට සතුටට කාරණාවක් වුණා. මම මුලින්ම වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු හතරහමාරක් හිටියා අච්චු සිරකරුවකු විදියට. ඊට පස්සේ අවුරුදු හතරහමාරක් රිමාන්ඩ් සිරකරුවකු ලෙස රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියා. අච්චු සිරකරුවෙක් විදියට මොන පාටියේද හිටියේ? මාව දැම්මේ මැහුම් පාටියට. ඒත් මම එතැන මැහුවේ නැහැ. මැහුම් පාටිය භාරව හිටියේ තිලක් කියලා මහත්තයෙක්. මම එතැන තිලක් මහත්තයට ඉංග්‍රීසි උගන්වන එකයි කළේ. ඔබ හිරේට යන්න කලින් ගෝලයෝ වුණු අය හිරගෙදරදි හම්බ වුණේ නැද්ද? එහෙම විස්සකට තිහකට වඩා හම්බ වුණා. සමහර ජේලර් මහත්වරුත් මගේ ඉංග්‍රීසි පන්තිවල ඉගෙන ගෙන තිබුණා මම හිරේට යන්න කලින්. ඔබ හිරේට යන්න කලින් හදපු ගෝලයෝ හිරේදි උදව් කළාද? ඇත්තටම. ඔවුන්ගෙන් මට යම්කිසි සහයෝගයක් ලැබුණා. හිතවත්කම් මත පක්ෂග්‍රාහීවීම නෙවෙයි. හිරගෙදරදි සිනහවකින් හෝ සංග්‍රහයක් ලැබීම වාසනාවක්. හිරගෙදර ජීවිතය කටුක අත්දැකීමක්. ඔබ කලින් හිටපු සක්විති රණසිංහ නෙවෙයි දැන්. හිරගෙදර ඉඳලා තෙම්පරාදු වුණු කෙනෙක්. පාතාලය හා විවිධ අපරාධකරුවන් ආශ්‍රය කරන්න ලැබෙන්න ඇති?  මට මුලින්ම හම්බ වුණේ වැලිකඩ කැරැල්ලේදී මියගිය මහරගම කළු තුෂාරවයි. ඔහුත් එක්ක එකම කාමරේ හිටියේ. ඒ වගේම නමගිය මංකොල්ල නඩුවලට සම්බන්ධ බොහෝ පිරිස් මාත් එක්ක හිටියා ඒ කාමරේ. ප්‍රසිද්ධ චරිතත් ඔබ සමග හිටියාද? ජනාධිපති ලේකම් කාර්යාලයේ අල්ලස් නඩුවට සම්බන්ධ අය මාත් එක්ක හිටියා. ඒවගේම ඥානසාර හාමුදුරුවෝ හිරගෙදර මාත් එක්ක හිටියා. බොහෝම හිතවත් වුණා උන්වහන්සේ දන් වළඳනකොට මාත් එක්ක බෙදාගෙන තමයි උන්වහන්සේ වැළඳුවේ. ඒ වගේම දුමින්ද සිල්වාත් මාත් එක්ක හිටියා. මම බන්ධනාගාර රෝහලට අසනීපවලට ගියාම ඒ අය මුණ ගැසුණා. කළු තුෂාර වගේ දරුණු පාතාලයින්ටත් ඉංග්‍රීසි ඉගැන්නුවද? කළු තුෂාරාව හම්බ වුණේ බන්ධනාගාරගත වෙලා මුල්ම කාලවලදීයි. මුල්ම මාස කිහිප ඉංග්‍රීසි උගන්වන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නැහැ. මුල්ම මාස කිහිපය ඕනෑම සිරකරුවකු බන්ධනාගාරය තුළ අන්දුන් කුන්දුන් වෙනවා. පළමු මාස කිහිපය තුළ මාත් මානසිකව වැටිලයි හිටියේ. ඊට පස්සේ මම ධර්ම සාකච්ඡා, සංගීත වැඩසටහන්වලට සහභාගි වෙලා හිරගෙදරට පුරුදු වුණා. සිරකරුවන්ට ඉගැන්වීම පහසු වුණාද? හැම රැඳවියකුටම මට පුළුවන් විදියට මගේ සේවය දුන්නා. එතරම්ම මම කැපවෙලා හිටියා ඉගෙන ගන්න කැමැති ඕනෑම කෙනකුට මම දන්න දේ උගන්වන්න. මම හදවතින්ම ඉගැන්නුවා. ගොඩක් අයට