brand logo

මමයි සංගීත් අයියයි අතර ප්‍රේමයක් නැහැ

02 August 2021

2019 දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් තෙවැනි ස්ථානය දිනා පසුව කලා ලොවට අවතීර්ණ වූ සංජානා ගමආරච්චි මේ දිනවල නම් කා අතරත් ජනප්‍රිය වී තිබෙන්නේ චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා නාට්‍යයේ ටීනාගේ චරිතය තුළින්.

සංජානා මොකද වෙන්නේ මේ දවස්වල...

මේ දවස්වල දිවිතුරා නාට්‍යයේ රූගත කිරීම් කෙරෙනවා. ඒ එක්කම විවිධ රූපවාහිනී නාළිකාවල වැඩසටහන්වලට ආරාධනා ලැබෙන පරිදි සහභාගි වෙනවා. ඊට අමතරව පවතින වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වෙමින් සෞඛාරක්ෂිතව ගෙදරට වෙලා ඉන්නවා.

ටීනාට ලැබෙන ප්‍රතිචාර?

ටීනා කියන්නේ මම මෙතෙක් කරපු චරිතවලට වඩා වෙනස්ම චරිතයක්. කටකාර දඟකාර විසේකාර චරිතයක් නිසා ඒ චරිතය ප්‍රේක්ෂකයන් සතුටට පත් කරන චරිතයක් විදියට මම දකින්නේ.

බොහොම කෙටි කාලයක් තුළ කතාවට නැතුවම බැරි චරිතයක් බවට ආදරණීය ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තා

හිතුවද ටීනා තුළින් සංජානා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා...

පළවෙනි දෙවැනි කොටස් විකාශය වෙද්දී ටීනා ගැන කවුරුත් කතා කළේ නැහැ. තුන්වැනි සහ හතරවැනි කොටස් යද්දී තමා ටීනා නිකම් බෝම්බයක් වගේ පුපුරලා එක පාරටම මුළු රටක් ලෝකයක් කතා කරන චරිතයක් වුණේ. ඇත්තටම හිතුවේ මේ තරම් ආදරයක් ලැබෙයි කියලා. බොහොම කෙටි කාලයක් තුළ කතාවට නැතුවම බැරි චරිතයක් බවට ආදරණීය ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තා.

ටීනා සහ සංජානා අතර සමානකම් තියෙනවද?

සමානකම් තියෙනවා. නැත්තේ නැහැ. සංජානාත් ටීනා වගේම කටකාර දඟකාර චරිතයක්. රඟපාන විදියෙන් තමා පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ නැත්නම් එකම වගේ.

සංජානා චරිත තෝරා ගන්නේ කොහොමද?

මේ වෙනකම් ලැබුණු දේවල් එක්ක කියනවානම් මට ගැළපෙන චරිත ලැබුණේ. ඒ නිසා ඒ හැම චරිතයක්ම වගේ මම භාරගත්තා. මට ප්‍රතික්ෂේප කරන්න වෙන මට නොගැළපෙන චරිතයක පිටපතක් මේ වෙනකම් ලැබිලා නැහැ. සාමාන්‍යයෙන් පිටපත බැලුවම මට ඒ චරිතයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හිතෙන චරිත තමයි මම භාර ගන්නේ.

රංගනයෙන් දායක වෙන්න කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවද?

මම කැමැතියි විවිධ චරිත කරන්න. මට මෙතෙක් නොලැබුණු අහිංසක හෝ නපුරු චරිතයක් කරන්න ආසාවක් තියෙනවා.

ඉදිරියේදී මගේම කියලා ව්‍යපාර කටයුත්තක් ආරම්භ කරන්න තමා කැමැත්ත තියෙන්නේ

සංජානා වෘත්තීය රංගන ශිල්පිනියක්ද?

මේ වෙද්දී මගේ අධ්‍යාපන කටයුතු නම් නතර කරලා තියෙන්නේ. මේ වෙද්දී රංගනය, නිරූපණය, හඬකැවීම් සහ නිවේදන කියන ක්ෂේත්‍ර හතරෙන්ම කලාවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉදිරියේදී මගේම කියලා ව්‍යපාර කටයුත්තක් ආරම්භ කරන්න තමා කැමැත්ත තියෙන්නේ.

සිනමාවට ආරාධනා ලැබුණද?

සිනමාවට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණා. නමුත් මේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එය කල් ගියා. බලමු ඉදිරියේදී ඒ ගැන.

වැඩි කැමැත්ත සිනමාවටද? පුංචි තිරයටද?

මම ආවේ පුංචි තිරය තුළින්. මට ප්‍රේක්ෂකයන් ආදරය කරන්න ගත්තේ පුංචි තිරය හරහා. ඒ නිසා වැඩි කැමැත්ත පුංචි තිරයට.

