brand logo

මමයි-ගයානුයි අතරෙ කිසිම සම්බන්ධයක් නැහැ

02 January 2021

කාවින්ද්‍යා අධිකාරි කලා පවුලකින් කලඑළි බැහැපු ගායනයට රංගනයට වගේම නිවේදනයට දක්ෂ කලා ශිල්පිනියක්. ඒ වගේම ඇය බොහොම සංවේදි කලාකාරිනියක්. ජීවිතයේ බොහෝ දේවල් අත්විඳිමින් සුබවාදි ගමන් මගක යන ඇය අපේ කතාබහට එකතු වුණේ මේ විදිහට. කවී මේ දවස්වල කාර්යබහුලද? දැන් මම අම්මගේ කලායතනයේ වැඩවලට තමයි ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම නිවේදන කටයුතුවලටත් සුපුරුදු විදිහට එකතු වෙලා ඉන්නවා. කවීගෙයි ගයාන්ගෙයි එකතුවීම ගැනත් දැන් ගොඩක් අය කතා කරනවා? අපි දෙන්නට නැවත එකට වැඩසටහනක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ගොඩක් අය බලන් හිටියා අපි දෙන්නා එකට ගීතයක් කරයි කියලා. අපි දෙන්නා එකතු වෙලා ගීතයක් කරන්න කලින් අපිට එකට නිවේදන කටයුත්තක් කරන්න ලැබුණා. අපි දෙන්නාටම රසික රසිකාවියන් පිරිසක් ඉන්නවා. ඔවුන් අපි දෙන්නට කොච්චර ආදරෙයිද කියලා තේරෙනවා ලැබෙන ප්‍රතිචාරවලින්. අපි දෙන්නට ආයෙත් එකට වැඩ කරන්න ලැබීම ගැන ඇත්තටම සතුටුයි. වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සගයා හැරෙන්න වෙන සම්බන්ධයක් කවීයි ගයාන්ගෙයි නැහැනේ.. එතනින් එහා අපි හොඳ යාළුවෝ විතරයි. කවීගෙයි ගයාන්ගෙයි පරණ ආදර කතාව අලුත් වෙලා නෑ කියලද කියන්නේ? අපි දෙන්නා හොඳ තේරුම් ගැනීමක් තියෙන දෙන්නෙක්. අපි ප්‍රශ්නවලට මුහුණ දුන්න කාලෙත් ලස්සනට කතාබහ කරලා තමයි තීන්දු තීරණගත්තේ. අදටත් එයයි මමයි හොඳ යාළුවෝ විදිහට ඉන්නෙ ඒ තේරුම් ගැනීම නිසා. ඉදිරියටත් අපි ඒ තේරුම් ගැනීම එක්ක යාළුවෝ විදිහට ඉදියි. ආදරය කරපු දෙන්නෙක්ට යාළුවෝ වගේ ඉන්න බෑ කියලා සමහරු කියනවා? පුළුවන්. අපි දෙන්නා එහෙම ඉන්න පුළුවන් කියලා අගේට පෙන්නුවා. ගයාන් එක්ක ආදර කතාවකුත් නැත්නම් කවී දැන් වෙන ආදර කතාවක පැටලිලාද? ආදරය සම්බන්ධව කිසිම දෙයක් මේ දවස්වල මගේ ජීවිතයේ නැහැ. පහුගිය අවුරුද්දේ මම මට කාලය වෙන් කරන්න පටන් ගත්තා. මම සාමාන්‍යයෙන් මං වටා හිටපු ආදරය කරන අය වෙනුවෙන් කැපවෙලා හිටපු කෙනෙක්. මම මං ගැන වැඩිපුර තැකීමක් කළේ නැහැ. පහුගිය අවුරුද්ද මං වෙනුවෙන් අවධානය දෙන්න වැය කළා. විශේෂ ආදර කතාවක් නම් ඇති වුණේ නැහැ. හැමදාම වගේ අම්මගේ ආදරය අඩුවක් නැතුව කවීට ලැබෙනවා ඇති ? ඔව්. අම්මගේ ආදරේ කවදාවත් අඩුවුණේ නැහැ. මගේ අම්මට මං නැතුව ඉන්න බැහැ. දැන් මම ඉන්නේ අපේ ගෙදර උඩ තට්ටුවේ. ගෙදර උඩ තට්ටුව කොහොමත් අම්මා මට තියලා තිබ්බේ. මම විවාහ වුණ දවසකත් මාව ගෙදරම තියාගන්න තමයි අම්මට ඕනේ. විවාහ වුණ දවසකත් අම්මා මාව ගෙදරින් යවන්නැති හැඩයි. මම ගෙදර උඩ තට්ටුවට ආවට පස්සේ ඔයා පල්ලෙහා නෑනේ. ඔයා නැතුව මම කොහොමද ඉන්නේ කියලා අම්මා හැම තිස්සෙම මගෙන් අහනවා. අම්මගේ ආදරේ වැඩි වෙලා මිසක් කවදාවත් අඩු වෙලා නැහැ. කවී අම්මට විතරද සමීප තාත්තාට සමීප නැද්ද? මම අම්මාට තමයි සමීප. දුවලා වැඩිපුර ආදරේ තාත්තටලු. තාත්තා ළඟ නැති අඩුව කවදාවත් දැනිලා නැද්ද? නැහැ. මට ඒ අඩුව කවදාවත් දැනිලා නැහැ. සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා වෙන් වුණ පවුල්වල අම්මට හෝ තාත්තට වෛර කරන්න එකිනෙකා උගන්වනවා අපි දැකලා තියෙනවා. හැබැයි මම ඉන්නේ අම්මා ළඟ. මගේ අම්මා කවදාවත් කාටවත් වෛර කරන්න ඉගැන්නුවේ නැහැ. ඕනම කෙනෙක්ට පුළුවන් උදව්වක් කරන්න කියලා අම්මා මට ඉගැන්නුවේ. අම්මා, තාත්තයි අපිවයි වෙන්කරලා නැහැ. මට තාත්තා ළඟ නෑ කියන අඩුව අම්මා කවදාවත් දැනෙන්න දුන්නෙ නැහැ. ඒක තමයි මූලිකම දේ. අම්මා මගෙයි මල්ලිගෙයි මානසික නිදහස වෙනුවෙන් උපරිම කැපවුණ කෙනෙක්. මගේ අම්මා ගැන පොතක් තරමට දේවල් ලියන්න පුළුවන්. අම්මා තමයි මගේ ජීවිතයට ළඟම. දැන් පවුලට අලුත් කෙනෙක් එකතු වෙලා. අම්මා ජීවිතයට තෝරගත්ත කෙනා කවීගේ ජීවිතයටත් සමීප කෙනෙක්ද? ඔව්. මම එයාට ආදරයට කියන්නේ චිනෝ chino කියලා. 2020 දී එයා තමයි අපේ පවුලට අලුතින් එකතු වුණේ. වයස් ප්‍රශ්න අපි පැත්තක තියමුකො. වයස කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. ජීවිතවල ඊට වඩා ලොකු ප්‍රශ්න තියෙනවානේ. චිනෝ අපේ ජීවිතවලට එකතු වුණාට පස්සේ අපේ ජීවිතේට ගොඩක් ලොකු ආලෝකයක් ලැබුණා. අපේ පවුලට පිරිමියෙක් ලෙස හිටියේ මල්ලි විතරයි. මමයි අම්මයි එළියට ගියාම වුණත් මල්ලි තමයි අපි කොහෙද ඉන්නෙ කීයටද එන්නේ කියලා හොයලා බැලුවේ. අපේ අත්තම්මත් ඉන්නේ අපි එක්ක. හැබැයි එයා අසනීපෙන් ඉන්නේ. මමයි මල්ලියි තමයි ගොඩක් වෙලාවට ගෙදර වැඩ ගැන බලන්නේ. මොකද අපේ අම්මා චූටි බබෙක් වගේ. චිනෝ ආවට පස්සේ අපේ පවුල ගොඩක් වෙනස් වුණා. සමහරු හිතනවානේ පවුලට අලුත් කෙනෙක් එකතු වුණාම ළඟින් හිටි අය දුරස් වෙනවා කියලා. හැබැයි චිනෝ ආවට පස්සේ වුණේ ඒකෙ අනෙක් පැත්ත. චිනෝ පවුලට එකතු වුණාට පස්සේ මමයි මල්ලියි අම්මයි තවත් ළං වුණා. ඒ කියන්නෙ අම්මාගේ තෝරා ගැනීම ගැන කවී සතුටු වෙනවා. ඔව්. චීනෝ හැම තිස්සෙම අපි එයාගෙම අය විදිහට සලකලා වැඩ කරන්නේ. අපි අතර පෙර ආත්මයක ඉදන් එන බැඳීමක් ඇති. ඒකයි එයා අපේ පවුලට ළං වුණේ. එයා අපිට ආදරය දෙනවා. එයා අපි ගැන හරියට හොයලා බලනවා. අපේ තාත්තාවත් අපි ගැන හොයලා බලපු නැති තරම් එයා අපි ගැන හොයලා බලනවා. මට ඒ ගැන සතුටුයි. කවුරු මොනවා කිව්වත් අපිට ජීවත් වෙන්න ආදරය අවශ්‍යයි. ඒ ආදරය උපරිමයට දෙන කෙනෙක්ව මගේ අම්මගේ ජීවිතයට ළං කළාට මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා. චිනෝ තමයි 2020 වර්ෂය අපේ ජීවිතය ලස්සන කළේ. කවී කවද්ද ඒ වගේ ආදරයක් ළංකරගන්නේ? එහෙම ආදරයක් දෙන මනුස්සයෙක් හම්බුණොත් මම දෙපාරක් හිතන්නේ නැහැ. මම එයාගෙන් බඳිමුද කියලා අහලා විවාහ වෙනවා එහෙනම්. චිනෝ මගේ අම්මට කොච්චර ආදරය දෙනවද කියලා මම දකිනවා. මම ජීවිතේ ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්නේ. මගේ අම්මත් ජීවිතේ ගොඩක් දේවල් අත්විඳලා තියෙන කෙනෙක්. ඒ නිසා එයාටත් කෙනෙක්ව හරියට හඳුනාගන්න පුළුවන්. අම්මා හෝ කවී ජීවිතයේ ගන්න තීරණවලට එකිනෙකා මැදිහත් වෙනවද? අම්මා මෙච්චරකල් මාවයි මල්ලිවයි බලාගත්තේ කාගෙවත් උදව්වක් නැතුව. මමයි මල්ලියි සමාජය ගැන ගොඩක් හොඳට තේරුම් අරගෙන ඉන්න දෙන්නෙක්. අම්මට කොහොමත් අයිතිය තියෙනවා මල්ලිටයි මටයි උපදෙස් දෙන්න. අම්මගේ හොඳම යාළුවා මම. මගේ හොඳම යාළුවා අම්මා. අපි දෙන්නට දෙන්නා ගොඩක් හොඳට දේවල් කතාබහ කරගන්නවා. ලොකු පෞද්ගලික ප්‍රශ්නවලට නම් මම ගොඩක් ලොකුවට මැදිහත් වෙන්නේ නැහැ. මගේ අම්මට දැනුමක් නැත්නම් මල්ලිවයි මාවයි මෙච්චර ලස්සනට හදන්න බෑනේ. අම්මට අම්මගේ ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා. ඒවට අපි ලොකුවට මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ප්‍රේක්ෂකයෝ කලාකරුවන්ගේ කාරණා හොයනවා. ඒවා විවේචනය කරනවා. මඩ ගහනවා. කොහොමද ඒ දේවල්වලට මුහුණ දෙන්නේ? අපේ ක්ෂේත්‍රයෙත් සමහර අය ඉන්නවා එහෙම විවේචනය කරන. අපේම යාළුවොත් ඉන්නවා ඒ වගේ. ඒවත් එක්ක බලද්දි සාමාන්‍ය මිනිස්සු කරන කියන දේවල් හොඳයි කියලා හිතෙන අවස්ථාවනුත් තියෙනවා. හැම කෙනාම විවේචනය කරන්නෙ නැහැ. හැබැයි පිරිසක් ඉන්නවා ඒ වගේ. ඒ නිසා මමයි අම්මයි හරි කලාතුරකින් තමයි එළියට යන්නේ. අවශ්‍යම දෙයකට හැරෙන්න අපි එළියට යන්නෙ නැති තරම්. අම්මයි මමයි ගොඩක් ළං කරගෙන යාළුවෝ ආශ්‍රය කරන්නේ නැහැ. මම හිතන්නේ තමන් තමන්ගේ ජීවිතේ සතුටින්නම් අනෙක් අයගේ ජීවිත විවේචනය කරන්න ඒ අයට වෙලාවක් නැහැ. තමන්ගේ ජීවිතේ දුක් විඳ විඳ ප්‍රශ්න