ඉංග්‍රීසි හොඳින් කතා කරන්න හැකිවුණා. හිරේදි උගන්වනවාට අමතරව කරපු දේවල් මොනවාද? අපි වෙසක් භක්ති ගීත පුරුදු වෙලා කිව්වා. වෙසක් කූඩු හැදුවා. හැමෝම එකාවගේ ඉන්නේ. බාහිර සමාජයේ මොන බෙදීම් හැලහැප්පීම් තිබුණත් හිරගෙදර ඇතුළේ ජාති ආගම් භේද තිබුණේ නැහැ. හිරගෙදර ඇතුළේ සමාජයේ හොඳ රත්තරන් හදවත් තිබුණු මිනිස්සු හිටියා. ඔවුන් ගැන කියද්දි ඔබේ ඇස්වලට කඳුළු එන්නේ හිරගෙදර අයව දාලා ආපු එක ගැන දුකද? ඇත්තටම දුකයි. මම ඇවිල්ලා දවසක් නිසා ඇතුෙළ ගැන තියෙන ප්‍රකම්පනය සංවේදීකම තාම තියෙනවා. හිරගෙදර ජීවිතයේදී ඔබට අමතක නොවන සිද්ධිය මොකක්ද? අමතක නොවන ප්‍රධාන සිද්ධිය තමයි 2012 නොවැම්බර් 12 දා සිදුවුණු කැරැල්ල. මුලින්ම කඳුළු ගෑස් ගහද්දි මම පන්සලට දුවලා ගියා. ඊට පස්සේ කඳුළු ගෑස් වතුරෙන් පිහිදගෙන මගේ සෙල් (මැදිරිය) එකට ආවා. ඊට පස්සේ මොකද වුණේ? සෙල් එකේ ඉන්න අතරේ මගේ ළඟ හිටපු ගොඩක් අය අත ටී 56 ආයුධ තිබුණා. සමහරු ටී 56 ආයුධ හුවමාරු කරගත්තේ රුපියල් සීයක් වගේ මුදලකට.  හිරගෙදර ලෝකල් මිටියක් රුපියල් සියයක් වටිනවා. මිටි කියන්නේ හිරගෙදර දුම්වැටි විශේෂයක්. ලෝකල් මිටියකට තමයි ඔවුන් ටී 56 ගිනි අවි හුවමාරු කරගත්තේ. ඔබ සමග සිටි සගයින් T56 සල්ලි දීලා ගත්තේ ඇයි? සමහරු ගත්තේ වටේට ආසාවට වෙඩි තියන්න. නිකන් තාප්පවලට වෙඩි තියලා සමහරු අත්දැකීම් ගත්තා. අදටත් තාප්පවල ඒ වෙඩි පාරවල් තියෙනවා. ඊට පස්සේ මොකද වුණේ? පාන්දර 2.00ට විතර හමුදාවෙන් බන්ධනාගාරය වටලලා තිබ්බා. අපි එතකොට චැපල් වාට්ටුවේ හිටියේ. යටත් නොවුණොත් ඇතුළට ඇවිත් වෙඩි තියනවා කියලා හමුදාව නිවේදනය කළා. ඉතින් මොකද ඔබ කළේ? එතැනදි මම තමයි මුලින්ම අත්දෙක උස්සගෙන ඉදිරියට ගියේ. යටත් වෙන බව හඟවමින් මම ගියා. ඔවුන් තර්ජනාත්මකව උඹ කවුද කියලා ඇහුවා. මම එතැනදි සක්විති රණසිංහ කියන්නේ මමයි කිව්වා. සක්විති රණසිංහ නොවෙයි මොකා වුණත් කමක් නැහැ දණගහපන් කියලා හමුදාවෙන් කෑ ගැහුවා. එතැනදි මොකද හිතුණේ? එදා තමයි මට මුලින්ම මරණ බය දැනුණේ. ඒ වෙද්දි මගේ බිරිඳ හිටියේ කාන්තා වාට්ටුවේ. ඇත්තටම ඇයටත් ආරංචි වෙලා තිබුණේ කැරැල්ලෙන් මා මියගිය බවයි. ඒ බව ආරංචි වෙලා ඇය අඬලා තිබුණා. එතැනින් එහාට මොකද වෙන්නේ? එතැනින් පස්සේ ඒ අය කිව්වා උඹ ගිහිල්ලා අනිත් අයටත් අරන් වරෙන් කියලා. ඊට පස්සේ මම චැපල් ශාලාව මැද්දට ගිහිල්ලා ආයුධ තියේ නම් බිම තියලා එන්න කියලා මම ඒ අයට කෑගහලා කිව්වා. ඒ අය ආයුධ කාමරවල තියලම ආවා. තුන්දාහක් පමණ පිරිසක් එතැන පිට්ටනියට ආවා. හමුදා නියෝග මත අපි බිම දිගාවෙලා හිටියේ. එතැන හිටපු අයට ලොකු කරදරයක්  වුණේ නැහැ. මම මුලින්ම අත් දෙක උස්සගෙන එළියට ආපු නිසා එදා ඇතුළට ඇවිල්ලා වෙඩි තියන එක වැළකුණා කියලා මම හිතනවා. අදත් ගොඩක් රැඳවියන් මතක් කරනවා මම නිසා ඒ අයගේ ජීවිත බේරුණා කියලා. ගොඩක් වෙලාවට මම දැක්ක තැන රැඳවියන් ස්තුති කරනවා සර් නිසා තමයි අපේ ජීවිත බේරුණේ කියලා. එයින් පසුව ඔබට සිරකරුවන්ගේ පිළිගැනීම වැඩිවුණාද? බන්ධනාගාරයේ ඇතුළත ගොඩක් අය මාව ඇමතුවේ සර් කියලා. නැත්නම් මාස්ටර් කියලයි. ලොකු පීඩනයක් මට එල්ල කළේ නැහැ. උගත්කමට සලකන අය බන්ධනාගාරයේ ඉන්නවා. අපරාධ ලෝකය කියලා මිනිස්සු කොන්කරන්නේ නැහැ. ඇත්තටම එළියට එන්න කවුද ඇප සල්ලි දුන්නේ? මට ඇප දීලා අවුරුදු පහක් පමණ වෙනවා. රුපියල් ලක්ෂ හයක ඇප මුදල ගෙවා ගන්න බැරිව අවුරුදු පහක් පමණ හිටියා. අවසාන මොහොතේ හිරගෙදර මගේ ඉංග්‍රීසි පන්තියේ ශිෂ්‍යයෝ ටික තමයි සල්ලි එකතු කරලා මට එළියට එන්න ලක්ෂ හයක් දුන්නේ. ඒ අයට සල්ලි කොහෙන්ද? බොහෝ අය එයාලගේ බිරිඳ ළඟ ගෙවල්වල එකතු කරලා තිබ්බ සල්ලි දුන්නේ. විවිධ විදියට මේ මුදල එකතු කරලා දුන්නා. ජනතාවට රුපියල් කෝටි 162ක් වංචා කරපු අයෙක් කියලා ඔබට චෝදනාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ? ඇත්තෙන්ම කිසිදු අධිකරණයකින් මුදල් වංචා කිරීම සම්බන්ධ චෝදනාවකට මේ අවුරුදු නවයේම මම වරදකරු කරලා නැහැ. නමුත් රහස් පොලිසියේදී මම කළ යම් යම් අනාවරණයන් මත මා විසින්ම කළ පාපොච්චාරණ මත මට යම් යම් චෝදනා එල්ල වුණා. මේ වංචාවට මග හැදුණේ කොහොමද? මම මුලින්ම ඉංග්‍රීසි පන්ති කරලා සාර්ථක ගුරුවරයකු බවට පත්වුණා. ඊට පස්සේ මගේ සී.ඩී. පැකේජ් එක සම්බන්ධව යම් යම් ව්‍යාපාර ආරම්භ කළා. ව්‍යාපාරික කටයුතුවලට මම යම් යම් අයගෙන් මුදල් ණයට ගත්තා. ඒ මුදල් ණයට අරන් ඒවාට පොලිය ගෙවාගෙන යද්දි මට නැවත මුදල් ණයට ගන්න සිද්ධ වුණා. මේ විදිහට මුදල් ණයට ගද්දි ටිකෙන් ටික ණය ප්‍රමාණය වැඩිවුණා. හැබැයි ව්‍යාපාරික අතිනුත් ඉදිරියට ආවා. සේවකයින් පන්සියයක් පමණ මා යටතේ සේවය කරන ව්‍යාපාරයක් ගොඩ නැගුවා. නමුත් දිගින් දිගටම ණය ගැනීම නිසා පොලිය ගෙවාගන්න බැරිව මම හිරවුණා. එකපාරටම සල්ලි ගෙවාගන්න බැරිවුණා. ඔබ අතින් වරදක් වුණා කියලා පිළිගන්නවද? මම දන්නවා මගේ අතින් වරදක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අදටත් මම හිතන්නේ මේ නඩුවේ වින්දිතයන්ට යම් සහනයක් ලැබිය යුතුයි කියලා. ඔවුන්ට යම් සහනයක් දැන්වත් ලබාදෙන්න බැරිනම් මම ඇප