brand logo

මන්නාරම සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 104 ක කොටස් මතුවෙයි

28 August 2018

මන්නාරම සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 104 කට අයත් අස්ථි කොටස් ඊයේ (27) වන විට හමුවී ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ ඉන් සිරුරු 96 කට අයත් කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවී  ඇති බවයි. පළමු හා දෙවන අදියර යටතේ ව‍ළෙන් පස් ඉවත්කර ඇති බවත්, පරීක්ෂණ පවත්වන සීමාව තවදුරටත් විශාල කිරීමට සිදුවනු ඇති බවත් රාජපක්ෂ මහතා පැවසීය. ගොඩගත් සිරුරු 96 කට අදාළ අස්ථි මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, කාල නිර්ණය කිරීමේ කාබන් පරීක්ෂාවක් පිණිස ඒවායින් කොටස් කිහිපයක් ඇමරිකාවේ කැලිෆෝනියාහි රසායනාගාරයක් වෙත යැවීමට නියමිතය. අස්ථි නියැදි කැලිෆෝනියාවට යැවීමට තමන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කොට ඇතත්, මේ වන තෙක් ඊට අනුමැතිය ලැබී නැති බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා ඉවත් කළ පස් ගොඩක තිබී ඉකුත් මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවිය. මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරන ලදී. මේ වන විට පුරාවිද්‍යා නිලධාරීන්ගේ, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ දින 58 ක කාලයක් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වා ඇත. එහිදි මිනිස් සිරුරු 104 කට අදාළ හිස් කබල් කොටස් හා තවත් අස්ථි කොටස් සොයාගෙන ඇති බව මන්නාරම පොලිස් නිලධාරීහු පැවසූහ. මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.ජී.ප්‍රභාකරන් මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් කළ විමසීමේදී, අදාළ ස්ථානයේ එක් කොටසක නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් කොටසකින් හමුවූ අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවත් සදහන් කළේය.    
 

More News..