brand logo

මම ආදරයට අසීමිතව ආදරය කරනවා

03 October 2022

දිනේෂ් ගමගේ කියන නම මේ දවස්වල වෙනදාට වඩා වැඩිපුර අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒකටත් සුවිශේෂී හේතුවක් තියෙනවා. ඒත් ඒ ගැන කතා කරන්න කලින් දිනේෂ් හැමදාම මුල් තැන දෙන සංගීත ජීවිතය ගැන කතාවකින්ම පිනිපලස පිළිසඳර පටන් ගන්න අපි තීරණය කළා. "මගේ අලුත්ම නිර්මාණය "සෙංකඩගල නුවර" ගීතය එළි දක්වලා තියෙනවා. මගේ අනිත් ගීත නිර්මාණවලට වඩා මේ ගීතය හාත්පසින්ම වෙනස්. ගායන ශිල්පී චාමර වීරසිංහ මහත්මයාගේ හොඳ රසිකයෙක්. කවදාහරි චාමර වීරසිංහගේ ගීතයකට සමාන නිර්මාණක් කරන්න ඕනි කියන අදහස මගේ හිතේ තිබුණා. මනුරංග අයියා ලියලා තිබුණ වචන ටික දකිද්දි, ඒකට හොඳම අවස්ථාව ඇවිත් කියලා හිතුණා. මනුරංග අයියගේ වචනවලට මම තනුව නිර්මාණය කළා. මම සහ ගයාන් රැන්ඩි තමයි මියුසික් කළේ. වීඩියෝ එක කළේ චමිල් පතිරණ. රටේ තිබුණු අර්බුදත් එක්ක මියුසික් වීඩියෝ එකක් කරන්න අදහසක් තිබුණෙ නැහැ." කොහොම වුණත් රන්දික ගුණතිලක සහ තරින්දි ප්‍රනාන්දුගේ රංගනයෙන් හැඩවන දිනේෂ්ගේ අලුත්ම ගීතය  මේ වෙද්දිත් සමාජ මාධ්‍යවල අතිශයින් ජනප්‍රියත්වය පත්වෙලා. විශේෂයෙන්ම ටික්ටොක්වල ජනප්‍රියම ගීත කොටස් නාමාවලිය අතර දිනේෂ්ගේ අලුත්ම ගීතය "සෙංකඩගල නුවර" ත් තියෙනවා. No photo description available. පහුගිය දවස්වල නිතර දිනේෂ්ගේ හඬින් ගැයුණු දැනෙනා තුරු මා, වෙරළු මල් වැනි ගීතවලටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. දිනේෂ්ගේ වචනවලින්ම කියනවා නම් අලුත් නිර්මාණයේ පද, සංගීතය, තනුව කියන හැමදේම ඔහුගේ අනෙක් නිර්මාණවලට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් මීට පෙර ගායනා කළ ගීත වගේම මේ ගීතයත් රසික රසිකාවියන් ආදරයෙන් වැලඳ ගනීවි. අලුත් ගීතයට අමතරව ජනප්‍රිය දක්ෂ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව සමගත් කාංචනා අනුරාධි සමගත් කළ ගීත දෙකක් වගේම තවත් ගීත කිහිපයක්ම එළිදවක්වන්න සූදානමින් ඉන්නවා කියලත් ඔහු මතක් කළා. May be an image of 1 person and standing දිනේෂ්ගේ හඬින් හැඩවුණු බොහෝ ගීතවල රූප රචනා සඳහාත් ඔහු රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් මේ අලුත් ගීතයේදී නම් ඔහු ගීත රූප රචනයට රංගනයෙන් සම්බන්ධ වෙන්නේ නැහැ. කොහොම වුණත් දිනේෂ්ට රඟපාන්න ආරාධනා ලැබෙනවා කියලාත් අපිට ආරංචි වුණා.
