brand logo

මම අස්වෙන්නේ නෑ පුළුවන්නම් අස් කරන්න

12 March 2022

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රින් දෙදෙනාගෙන් එක් අයකි. මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සටන් සගයා ලෙස නම් දරා ඇති ඔහු දැන් විමල්-උදය ඇතුළු බැසිල් රාජපක්ෂ විරෝධී කණ්ඩායම සමග එකතු වී සිටී. ඔහු දිගටම අවධාරණය කරන්නේ විමල්-උදයලට සාධාරණය ඉටු කරන තුරු තමා ඇමැති ධුරයේ වැඩ නොකරන බවය. බැසිල් රාජපක්ෂ ජනපතිවරයාටත් ඉහළින් සිටිමින් ඇමරිකානු න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන බවත් බැසිල්ට පාර්ලිමේන්තුවට ඒමට පාර කැපූ 20 සංශෝධනයට අත ඉස්සීම ගැන කනගාටු වන බව පවසන ඔහු ඒ ගැන අරුණට කීවේ මෙසේය. මොකද වුණේ? ඇමැතිතුමා දැන් සැපද? අපි හදපු ආණ්ඩුව ජනතාවට රටට පක්ෂපාත රටට සේවාවක් කරයි කියලා හිතුවා. නමුත් අපේක්ෂාව බංකොලොත් කරමින් ආණ්ඩුව වෙනත් ගමනක් යන ලක්ෂණ මතු වුණා. ඒ අවස්ථාවලදී අපි ඊට විරුද්ධව නැගී සිටියා. අභ්‍යන්තරයේ සටන් කරලා යම් යම් දේවල් හදා ගත්තා. ආණ්ඩුව ගමන් කරන වැරැදි මාවත නිවැරැදි කරන්න හැකි වෙයි කියලා හිතලා තමයි මේ දේවල් කළේ. මොනවද ආණ්ඩුව කළ වැරැදි වැඩ? කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දුන්නා. නමුත් එම තීන්දුව අපි වෙනස් කළා. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යෝජනා බහුතරය වෙනස් කර ගත්තා. අපිට එක දෙයයි වෙනස් කර ගන්න බැරි වුණේ. ද්විත්ව පුරවැසියකුට ලංකාවේ පාර්ලිමේන්තුවට ඇතුළත් වීම. ජනාධිපතිතුමා ප්‍රකාශ කළා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කරනවා කියලා. එහෙම කියලා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගත්තා. අපි එහි දී කම්පනයට පත් වුණා. අපිට කරගන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා දුන්න පොරොන්දුව කඩ කළානේ. ඔබ විසිවැනි සංශෝධනයට අත ඉස්සුවේ ජනාධිපති දුන් පොරොන්දුව මතද? අනිවාර් යෙන්ම. නැතිනම් අත උස්සන්නේ නැහැ. විරුද්ධ වෙනවා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට දීමත් ඔබ ඇතුළු පිරිස ප්‍රශ්නයක් කර ගත්තේ මොකද? එය අපිට ලැබුණු ජනමතයට පටහැනි වැඩක්. මෙවැනි තීන්දු තීරණ එකපිට එකපිට ආවා. අපිට තේරුණා මෙතැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. රටාවක් තියෙනවා. අපේ රටේ ජාතික යහපතට විරුද්ධ තීන්දු තීරණ දිගටම ආවා. අපි කණ්ඩායමක් හදලා අරගලයක් ආරම්භ කළේ ඒ නිසා පක්ෂ එකොළහක් එකතු වුණා. මහජන මන්ත්‍රණ සභාවෙන් විරෝධතා මතු කළා. අපිට ප්‍රශ්න ආවා. මාර්තු දෙක රැස්වීම දැවැන්තව කළේ දැනෙන යමක් කරන්නයි. යෝජනා