brand logo

මම ආණ්ඩුව ගැන හොඳටම කලකිරිලා ඉන්නේ

28 November 2021

2015 පාර්ලිමේන්තුවට මුලින් පත් වුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නිළි ගීතා සමන්මලී කුමාරසිංහට ඇත්තේ දිගු දේශපාලන ඉතිහාසයකි. මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට එරෙහිව ඇය ජේ.ආර්.ට එරෙහිව නොබියව එළියට බැස්ස නිළියක් වූවාය. ගිය සතියේ ඇය පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කරමින්. ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළාය. ඒකාබද්ධ විපක්ෂයේ තමා ඇතුළු මන්ත්‍රීවරියන් තිදෙනකු සිටි බවත් ඉන් දෙදෙනෙක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ළඟට ගොස් ඇමැතිකම් ගත්ත මුත් එසේ නොගිය තමාට දැන් කිසිදු තනතුරක් නැති බව ඇය කීවාය. එනමුත් තමා කාගෙවත් වහලියක් වී තනතුරු භාරගැනීමට සූදානම් නැති බව පවසමින් ඇය අදහස් දැක්වූවාය. ඔබ කලකිරීමෙන්ද ඉන්නේ? හෘද සාක්ෂියට එකඟව කියනවා නම් මම ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ. හොඳටම කලකිරිලා ඉන්නේ. මම රහත් වෙලා නැහැනේ. තමන් දුක් මහන්සියෙන් පිහිටුවා ගත්තු ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්​නේ මොකද? මම දේශපාලනයට පැමිණියේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවෙයි. මේ රටේ මන්ත්‍රි කෙනෙක් වීම වර්තමානයේ ගෞරවයට වඩා අගෞරවයක් වෙලා තියෙනවා. වසර දොළහක් මම දේශපාලනය කරනවා. දේශපානය වෙනුවෙන් මම ස්විස්ටර්ලන්තයේ මගේ පුරවැසිභාවයත් ඉවත් කර ගත්තා. 2015 පස්සේ පිහිටුවා ගත්තු ඒකාබද්ධ විපක්ෂයේ මා ඇතුළු මන්ත්‍රීවරු පනස්තුන් දෙනෙක් හිටියා. දැන් පනස් දෙනකුට දීලා මට විතරක් ඇමැති ධුරයක් දුන්නේ නැහැ. ඇමැති ධුර දුන්නේ නැති හේතුව මම දන්නවා. ඔබට හේතුව හෙළි කරන්න පුළුවන්නේ? දැන්ම මාධ්‍යයට හේතුව හෙළි කරන්න බැහැ. මම ප්‍රතිපත්තිගරුක දේශපාලනඥවරියක්. ඒ නිසා මට තියෙන්නේ කනගාටුවක්. මාව හෑල්ලුවට ලක් කර තිබෙනවා. මම මොනවා නැතත් ඡන්දය දුන්න ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරනවා. දකුණේ පළාතේ කාන්තා නියෝජනයට සිටින පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරිය මම නිසා සතුටු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබට ඇමැති ධුරයක් දෙන්න හැදුවා නේද? ඔව්. නමුත් මම ප්‍රතිපත්තිගරුක නිසා එය භාරගත්තේ නෑ. මම හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙන්තර - ඇල්පිටියේ සංවිධායක. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා වෙලා ශ්‍රීලනිප නායකත්වයට පත්වෙලා. මට ආණ්ඩුවට එන්න කතා කළා. මම ප්‍රතිපත්තිගරුක නිසා අවස්ථාවාදී වෙලා වැඩ කළේ නෑ. 