"සෙංකඩගල නුවරට කලින් මගේ සියලුම නිර්මාණවල music videoවල මම ඉඳලා තියෙනවා. ඒත් මගේ අලුත් ගීතයට අලුත් වෙනසක් කරන්න මට වුවමනා වුණා. රංගනයට මට ලොකු හැකියාවක් නැහැ කියලා මම හිතනවා. ඒ නිසා දක්ෂ රංගන ශිල්පීන් දෙදෙනකුට ඒ අවස්ථාව දීලා මම හුරුපුරුදු සංගීත කටයුතුවල නිරත වුණා. මට රඟපාන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම රංගනයට දක්ෂයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසාම රඟපාන්න ලැබුණු ආරාධනා මම ප්‍රතික්ෂේප කළා." කොහොම වුණත් දිනේෂ්ගේ කටහඬට වගේම රංගනයටත් ආදරය කරන රසික රසිකාවියන් පිරිසක් ඉන්න බවට කිසිම සැකයක් නැහැ.
"තමරසා" ගීතය ගායනා කරමින් ගායන ජීවිතයට අත්පොත් තැබූ දිනේෂ් ගායනයට වගේම ගී තනු නිර්මාණයටත් උපන් හපන්කම් දක්වනවා කියලා මම මුලින්ම සඳහන් කළා. පහුගිය දවස්වල අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණු අනුෂ්ක උදානගේ මැරුණු හිතේ, රයිනි චාරුකාගේ කළුවරට හිත බය හින්දා, ශශිකා නිසංසලාගේ චන්ද්‍රා පායන්න වගේ නිර්මාණවල ගී තනු නිර්මාණය කරන්නෙත් දිනේෂ් විසින්මයි. May be an image of 1 person, beard, standing, sunglasses, footwear and outdoors නුවරඑළියෙන් කොළඹට ඇවිත් සංගීතය ඉගෙන ගෙන ගායනයෙන් ගී තනු නිර්මාණයෙන් වගේම රංගනයෙනුත් රසික සිත් ආකර්ෂණය කරගත් කඩවසම් ගායන ශිල්පියා දැන් ප්‍රේමවන්තයෙක් කියලා දැන් හැමෝම කතා වෙනවා. මම මුලින්ම සටහන් කළ විදිහට දිනේෂ් ගමගේ කියන නම මේ දවස්වල වැඩිපුරම ඇහෙන්නේ ඒ නිසා. දිනේෂ් ගමගේ ජනප්‍රිය රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද් සමග ප්‍රේම සම්බන්ධතාවක් පටන් අරන් කියලා සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණා. ඒ වගේම වරින් වර දිනේෂ්ගේ සහ ශනූගේ ඡායාරූප පවා හුවමාරු වෙන්න පටන් ගත්තා. හැමෝම කතා වෙන දිනේෂ්ගේ සහ ශනූගේ ආදර කතාව ගැන දිනේෂ් අපිට කිව්වේ මේ විදිහේ කතාවක්.
"මේ දවස්වල බොහෝ දෙනෙක් වැඩිපුරම මගෙන් අහන්නේ මගේ ආදරය ගැන. මේ වෙද්දිත් සමාජ මාධ්‍යවලින් ඒ ගැන ෆේමස් වෙලා තියෙන්නේ. ඒ නිසා හංගන්න දෙයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කොහොම වුණත් ඒ ගැන මීට වඩා දෙයක් කියන්න මේ වෙලාව නෙමෙයි කියලා මම හිතනවා. කොහොම වුණත් ආදරය කියන්නේ සුන්දර හැඟීමක්. පොඩි කාලයේ ඉඳලම ආදරය විඳින්න කැමැතියි සහ මම ආදරයට අසීමිතව ආදරය කරනවා. ඉතින් අපි හැමෝටම සතුටින් ජීවත් වෙන්න ආදරය අවශ්‍යයි කියලා මම හිතනවා." Shanudrie Priyasad And Dinesh Gamage
දිනේෂ් හරි ඉක්මනට ආදරය ගැන අපි ඇහුව ප්‍රශ්නයට උත්තර දුන්නා. කොහොම වුණත් දිනේෂ්ට සහ ශනූට ආදරය කරන බොහෝ දෙනෙක් ඔවුන්ගේ ආදරයට සුබපැතුම් එකතු කරලත් තිබුණා. නිරෝෂා වාසල https://youtu.be/MvRAYDP5Mqo
 

More News..