මාලාවක් ඉදිරිපත් කළා. රැස්වීම ඉවර වෙලා පැය විසි හතරක් යන කොට අපේ ඇමැතිවරු දෙන්නෙක් ඉවත් කළා. ඊට අපි විරුද්ධයි. යහළුවෝ දෙන්නට ඇමැතිකම් අහිමි වෙන කොට ඔබතුමා විතරක් බේරුණේ කොහොමද? මාර්තු දෙක රැස්වීමේ දී විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මන්ත්‍රිවරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළා. ඔවුන් බැසිල්ගේ න්‍යායපත්‍රය රටට හෙළි කළා. තදබල විවේචනයක් කළා. ඒ නිසා තමයි ඔවුන් දෙදෙනා ගැන ක්‍රියා කළේ. යුගදනවි බලාගාර නඩුවේදී මමත් අධිකරණයට දිවුරුම් පෙත්සමක් ලබා දුන්නා. එය පදනම් කර ගනිමින් මටත් විරුද්ධව කටයුතු කරන්න තිබුණා. මම හිතන්නේ එයාලා බැලුවා අපි බෙදන්න. එකතුව කඩන්න හැදුවේ. එය තේරුම් අරගෙන තමයි ඉදිරි අරගලය දියත් කරන්නේ. නමුත් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා, අමාත්‍යවරු දෙන්නෙක් ඉවත් කළාම ඔබ ඉබේම ඇමැති ධුරයෙන් ඉවත් වෙයි කියලා? ආණ්ඩුව පසුපෙළ මන්ත්‍රිවරු හමු වූ අවස්ථාවේ දී තමයි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔහොම ප්‍රකාශ කරලා තියෙන්නේ. එහෙම ඉතින් ඉබේම යන්නෙ නැහැනේ. අපිට මහජනතාව එක්ක ගිවිසුමක් තියෙනවානේ. මහජනයා මට දීලා තියෙනවා වරමක්. ඔබ අපි වෙනුවෙන් වැඩ කරන්න ආණ්ඩුවේ ඉන්න කියලා. එම ගිවිසුම මට කඩ කරන්න බැහැ. මහජනයා දුන් වරමේ අන්තර්ගත ප්‍රතිපත්ති වෙනුවෙන් මම පෙනී සිටිනවා. ආණ්ඩුවේ ක්‍රියාදාමයට විරුද්ධව. එසේ පෙනී සිටීමේ දී මාවත් ඉවත් කළොත් මහජනතාව සමග ඇති ගිවිසුම මම කඩ කළා වෙන්නේ නැහැ. නමුත් ඔබ තවමත් ඇමැති වරප්‍රසාද භාවිත කරනවානේ? සඳුදා වන විට වාහනත් අමාත්‍යාංශයට භාර දෙනවා. නමුත් ඔබගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළා ඔබ අමාත්‍යාංශයේ වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්න ඕනි කියලා. ඒක මෙහෙමයි. ජනතාවට වෘත්තිය සමිතිවලට බලපාන ප්‍රශ්න ගැන අමාත්‍යාංශයේ කතා කරන්න නිහඬව නොසිට ඒ ගැන කළ හැකි දෙයක් කරන්න කියලා තමයි මධ්‍යම කාරක සභාව මගෙන් ඉල්ලා සිටියේ. එතකොට ඔබ ඇමැති ධුරයෙන් අයින් වෙනවාද? මම ඉල්ලා අස්වෙන්නෙ නැහැ. මම ඇමැති ධුරයේ කටයුතු සහ වගකීම් සම්බන්ධයෙන් ආණ්ඩුවට අභියෝග කරනවා. කැබිනට් මණ්ඩලයට නොයෑම එක අභියෝග කිරීමක්. එතකොට අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකා කවුද ඉදිරිපත් කරන්නේ? මම ඒ ගැන සොයන්නෙ නැහැ. වගකීම ගන්නෙත් නැහැ. වුවමනාවෙන්ම මගේ වගකීම ඉෂ්ට කරන්නෙ නැහැ. අමාත්‍යාංශයේ කටයුතු සිද්ධ වෙන්නෙ නැහැ. මේ විදිහට ඇමැතිවරු ඉවත් කරනවා නම් අපි විරෝධය පළ කළ යුතුයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ජල සම්පාදන අමාත්‍ය ධුරයට වෙනත් කෙනෙක් පත් කරන්න පුළුවන්නේ? ඔව්. අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් පත් කරන්න වෙනවා. මම බලාපොරොත්තු වෙන්නේ විමල්ලා-උදයලා ඉවත් කළ ආකාරයට මාවත් අයින් කරයි කියලා. අයින් කළත් නැතත් මම ඉන්නේ සටනේ. ඔබලා බැසිල් රාජපක්ෂ විරෝධීන් වුණේ කෙසේද? එතුමා ඉදිරිපත් කළ ජනමතයට පටහැනි යෝජනා නිසා තමයි බැසිල් විරෝධීන් බවට පත් වුණේ. ඇතැම් යෝජනා ටෙන්ඩර් නොකැඳවමින් ඉදිරිපත් කර තිබුණේ. තෝරා බේරා ගෙන ඉදිරිපත් කරපු ව්‍යාපාර. ඇතැම් සමාගම්වල ජාතකය ඇමරිකාවේ විස්තර හොයලා බැලුවම අපිට බයක් තියෙනවනේ. මේ රටේ ඇමරිකා න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක වන්නේ බලශක්ති ස්වෛරීභාවය අහිමි කරන්න. ඒ සියල්ල ආවේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමැති වීමෙන් පසුවයි. දැන් ඔබලා බැසිල් විවේචනය කළාට විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අත ඔසවා බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ගෙන ආවෙත් ඔබලානේ? ඇත්තෙන්ම ඒ ගැන කනගාටුයි. ජනාධිපතිතුමා ද්විත්ව පුරවැසිභාවය ප්‍රශ්නය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කරන බව ප්‍රකාශ කළත් කවදා එන ව්‍යවස්ථාවක්ද? දැන් තමයි තේරෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ සිටින පරිණතම දේශපාලනඥයන් දෙන්නාගෙන් එක් අයෙක් ඔබ. අනෙක් කෙනා අගමැති. දෙන්නම පාර්ලිමේන්තුවට මුලින් ආවේ 1970 දි. ඉතින් ඔබගේ දේශපාලන පරිණතභාවය මත හෝ මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවේ නැද්ද? ඇත්තටම මට හිතුණේ නැහැ. ආණ්ඩුව දක්ෂිණාංශික ගල් පරයක හැපෙයි කියලා අපිට තේරුණේ නැහැ. බැසිල් මහත්තයා පාර්ලිමේන්තු එනකොට හිතුණා ඒ වගේම වෙන්න පටන් ගත්තා. දැන් ඔබලත් කියන්නේ ගමේ භාෂාවෙන් කියන විදියට මේ අහක ඉන්න නයෙක් රෙද්ද ඇතුළේ දාගෙන කනවෝ කනවෝ කියලා වැඩක්නේ? මේ නයාට හදලා වඩලා සූදානම් කරලා තිබුණේ ඇතුළට එන්න. අහක ඉන්න නයෙක් නොවෙයි. ආණ්ඩුව අද යන ගමන් මගට පෙර සූදානමක් තිබිලා තියෙනවා. සෞභාග්‍යයේ දැක්මේ නම් මෙහෙම දේවල් තිබුණේ නැහැ. ‘‘ජාතික සම්පත් සුරකිමි’’ කියලා තමයි තිබුණේ. ලියලා තියෙනවා. අගමැති මහින්ද රාජපක්ෂ පැරැණි ඔබගේ අතිජාත මිතුරා. සටන් සගයා. මේ ප්‍රශ්නවලදී ඔහු ඔබට කතා කළාද? කතා කළා. ජනාධිපතිතුමාත් කතා කළා. අගමැතිතුමා කිව්වා අපි මේ ප්‍රශ්නය බේර ගමු කියලා. අගමැතිතුමා මෙම ප්‍රශ්නය ෂේප් කරන්න හදනවාද? අගමැතිතුමා ප්‍රශ්නය බේරන්න හදන්න හිතේ තියෙනවා කියලා මට තේරුණා. යථාර්ථය