අරන් එළියට ආපු එකෙන් වැඩක් නැහැ. ඔබ කොහොමද ඔබ නිසා අසරණ වූ අයට සහනයක් දෙන්නේ? මම අවුරුදු නවයකට පස්සේ හිරේ ඉඳන් එළියට ඇවිත් තියෙන්නෙ. මම ආයේ අලුතින් ගොඩනැගෙන්න ඕන. මගේ බලාපොරොත්තුව යළි පන්ති පවත්වලා මුදල් උපයන්නයි. ඒ සඳහා යම් පදනමක් හදාගන්න මාස හයක්වත් යයි. ඉන්පසුව මම බලාපොරොත්තු වෙනවා කවුරුහරි සහනයක් ඉල්ලගෙන එනවා නම් ඒ අයට මට පුළුවන් විදියට උදව් කරන්න. මට කියන්න බැහැ මම ළඟ ලක්ෂ පනහක් ආයෝජනය කරපු කෙනකුට පනහම දෙනවා කියලා. ලක්ෂයකින් දෙකකින් හරි ඒ අයට පිහිටක් වෙන්නයි මට ඕන. මම කලින් කියපු ස්ථාවරයට මට ආයෙත් එන්න පුළුවන් හැකියාව මට තියෙනවා. ඔබට විශ්වාසද ඒ අභියෝගය ජයගන්න පුළුවන් කියල? මට මගේ පන්ති කරලා ගොඩනැගෙන්න පුළුවන්. ආයෙත් මහජන මුදල් එකතු කරගන්න ඕන නැහැ. මම පන්තිවලින් මාසයකට ලක්ෂ තිස්පහක් පමණ ඉපැයුවා. මගේ ඉංග්‍රීසි පැකේජ් එක තියෙනවා. ඔබේ අලුත් කටයුතු කවද්ද පටන් ගන්නේ ? 13 වැනිදා ඉඳන් සක්විති රණසිංහ සිම්පල් ඉංග්ලිෂ් නමින් යූ ටියුබ් චැනල් එක පටන් ගන්නවා. දිනකට එක ගානේ පාඩමක් කරනවා. ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්ෂේත්‍රයේ මම ලොකු වෙනසක් කළා. එදා සක්විති රණසිංහ ප්‍රැක්ට්‍රිකල් ඉංග්ලිෂ් කියලා පටන් ගත්තා. ඒ ක්‍රමවේදය තුළ ලංකාවේ ඉංග්‍රීසි කතා කරන්න ශ්‍රී ලන්කන් ඉංග්‍රීසි කියලා දෙයක් හදලා දුන්නා. ඉංග්‍රීසියෙන් හිතන්න පුළුවන් විදිය චින්තන අභ්‍යාස හඳුන්වා දුන්නා. ඒ ක්‍රමය සාර්ථක වුණා. බන්ධනාගාරය තුළත් ඒ ක්‍රමය සාර්ථක වුණා. සර් මෙහෙම ඉන්න ඕන නැහැ. එළියට යන්න කියලා කිව්වේ ඒ ඉගෙන ගත්ත අයයි. හිරගෙදරදි වින්දිතයන් මුණගැසුණේ නැද්ද? ඇතුළේදි මාව හම්බවෙන්න ආපු අම්මලා අඬලා දොඩලා ගියා. මට ශාප කරපු අයත් ඉන්නවා. මම හිරගෙදරදි පුද්ගලයෙක් විදියට පෙනී සිටින්න උත්සාහ කළේ නැහැ. මගෙන් යමක් හිමිවිය යුතුයි කියන තැනතමයි මමත් ඉන්නේ. මම එළියට ආවහම යම්කිසි සාධාරණයක් කරන්නම් කියලා ඒ අයට කිව්වා. ඔබ කරපු දේට සමාජයට යන්න බයක් නැද්ද? මගේ හෘදය සාක්ෂිය එක්කම සමාජයට යන්න මම බය නැහැ. කවදාවත් මිනිස්සුන්ගේ සල්ලි අරන් පැනලා යන්න උත්සාහ කළේ නැහැ. මගේ පොඩි පොඩි දුර්වලකම් තිබුණා. ඒ කියන්නේ කැසිනෝ සූදුවට ගියා කියන එකද? ඇත්තටම මම කැසිනෝ ගැහුවා. ඇත්තටම ඒ ගැන යමක් කිව යුතුයි. මගේ ව්‍යාපාරයේ සමස්ත ක්‍රියාදාමය තුළ රුපියල් කෝටි 900ක් පමණ සංසරණය වුණා. ඒකෙන් කෝටි 162කට තමයි නඩුව පවරලා තියෙන්නේ. ඉතිරි කෝටි හත්සිය ගණන මම මිනිස්සුන්ට දීලා