2015 ඔබ පාර්ලිමේන්තුවට ආවත් දැන් සිටින මැති ඇමැතිවරුන්ට වඩා දීර්ඝ දේශපාලන ඉතිහාසයක් ඔබට තියෙනවා. කොටින්ම කියනවා නම් බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව කලාකාරිනියක් ලෙස ඔබ සටන් කළා. ඔබ තමයි කලාකාරියක් ලෙස මුලින්ම පෙත්සමට අත්සන් කළේ. එවැනි ජ්‍යෙෂ්ඨයකු වන ඇයි ඔබට මේ කැපිල්ල. ඔබ කීවා හරි. මම ලිප්ටන් වටරවුමේ බෝඩ් එකක් උස්සාගෙන හිටියා. මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට එරෙහිව. බණ්ඩාරනායක මැතිනිය මම අදහනවා. කාන්තාවක් ලෙස වීර කාන්තාවක්. ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම හරිම නින්දිතයි. ඒ ගැන තමයි මම හඬ නැගුවේ. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ගමට යන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවානේ? ඔබටත් එහෙමද? මටත් ගමට යන්න බැහැ. පොහොර ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න ගණනාවකින් ජනතාව බැට කනවා. මම දේශපාලනයට පැමිණියේ ලොකු සේවයක් කරන්න. නමුත් මට කරන්න පුළුවන් ‘කෙන්ගෙඩියක්’ නැහැ. නමුත් මම කාගෙවත් වහලියක් නම් වෙන්නේ නැහැ. ඔබට ලැබෙන දේශපාලන වරප්‍රසාද මදිද? මම දේශපාලනයෙන් හෝ කිසිදු පක්ෂයකින් ‘ඇල්පෙනෙති තුඩක’ හෝ උදව්වක් මගේ පෞද්ගලික ජීවිතයට අරගෙන නැහැ. ජනතා සේවය වෙනුවෙන් තමයි සියලු දේ කැපකරලා තියෙන්නේ. දේශපාලනය කියන්නේ පවුල හදා ගන්න එකට නොවෙයි. මම හොඳ ජීවිතයක් ගත කරනවා. මගේ ව්‍යාපාර තියෙනවා. අද ඉන්න සමහර මැති ඇමැතිවරු සුරුට්ටු කඩයක්වත් දාපු නැති අයයි. ඔබට ඇමැති තනතුරක් නොදී ඔබ ‘පාවිච්චි කළා’ කිව්වොත් නිවැරදිද? ඔව්. මම කැමැති නැහැ කවුරුවත් මාව ප්‍රයෝජනයට ගන්නවාට. නමුත් මට දේශපාලන උණ තියෙනවා. කාන්තාව ප්‍රයෝජනයට ගන්නවා වගේම පාර්ලිමේන්තුවේදී කාන්තා නිදහසක් නැති වෙලා නේද? තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රිතුමාගේ කතාව නේද ඔබ අහන්නේ. වෙනත් රටවල කාන්තාවට නිදහස තියෙනවා. නමුත් අපේ රටේ කාන්තා නිදහස නැහැ. මන්ත්‍රිතුමා කියපු කතාව මටත් මුලින් තේරුණේ නැහැ. ‘වනචර’ විදිහට හිතන්න ගියේ නැහැ. පසුව සොයා බැලුවා. මම මේ කතාව දකින්නේ. ‘කාන්තාවන්ට කළ ලිංගික අපහාසයක්’ විදිහටයි. ඊට එරෙහිව කාන්තා මන්ත්‍රි සංසදය කථානායකවරයාත් දැනුවත් කළා. පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයාට කථානායකවරයා විසින් අවවාද කළානේ. ඔබ කියන විදිහට උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය නැති වෙලාද? පාර්ලිමේන්තුව උත්තරීතර තැනක්. දැන් පාර්ලිමේන්තුවේ විනය බින්දුවයි. කිසිදු විනයක් නැහැ. කවුරුහරි කතා කරනකොට කෑගහනවා. කුණුහරප කියනවා. ආණ්ඩු පක්ෂයත්, විපක්ෂයත් දෙකම මේ වැරැද්ද කරනවා. තිස්සකුට්ටිආරච්චි වගේ අය විපක්ෂයෙත් ඉන්නවා. නීති හදන පාර්ලිමේන්තුවේ විනයක් නැති නම් මහජන නියෝජිතයන් ලෙස අපි සමාජය හදන්නේ කොහොමද? ඔබ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එක වේලක් කන මිනිසුන් රට තුළ ඉන්නවා කියලා. ඇත්තද ඒ කතාව. ඒක බොරුවක් නොවෙයි. බෙන්තර ඇල්පිටිය ආසනයේ ජනතාවගේ අත්දැකීම් මට තියෙනවා. ගොඩක් මිනිස්සුන්ට වේල් තුනක් කන්න