ගොඩක් ඔළුවට දාගෙන ඉන්න අය තමයි අනෙක් අයගේ ජීවිතවලටත් ඇඟිලි ගහලා ඒවායේ ප්‍රශ්න තියෙනවද කියලා හොය හොයා ඉන්නේ. හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක්ට කවදාවත් වෙන මනුෂ්‍යයන්ගේ ජීවිතවල අඩුලුහුඩුකම් හොයන්න වෙලාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. කවීගේ ජීවිතෙත් කඩා වැටීම් තියෙන්න ඇති. ඒවට ඔබ මුහුණ දුන්නේ කොහොමද? මම සිතින් කඩා වැටිලා සමාජයට මුහුණ දෙන්න යන්න බැරුව හිටපු අවස්ථා තියෙනවා. ගෙදරට වෙලා හඬ හඬ හිටපු අවස්ථා අනන්තයි. මම යාළුවන්ව ලොකුවට විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. මොකද සමහර යාළුවෝ ඉන්නවා අපේ ප්‍රශ්න අපෙන්ම අහගෙන ඒවායෙන් අපිටම ගහන. මම ලොකු වෙද්දි ජීවිතය ගැන ටික ටික තේරුම් ගත්තා. මම හැමදේම කියන්නෙ මගේ අම්මට. ලෝකේ බොහෝ අයගේ ජීවිතවල වුණ දේවල් ඔවුන් ඒවට මුහුණ දුන්න විදිහ ගැන ගොඩක් විඩීයෝ මම බලනවා. මම හැම වෙලාවෙම උත්සාහ කරනවා අඩියක්වත් පස්සට නොතියා කොහොමද ශක්තිමත්ව ඉස්සරහට යන්නේ කියලා. මම මගේ හිතට දැනෙන දේවල් මුහුණු පොතේ,ඉන්ස්ටර්ග්‍රෑම් එකේ ලියනවා. ඒ හරහා මම මගේ රසිකයන්වත් දිරිගන්වනවා. මම කැමැතියි මගේ හැඟීම් ලියන්න. මම මුහුණු පොතේ ලියන දේවල් බලලා ගොඩක් රසික රසිකාවියන් මට මැසේජ් කරනවා. මට වගේම එයාලටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මම දාන පෝස්ට් එකකින් එයාලගේ ජීවිතේට දෙයක් අරගෙන ඔවුන්ගේ ප්‍රශ්න නිරාකරණය කරගෙන තියෙන අවස්ථා ඕනතරම්. මම ඒවගේ දේවල්වලින් තමයි මගේ හිත හදාගන්නෙ. කවී ගායිකාවක්, නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්. කාවින්ද්‍යා කියන රංගන ශිල්පිනියට දැන් මොකද වෙලා තියෙන්නේ? ගිය අවුරුද්දේ ගොඩක් වැඩ තිබ්බේ නැති නිසා මම හොඳට කාලා හිටියා. ඒ නිසා ටිකක් මහත් වෙලා. ක්ෂේත්‍රයේ අය මට බනිනවා මොකක්ද කවී කරන්නේ, ඔයා මහත් වෙලානේ කියලා. මම කෙට්ටු වෙන්න උනන්දු වෙන්න ඕනෙ. හැබැයි මම ආසයි කාලා බීලා සතුටින් ඉන්න. කන්නැතුව හිටියොත් මම සතුටින් නෙමෙයි ඉන්නේ. කෙට්ටු වුණාට පස්සේ ආයෙත් රංගන ශිල්පිනියව දකින්න ලැබෙයි. මට රංගනයට ආරාධනා කිහිපයක්ම ලැබුණා. මම කලින් කළ නිර්මාණ දෙකම අතිවිශිෂ්ට අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ. ඒ නිසා මට හම්බෙන නිර්මාණ ගොඩක් තෝරාබේරාගෙන කරන්න වෙලා තියෙනවා. ඉදිරියෙදි මාව ලස්සන නිර්මාණයකින් දකින්න ලැබෙයි. තිළිණි කෞශල්‍යා විජේසිංහ
 

More News..