තියෙනවා. මගේ ළඟ ආයෝජනය කරපු අයට මුදල් හා පොලිය කාලයක් හරියට ගෙවාගෙන ගියා. අපිට සක්විති සර් නිසා පොලියක් හරි හම්බවුණා කියලා කියන පිරිසකුත් සමාජයේ ඉන්නවා. හිරගෙදරදි මේ ණය මතක් වෙද්දි කොහොමද? මම බන්ධනාගාරගතව ඉද්දි ප්‍රතිට්‍රික් හයිපොටෙන්ෂන් කියන රෝගයටත් මුහුණ දුන්න. ඒක පිස්සුවක් නෙවෙයි. යම් දුක හිතෙන තත්ත්වයක් ඇතිවුණා. අනේ මට සල්ලි ගෙවන්න තිබුණා නම් ඒ සල්ලි ගෙව්වා නම් සමාජයේ යළි කීර්තිනාමය හදාගන්න පුළුවන් කියලා හිතුවා. නිතරම ඒ ගැන කල්පනා කරපු නිසයි ප්‍රතිට්‍රික් හයිපොටෙන්සන් කියලා රෝගය හැදුණෙ. ඔබ අච්චු වින්දේ මොන නඩුවකටද? මගේ ළඟ සේවකයින් පන්සියයක් පමණ සේවය කළා. මගේ සිම් පැකේජ් අලෙවි කරන්න ගත්ත අයට මම සේවක අර්ථසාධක අරමුදල් ගෙව්වා නමුත් හිඟ තිබුණා. ඒ හිඟ මුදල් වෙනුවෙන් මට නඩු පැවරුණා. ඒ සඳහා මට අවුරුදු හතරහමාරක් සිර දඬුවම් විඳින්න සිද්ධ වුණා. මේක කම්කරු දෙපාර්තමේන්තුවෙන් පවරපු නඩුවක්. ඒ නඩුවට තමයි මම අච්චු වින්දේ. ඔබට බිරිඳ නිසාත් හිරේ යන්න වුණා නේද? මගේ බිරිඳව අඩු වයසින් විවාහ කරගත්තා කියලා චෝදනාවක් එල්ල වුණා. ඇයට වයස කීයද එතකොට? ඇයට අවුරුදු පහළවයි. ඔබට වයස කීයද ඒ කාලෙදි? මට අවුරුදු විසිහතරයි. ඒ කියන්නේ ඇය ඔබගේ පන්තියේ ගෝලයෙක්ද? ඔව්. ඇය මගේ ශිෂ්‍යාවක්. ඒක වරදක් කියලා මම පිළිගන්නවා. මොනව වුණත් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය හා අපහරණය අවුරුදු 35ක කාලයකට අච්චු කරන්න පුළුවන්. නමුත් පියෙක් හැටියට දරුවන්ට දක්වන සෙනහසත් පවුල් ජීවිතය තුළ බිරිඳට දක්වන සෙනහසත් යන කාරණා පදනම් කරගෙන මට අත්හිටවූ සිරදඬුවමක් ඒ සඳහා මහාධිකරණයෙන් ගන්න හැකිවුණා. ඒ සඳහා මට දඬුවමක් ලැබුණේ නැහැ කියල මම හිතන්නේ. මේ චෝදනාවට අවුරුදු විසිහතක් සිරදඬුවම් විඳින අය වැලිකඩ බන්ධනාගාරයේදී මට හම්බ වුණා. මේක ඉතාම සියුම් ලෙස සලකා බලලා මට දුන්න තීන්දුවක්. අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මත පදනම්ව දුන්නේ. මගේ දරුවන් වෙනුවෙන් යම්තාක් දුරට සහනයක් ගන්න මම වාසනාවන්ත වුණා. මේ නිසා බිරිඳ ඔබව අතෑරියද? මම අදටත් ඇයට ආදරෙයි. ඇයට  අසාධාරණයක් වුණා කියලා මම දන්නවා. මේ නඩුවේ දෙවැනි චූදිතයා ලෙස නම් කළේ  ඇයවයි. ඇය අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි නිසා එහෙම වුණා. නමුත් ඇය කවදාවත් මුදල්  අයථා පරිහරණයකට සම්බන්ධයක් නැහැ. මම නම් කැසිනෝ හරි ගැහුවා කියමු. නමුත් ඇය  කිසිදේකට අනුබලයක්වත් දීලා නැහැ.  