මොකක්ද කියලා දන්නේ නැහැ. මට නම් පේන්නේ නැහැ පුළුවන්කමක් තියෙනවා කියලා. රිච්මන්ඩ් විදුහලේ ඔබ උගන්නපු කාලේ ඔබගෙන් ඉගෙන ගත්තු ගෝලයා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මෙම ප්‍රශ්න ගැන කතා කළේ නැද්ද? කතා කළා. ගෝඨාභය නොවෙයි චමල් රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කළ යුතු මතයේ තමයි ඔබ දිගටම හිටියේ. ඔහු ධුරයේ හිටියා නම් දැන් මොකක් වේවිද? චමල් මැද මාවතේ වම් ඉවුරේ මිනිහෙක්. ප්‍රශ්නය හරියට තේරුම් අරන් විසඳුමක් දෙනවා. මට විශ්වාසයි. ජනපතිවරු සමග හැප්පෙන්න ගිය මංගල, ශ්‍රීපති, ලලිත්, ගාමිණීට වැනි දේශපාලනඥයන්ට වූ ඉරණම ඔබටත් අත්වෙයිද? ජය-පරාජය නොවෙයි මෙහි ප්‍රශ්නය. හෘද සාක්ෂියට එකඟව ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් කළ යුතු කාර්ය මේ රට වෙනුවෙන් ඉටු කළ යුතුද? නැද්ද? කියන එක. එපමණයි සැලකීමට ගන්න තියෙන්නේ. දැන් ජාතික ආණ්ඩුවක් පිහිටු වන බවට කතා වෙනවා? එහෙම ආරංචියක් තියෙනවා. ඒක ගැළපෙනවා මේ වෙලාවේ සිද්ධි මාලාවට. වාමාංශික මතවාදීන් බැහැර කරලා දක්ෂිණාංශික මතවාදීන් සමග විවෘතව කටයුතු කිරීම බැසිල් මහත්තයා තමයි දක්ෂිණාංශික කණ්ඩායම් සමග ගනුදෙනු කරන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැති වෙනවා කියලා කතාවක් ගියා. නමුත් ඒවා ගණන් නොගත යුතු කතා පමණයි. ඔබලා දැන් එළිපිට යුද්ධ ප්‍රකාශ කරලා ඉවරයි. ඔබලාගේ සටනට සහායට වෙනත් දේශපාලන පක්ෂ, මන්ත්‍රිවරු එකතු කර ගන්නවාද? දැනටම පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ මන්ත්‍රිවරු තිස්දෙනකු පමණ ආණ්ඩුව කරන කියන සියලු දේ අනුමත කරන්නෙ නැහැ. අපි අනුමත නොකරන කොට පාර්ලිමේන්තුවේ ඡන්දයක් ආණ්ඩුවට ලැබෙන ක්‍රමයක් හදාගන්න පුළුවන්. අපි සුසිල් ප්‍රේමජයන්ත, විජේදාස රාජපක්ෂ මන්ත්‍රිවරු සමග පවා ඉදිරියේදී කතා කරනවා. ටික ටික තමයි අපේ කඳවුරේ බලය වැඩි කර ගන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔබලා තනි කරයිද? හිටපු ජනාධිපතිතුමා අපගේ මෙම අරගලයට ප්‍රයෝජනවත්. එතුමාගේ පිරිසත් වැදගත්. ඔවුන් එකට තබා ගැනීමේ ගැටලුවක්ද තියෙනවා. පිරිස එකට තබාගන්න ලොකු ප්‍රයත්නයක් හිටපු ජනාධිපතිවරයා දරනවා. අපිත් එක්ක එකට වැඩ කරන්නත් ඔහු කටයුතු කරනවා. ගත හැකි ප්‍රයෝජනය අපි ගත යුතුයි. සමගි ජන බලවේගය සමග කතා කරන්නේ නැද්ද? ඒක වැඩක් නැහැ. එම පක්ෂය සහ අපි ඉන්නේ දෙලොවක. අන්තිම ඉලක්කය කුමක්ද? පොදු ජන පෙරමුණේ බලවේගයක් නිර්මාණය කිරීමයි. අපි නව සන්ධානයකින් ඉදිරි ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වෙනවා. උදයජීව ඒකනායක
 

More News..