brand logo

මමත් වගඋත්තර වෙලා තියෙන්නේ - ජනපති

20 June 2019

ඉකුත් සතිය ආරම්භයේදී අගමැති රනිල් වික්‍රමසිංහ, ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරුන් වෙනුවෙන් ‘වැඩබලන පත්වීම්’ සඳහා නාම යෝජනා තුනක් ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණේය. ඒ අදාළ තනතුරුවලට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර යන අය ‘වැඩබලන ඇමතිවරුන්’ ලෙස පත් කරන ලෙස ය. කෙසේවෙතත් ඔවුන්ව අදාළ තනතුරුවලට පත් කරන්නට අකමැති වූ ජනාධිපතිවරයා විසින් ඒ සඳහා පත් කර තිබුණේ, ලකී ජයවර්ධන, අනෝමා ගමගේ සහ බුද්ධික පතිරණ යි. මෙම පත්කිරීම් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟ නොවන බව පවසමින්, බදාදා උදේ ම ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ රනිල් වික්‍රමසිංහ පවසා තිබුණේ, මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ද ප්‍රකාශයක් කරන බව යි. එහි වැඩිදුරටත් සඳහන්ව තිබුණේ, අගමැතිවරයාගේ නිර්දේශ මත මිස තනි තීරණයට ජනාධිපතිවරයාට වැඩබලන ඇමතිවරුන් පත් කළනොහැකි බව යි. මේ ආකාරයට පසුගිය සතිය ආරම්භයේ සිට ම යළිත් වතාවක් අගමැති - ජනපති ගැටුම් උග්‍ර වී තිබුණු අතර කළින් සතියේ සිකුරාදා ජනාධිපතිවරයා විසින් කැඳවා තිබුණු, ‘හදිසි මෙන් ම උණුසුම් කැබිනට් සාකච්ඡාව’ ද ඊට ඉවහල් වී තිබිණි. එහිදී ජනාධිපතිවරයා පවසා තිබුණේ, ‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පැවැත්වීම නීතිවිරෝධී වන බව’ ය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ, ‘‘පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු 5 ක් ඇහෙනවා... එයින් 3 කට මමත් වගඋත්තර වෙලා තියෙනවා... එහෙම තියෙද්දි තේරීම්කාරක සභාවක් දාගත්තු එක වැරදියි... අනික මේක කරන්නෙ විවෘතව... එතනදි බුද්ධි අංශයේ අයත් අනාවරණය වෙනවා... මේක කිසිසේත්ම අනුමත කරන්න බෑ... මේ කාරක සභාව මේ විදියට යනව නං මම ආයෙ කැබිනට් එකවත් කැඳවන්නේ නෑ...’’ යනුවෙනි. කෙසේවෙතත් ජනාධිපතිවරයා කලින් සතියේ සිකුරාදා පැවසූ ආකාරයට ම, පසුගිය සතියේ අඟහරුවාදා පැවැත්විය යුතුව තිබූ කැබිනට් රැස්වීම පැවැත්වූයේ නැත.
 

More News..