තවමත් ඇප මත ඉන්නේ. නඩුව නිදහස්  වුණොත් ඇය දරුවන් වෙනුවෙන් මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා. ඇය ආයෙත් එක්  වේවි කියලා මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. හිරගෙදරදි හම්බ වුණේ නැද්ද දෙන්න? හිරගෙදරදි  මුල් කාලේ දවසක් දෙකක් හම්බ වුණා. නමුත් ඇය නිතරම තරහින් හිටියා මාත්  එක්ක. එයාගේ නිර්දෝෂීභාවය නිසා තමයි මාත් එක්ක තරහ වෙලා ඉන්නේ. දැන් දරුවො දෙන්නා කොහේද ඉන්නෙ? පුතා  පූර්ණ ශිෂ්‍යත්වයක් ලබලා දකුණු කොරියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්නවා. දුව  උසස්පෙළ කරනවා. අපි නැතිවුණත් එයාලා දක්ෂ විදියට ඉෙගන ගත්තා. බිරිඳ නිදහස්  වෙලා ගියාම දරුවො බලාගත්තා. මගේ අම්මත් පුළුවන් විදියට ගිහින් දරුවන්ට  උදව් කළා. දරුවො, බිරිඳ බලන්න ආවේ නැහැනේද හිරගෙදරට? බිරිඳ එක වතාවක් හෝ දෙවතාවක් දරුවන් එක්ක ආවා. ඇය අමනාපයෙන් හිටියට දරුවන්ව අරන් ආවා මාව බලන්න. ඔබගේ මව බොරැල්ලේ පාරෙ හඳුන්කූරු විකුණුවා කෝටිපති ඔබ අම්මට සැලකුවේ නැහැ කියලා චෝදනාවක් ආවා? ඒ  චෝදනාව අසත්‍ය චෝදනාවක්. මම රටින් පිටවෙලා ඉන්න අවස්ථාවේ පීඩනයක් ආවා.  පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ සහරාන් හා සමානයි. ඒ කාලේ සහරාන් වුණේ මම. ඒ  පීඩනයට අම්මා නිදහසට කරුණක් ලෙස කියපු දෙයක් අල්ලගෙන තමයි මාධ්‍ය මට පහර  දුන්නේ. අම්මත් මගේ පණ වගේ. අම්මටත් එහෙමයි. අම්මා හැමදාම මාව බලන්න ආවා.  අම්මගේ වටිනාකම වැඩියම තේරුම් ගත්තේ හිරගෙදරදි. අම්මලා මෙච්චරම දරුවෝ  වෙනුවෙන් නැහෙනවද කියලා දැනගත්තේ හිරේට ගියාම. මට විතරක් නෙවෙයි යාළුවන්ටත්  කෑම අරන් අම්මා මාව බලන්න ආවා. මව් සෙනහස වැඩිපුරම දැනුණේ හිරගෙදරදි. අම්මා හැරෙන්න කවුද ඔබව බලන්න ආවේ? අම්මා ඇරුණම අක්කා ආවා. යාළු මිත්‍රයෝ කවුරුත් ආවේ නැහැ. හිමිදිරි උදෑසන ඉවත ලූ කෙළ පිඬක් සේ ඔවුන් මාව අතරියා. කෝටි 162 නඩුවට කුමක් වෙයි කියලද හිතන්නේ? ඔක්තෝබර් 21 නඩුව විභාග කරන්න තියෙනවා. ඊට කලින් සමථයකට අවස්ථාව තියෙනවා නම් දැනුම් දෙන්න කිව්වා. නඩු විභාගයෙන් එක්කෝ මට දඬුවම් කරයි. නැතිනම් නිදොස් කර නිදහස් කරයි. මම වින්දිත පාර්ශ්වයෙන් ඉල්ලනවා මට පන්තිවලින් ව්‍යාපාරිකයෙක් හැටියට ගොඩනැගෙන්න පුළුවන්. ඊට අවස්ථාව දෙන්න කියලා. ඔබට නැගුණ අනෙක් චෝදනා ? විශ්වාසය කඩ කිරීම යටතේ චෝදනා නැගුණා. මහ බැංකුවේ ලියාපදිංචි නොවී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාවත් තිබුණා. ක්‍රෙඩිට් කාඩ්පත් සම්බන්ධයට මීළඟ නඩුව