බැරිව ඉන්නේ. එළවළු මිල වැඩියි. ආහාර මිල වැඩියි. බෙන්තර ප්‍රදේශයේ ජනතාව ජීවත් වුණේ සංචාරක ව්‍යාපාරයෙන්. කොවිඩ් නිසා සංචාරක ව්‍යාපාරය බිඳ වැටිලා. ඔවුන්ට ජීවත් වීම අපහසු වෙලා. මේ නිසා ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ඔබ පාර්ලිමේන්තුවේදී ගිය සතියේ කළ ආන්දෝලනාත්මක කතාවේදී කීවා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඔබගේ අසහාය නායකයා කියලා. ඒක වෙන්නේ කොහොමද? මම දේශපාලනයට ආවේ මහින්ද මහත්තයා නිසයි. මට වෙන කිසිම නායකයෙක් හිටියේ නැහැ. දේශපාලන පරිණතභාවයක් තියෙනවා. ජනතාව ආකර්ෂණයක් තියෙනවා. මන්ත්‍රීවරුන්ට හොඳින් කතා කරනවා. මහින්ද මහත්තයා නිසා තමයි අපේ නිළි රැජින මාලනී ෆොන්සේකා පාර්ලිමේන්තු ගියේ. එය මහින්ද මහත්තයා ළඟ තිබෙන ගුණයක්. ඔහුට මනුස්සකම තියෙනවා. ‘සිනමාව’ කර්මාන්තයක් බවට පත් කිරීම ගැන ඔබගේ අදහස කුමක්ද? ඊට ස්තූතිය පුද කළ යුත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයාට. සිනමාවට විතරක් නොවේ. සංගීතයටත් එය කළා. එය හොඳ වැඩක්. ‌දේශපාලනඥයන් පසු පස ගිය නළු නිළියන්ට හොඳම වැඩේ කියලා ඔබ පාර්ලිමේන්තුවේදී කීවේ ඇයි? දේශපාලනඥයන් තමන්ගේ දේශපාලන ගමනට ලංකාවේ සියලුම නළු නිළියන් පාවිච්චි කරනවා. මාවත් පාවිච්චි කර තිබෙනවා. නොදැනුවත්ව දේශපාලන වේදිකාවේ පාවිච්චි වෙනවා. ඡන්ද කාලයේදී තමයි මෙය වන්නේ. ඔබත් දේශපාලනඥවරියක්. ඡන්ද කාලේ ඔබත් නළු නිළියන් පාවිච්චි කළාද? අපෝ නැහැ. මගේ මැතිවරණ වේදිකාවේ නගින්න කියලා මම නළු නිළියන්ට ආරාධනා කළේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් නළු නිළියන් රැසක් මැතිවරණයේදී පාවිච්චි කළා. මම අම්මා කෙනෙක් වගේ නළු නිළියන්ට අවවාදයක් දුන්නේ. මැතිවරණ ජයග්‍රහණවලින් පසු දේශපාලනඥයන් නළු නිළියන්ට සලකනවාද? සුළු වශයෙන්. දුන්න නම්බරයට කතා කළොත් දුරකථනය ආන්සර් කරන්නෙත් නැහැ. ඒ වුණාට ඡන්ද කාලේට දේශපාලනඥයන් නළු නිළියන්ට කතා කරන්නේ හදවත ගලවලා දෙන්න වගේ. යර්ස්, සර්, යර්ස් සර් ත්‍රී බෑග් ෆුල් යනුවෙන් ව්‍යාංගාර්ථයෙන් ඔබ කීවේ මොකක්ද? අපේ අය ඕනෑම දෙයකට ‘‘යර්ස් සර්’’ කියනවා. මට එහෙම කරන්න බැහැ. මම ව්‍යාංගාර්ථයෙන් කීවේ මට කරන නොසැලකීම ගැනයි. මේ කවිය කියලා මිනිස්සුන්ට හිතන්න ඉඩ දුන්නා. එය ලොකු ප්‍රශ්නයක් වෙලානේ. මගෙන් කට්ටිය අහනවා කාටද ගැහුවේ කියලා. මොන්ටිසෝරි දරුවන්ට කියාදෙන කවියකින් මම කතාව අවසන් කළේ ලොකු අර්ථයක් ඇතිවයි. මම ලොකු ධර්මයක් දේශනා කළේ නැහැ. ඔබට තවමත් බෙන්තර - ඇල්පිටිය ආසනයට ඇල්පෙනෙති තුඩක වැඩක්වත් කරන්න බැරි වුණාද? මගේ පිනකට ලැබුණ දෙයක් තිබෙනවා. කොච්චර කැපිලි කෙටිලි තිබුණත් ලැබෙන දේවල් ලැබෙනවා. ජපන් සහ තවත් ආයෝජන මත සංචාරක අමාත්‍යාංශය සමග දේද්දුව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියත්මක කරන්න සැලසුම් කර තිබෙනවා. එය යු​රෝ මිලියන හයදාසක ව්‍යාපෘතියක්. උදයජීව ඒකනායක
 

More News..