සංගීත් අයියා සහ මගේ අතර තියෙන්නේ යාළුකමක් විතරයි

ආදරය ගැන කතා කරද්දී සංජානා - සංගීත් ආදර කතාව ගැන බොහෝ දෙනා කතාවෙනවා. අපි ඒ ආදර කතාව ගැන කියමුකෝ...

ඒක ඇත්තටම ආදර කතාවක් නෙවෙයි. සංගීත් අයියා සහ මගේ අතර තියෙන්නේ යාළුකමක් විතරයි. එයා ළඟදීම විවාහ ජීවිතයක් ආරම්භ කරයි. එතකොට ඔය ගොසිප් හදන අයට තේරුම් යයි අපි අතර තිබ්බේ මිතුදමක් කියන එක.

ගොසිප් ගැන සංජානා ගැන මොකද හිතෙන්නේ...

ගොසිප් කියන දේ මම දකින්නේ හොඳ දෙයක් විදියට. මොකද ගොසිප්වල තියෙන්නේ ඇත්තම නෙවෙයි. ඒවා බලන ජනතාව තමා හරියට ඒ දේවල් බලන්න ඕනේ මේ කියලා තියෙන දේ ඇත්තද බොරුද කියලා. ගොසිප් නෙගටිව් සහ පොසිටිව් කියන දෙඅංශයෙන්ම ඇතිවෙනවා. ලංකාවේ නම් ගොඩක්ම තියෙන්නේ නෙගටිව් ගොසිප්. තව විදියකට ගත්තම ගොසිප් තුළින් ඒ කෙනා හිටියට වඩා ජනප්‍රිය වෙන්නත් පුළුවන්. ඒ නිසා මම ගොසිප් කියන දේ තුළ ලොකු වරදක් දකින්නේ නැහැ.

සංජානාට ගොසිප් තුළින් වාසි වෙලා තියෙනවද?

මට වාසි සහ අවාසි දෙකම වෙලා තියෙනවා.

හොඳම වෙලා ජනප්‍රිය නැත්නම් හෝ ජනප්‍රිය වෙලා හොඳ නැත්නම් ඒ දෙකෙන්ම වැඩක් නැහැ

සංජානා කැමැති ජනප්‍රියම නිළියක් වෙන්නද? හොඳම නිළියක් වෙන්නද?

සංජානා ගමආරච්චි කියන නම මම කැමැති ජනප්‍රිය සහ හොඳම කියන දෙකම අතරේ රැඳෙනවට. මොකද හොඳම වෙලා ජනප්‍රිය නැත්නම් හෝ ජනප්‍රිය වෙලා හොඳ නැත්නම් ඒ දෙකෙන්ම වැඩක් නැහැ. මම කැමැති ඒ නිසා ඒ කාණ්ඩ දෙක අතරෙම මගේ නම තියෙනවට.

සංජානා හොයන්නේ මොනවගේ කෙනෙක්ද?

මම ක්ෂේත්‍රයේ කෙනෙක් කසාද බඳින්නේ නැහැ කියන තැන ඉන්න කෙනෙක්. හැබැයි ළඟදීම නම් විවාහ වෙන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. මේ වෙද්දී කිසිම ආදර සම්බන්ධයකුත් නැහැ. තව ටික කාලයක් තනියම ඉන්න තමා බලාපොරොත්තුව.

සංජානා හැමදාම රංගනයෙන් අපිට දකින්න ලැබෙයිද?

මෙහෙමයි. මම විවාහ වුණ කාලෙට නම් මගේ ජීවිතේ අංක එක වෙන්නේ පවුල් ජීවිතය. එතැනදී මට ලැබෙන ස්වාමිපුරුෂයා මාව තේරුම් අරගෙන මම රංගන ක්ෂේත්‍රයේ ඉන්නවට කැමැත්ත තිබුණොත් මම මැරෙනකම්ම රඟපායි. නැත්නම් පවුල් ජීවිතේ වෙනුවෙන් රංගනයෙන් ඈත් වෙයි. ඒ ගැන තවම කියන්න කල් වැඩියි. මොකද කොහොම කෙනෙක් ලැබෙයිද දන්නේ නැහැනේ.

සංජානා කියන්නේ මොනවගේ කෙනෙක්ද?

කෙළින් කතා කරන්න කැමැති. පොළොවේ පයගහලා ජීවත් වෙන්න කැමැති අනෙක් ගැහැනු ළමයි වගේම සාමාන්‍ය චරිතයක්.

අනාගත බලාපොරොත්තු...

රංගන ජීවිතේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඒ වගේම නිවේදනයෙන් නිරූපණයෙන් සහ හඬකැවීම් කටයුතු කරගෙන මගේම කියලා ව්‍යපාරයක් පටන් ගෙන ලස්සනට ජීවත් වෙන එක. අනුෂා රණසිංහ ඡායාරූප - පැතුම් වීරසිංහ
 

More News..