පැවරුණා. මොකක්ද ඒ ක්‍රෙඩිට් කාඩ් චෝදනාව ? මම ඉන්දියාවේ භාවිත කළ ක්‍රෙඩිට් කාඩ් කිහිපයක් ගැන ඒ චෝදනාව නැගුණා. ඒ මොනවද? ප්‍රශ්නෙන් පස්සේ අවුරුදු දෙකක් ඉන්දියාවේ හිටියේ. දරු පවුලත් එක්ක ඉන්දියාවට පැන්නා. මම ඉන්දියාව පැන්නම තමයි ප්‍රශ්නය උද්ගත වුණේ. ඔබේ නම චන්දන වීරකුමාර, සක්විති රණසිංහ යන නමිනුත් ඔබ පෙනී සිටියා. ඉන්දියාවට පැන්නේ කුමන නමකින්ද? මගේ හැඳුනුම්පතේ චන්දන වීරකුමාර, සක්විති රණසිංහ යන නම් දෙකම තියෙනවා. අබේරණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර කියලයි නම එන්නේ. වෙනත් නම්වලට සක්විති රණසිංහ නම යෙදුණා. සපුමල් බණ්ඩාර කියලා කියන නම මොකක්ද? ඉන්දියාවේ ඉඳන් ආවේ සපුමල් බණ්ඩාර කියල හොරට හදාගත්ත පාස්පෝට් එකකින්. ඊට පස්සේ ඒ නමින්ම පන්ති පටන් ගත්තා. ඉන්දියාවේ ගිහිල්ලා එද්දි මට සල්ලි සතයක්වත් තිබ්බේ නැහැ. මම ආයෙත් පන්ති කරන්න ගත්තා. ඇයි එහෙදිත් කැසිනෝ ගැහුවද? ඉන්දියාවේදිත් මම කැසිනෝ ශාලාවලට ගියා. මේක මට ඇබ්බැහියක් වුණා. ඒකෙන් මිදෙන්න මම උත්සාහ කළා. අදටත් මම නිතරම කල්පනා කරන්නේ උදව්වක් ඉල්ලන්නවත් කැසිනෝ ශාලාවක් ළඟටවත් යන්නේ නැහැ කියලා. බන්ධනාගාරයෙන් ලබපු පන්නරයත් එක්ක නැවත ආයේ කැසිනෝ පැත්ත පළාතේ මම යන්නේ නැහැ. ඒ පැත්ත බලාගෙන බත් කන්නේවත් නැහැ කියලා ඉන්නේ. මගේ ලොකුම අඩුපාඩුව වුණෙත් ඒක. මගේ ව්‍යාපාරයේ කෝටි නවසියයක පිරිවැටුපෙන් සියයට පහක් විතර තමයි මම කැසිනෝ ගැහුවේ. මම ඒ ගැන පශ්චාත්තාප වෙනවා. මේ සිද්ධිය කැසිනෝ නිසාම වූ දෙයක් කියලා කවුරු හරි කියනවා නම් ඒකේ ගත යුත්තක් නැහැ. කැසිනෝ ගැහුවේ පොඩි මුදලකින්නම් මේ සල්ලිවලට මොකද වුණේ? මම සී.ඩී. පැකේජයෙන් ලොකු ආදායමක්  ලැබුණා. මම ඒ නිසා ආයෝජකයන්ට සියයට හයක, හතක පොලියක් ගෙව්වා. අවුරුද්දක් විතර ගෙවද්දි තමයි මේක ගෙවන්න අමාරුයි කියලා හිතුණේ. ඊට පස්සේ පොලිය ගෙවාගන්න අමාරු බව දැනගෙත් තව අවුරුද්දක් විතර පොලිය ගෙව්වා. ඊට පස්සේ තමයි මාව හිරවුණේ. සපුමල් බණ්ඩාර නමින් පෙනී සිටි පසු අසුවුණේ කොහොමද? සපුමල් බණඬාර නමින් පන්ති කරන්න හම්බවුණේ මාස තුනක් විතරයි. එතැනදි මාව අඳුරගත්තා කලින් පන්තියක හිටපු ශිෂ්‍යයෙක්. ඒ කාලේ රැවුල වවාගෙන හිටියේ. ශිෂ්‍යයා ඇවිත් ඔබ සක්විති රණසිංහ නේද කියලා ඇහුවා සර් උගන්වන විදියයි, සක්විති උගන්වන විදියයි සමානයි කියලා ඔහු තර්ක කළා. ශිෂ්‍යයා හඳුනාගත්තට පස්සේ මාව පොලිසියට පාවලා දෙයි කියලා බය වුණා. පස්සේ හලාවතින් මම වත්තලට කුලී ගෙයක් අරන් ආවේ. ඔබ පොලිසියට කොටුවුණේ කොහේදිද? වත්තලදි බිරිඳයි, දරුවොයි මාත් එක්ක හිටියා. එහේ ඉඳන් නවගමුව බිරිඳගෙ තාත්තගෙන් සල්ලි කීයක් හරි අරගන්න ගියාම එතැනදි තමයි සිවිල් ආරක්ෂක කමිටුවක නියෝජිතයෙක් නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට ඔත්තුව දීලා අල්ලලා දුන්නේ. ඒ 2010 අගෝස්තු 06. මමයි බිරිඳයි මාසයක් සී.