brand logo

මමත් සගයනුත් නොබියව සටනට ලැහැස්තියි

14 May 2021

නොබියව ක්‍රීඩාවට ප්‍රවිෂ්ට වීම තමාගේ රටාව බවත්, සිය කණ්ඩායමත් නොබියව ක්‍රීඩා කරන තැනට පත් වීමෙන් ජයග්‍රහණය සඳහා වැඩි ඉඩකඩක් පවතින බවත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිලේ නව නායක කුසල් ජනිත් පෙරේරා පවසයි. නායකත්වයට පත් වීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ සිය පළමු මාධ්‍ය හමුවට එක් වෙමින් කුසල් මේ බව කියා සිටියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් පිල, අසමගිය පැවැති සමයක කණ්ඩායමේ සමගිය ඇති කිරීම සඳහා දිමුත් කරුණාරත්නව 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට නායකත්වයට පත් කළේය. නමුත් දිමුත්, කණ්ඩායමේ නොමැතිව සිටියදී සෙසු කණ්ඩායම බලාපොරොත්තු වන ආකාරයෙන් සමගියෙන් කටයුතු කරයිද යනුවෙන් නැගුණු පැනයකට පිළිතුරු දුන් කුසල් ‘අපේ කණ්ඩායමේ පොඩි පොඩි ගැටලු තියෙනවා. පොඩි පොඩි ගැටලු නැති කණ්ඩායම් ලෝකේ නැහැ. දිමුත්ට දුන් සහයෝගය මටත් ලැබෙයි කියලා මම හිතනවා’යි කීවේය. එහිදී නායකත්වයේ අත්දැකීම් ගැන කියූ කුසල් ‘කෝල්ට්ස් කණ්ඩායමට සහ එල්.පී.එල්. තරගාවලියේ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට නායකත්වය දීලා තියෙනවා. මට තරගයක පවත්නා තත්ත්වය තේරුම් ගන්න පුළුවන්’ යැයි කියා සිටියේය. එළැඹෙන එක්දින තරගාවලියේදී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා වශයෙන් කුසල් පෙරේරා කටයුතු කිරීමට නියමිතය. තරගයේ ස්වභාවය අනුව ඔහු ආරම්භක හෝ තුන්වැනි පිතිකරු වශයෙන් පිටියට පිවිසෙනු ඇත. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කුසල් ජනිත් පෙරේරා, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා බංග්ලාදේශ කණ්ඩයම ඉදිරියෙන් සිටින බවත්, ඔවුන් හමුවේ තරගාවලිය ජය ගැනීමට සෑහෙන තරගයක් දිය යුතු බවත් කීවේය. තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා (16 වැනිදා) බංග්ලාදේශය බලා පිටත්ව යාමට නියමිතය. ඔවුන් 18 වැනිදා දක්වා නිරෝධායනය විය යුතු අතර ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ කටයුතු කරන ඔවුන් 19 වැනිදා සහ 20 වැනිදා පුහුණුවීම් ආරම්භ කරනු ඇත. මැයි 21 වැනිදා පුහුණු තරගයකට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම 22 වැනිදා නැවත පුහුණු සැසියකට සහභාගි වේ. ඉන් පසුව ඔවුන් 23 වැනිදා පළමු එක්දින තරගය සඳහා සහභාගි වේ. ගයාශාන් විතානආරච්චි
 

More News..