අයි.ඩී. එකේ හිටියා. 2010 සැප්තැම්බර් 06 අපි දෙන්නා බන්ධනාගාරගත කළා. සී.අයි.ඩී.යේ ඉද්දි කරපු පාපොච්චාරණ මත තමයි නඩු පැවරුවේ. මුදල් වංචා චෝදනාවලට තාම මම වරදකරු වුණේ නැහැ. ව්‍යාපාර නොකර පන්ති කළා නම් අද කෝටිපතියකු ලෙස ඉන්න තිබුණා කියලා හිතෙනවද? පන්ති විතරක් කරගෙන ගියා නම් අති සාර්ථක ව්‍යාපාරිකයෙක් වගේම දේශපාලනයටත් එන්න තිබුණා. දේශපාලනයට එන්නද හිටියේ? ඒ සම්බන්ධ පෙරනිමිති තිබුණා. දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණා. නමුත් මම ක්‍රියාකාරිකයෙක් වුණේ නැහැ. පක්ෂයක් ගැන තීරණයක් තිබුණේ නැහැ. මට කථිකත්වය තිබුණු නිසා කවදහරි මම දේශපාලනයෙන් ජීවිතය අවසන් කරාවි කියන හැඟීම යටි හිතේ තිබුණා. ඔබ මීළඟට කරළියට එන්නේ හිරගෙදරත් ගෝලයෝ හදලා. ආයෙත් දේශපාලනයට එන්න තනනවද? අවස්ථාවක් ලැබුණොත් මම මග හරින්නේ නැහැ. මේ වෙලාවේ මම වීරයෙක් නෙවෙයි. මම අතීතය පිළිබඳ යම් විදියකින් පශ්චාත්තාප වන කෙනෙක්. ඒ නිසා එහෙම දෙයක් කියන්න සුදුසු නැහැ. වින්දිත පාර්ශ්වයට සාධාරණයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් එතැනින් එනව. බලමු මොකද වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට දෛවය හැමදේම වෙනස් කරනවා. අද මම එළියට එයි කියලා කවුරුත් හිතුවේ නැහැ. කුරුබිලියකින් රිංගලා එන මීයෙක් වගේ මම එළියට ඇවිත් ඉන්නවා. ඒකම පුදුමයක්. ඉතින් අපි බලමු තව මාස හයකින් මොකද වෙන්නේ කියලා. ඔබ යළිත් කරළියට එන්නේ සක්විති නමින්මද? ඇත්තටම සක්විති රණසිංහ නමට මම ආදරෙයි. ඒක කන්ඩම් වෙච්ච නමක්. නමුත් මට ඒ නම අතාරින්න බැරුව ඉන්නවා. ඒකට හේතුව තමයි සමාජයේ මාව දන්න නම සක්විති. යළිත් සක්විති නමින්ම ගොඩනැගෙන්න මම හිතනවා. ඔබ සක්විති නමින් එළියට එන්නේ කවද්ද? ලබන සතියේ ඉඳන් මම හොරණින් පන්ති පටන් ගන්නවා. ඉන්පසු නුගේගොඩින් හා බොරැල්ලෙන් රට වටේම පන්ති පටන් ගන්නවා. හොඳ ගෝල පරපුරක් මට බිහි කරන්න හැකියාවක් තියෙනවා. මගේ නඩුවේ වින්දිතයන්ගෙන් ඉල්ලනවා මට ගොඩ නැගෙන්න දෙන්න කියලා. තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඡායාරූප -  සමන් අබේසිරිවර්ධන
 

More News..