brand logo

මන්නාරම සමූහ මිනිවළේ අස්ථි සාම්පල ගැන ඇමරිකානු රසායනාගාර ඉදිරිපත් කළ කාල නීර්ණ වාර්තාව ගැටළු සහගතයි

08 August 2019

මන්නාරම සමූහ මිනිවළේ අස්ථි ‍සාම්පල සම්බන්ධයෙන් ඇමරිකානු ෆ්ලෝරිඩා රසායනාගාරය ලබාදුන් දින වකවානු විමසීමේදී එකම මිනිවළ තුළින් හමුවු අස්ථි සාම්පලවල කාලය සම්බන්ධයෙන් වසර 231 ක තරම් වෙනසක් පැවතීම ගැටළු සහගත බව මන්නාරම මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ තිබි හමුවු සමූහ මිනිවළෙන් ලබාගත් අස්ථි සාම්පල සම්බන්ධයෙන් ඇමරිකාවේ ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙතින් ලද වාර්තාවන්ගේ ගැටළු සහගත තත්වයන් පවතින බැවින් අදාළ සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරිපූර්ණ වෝහාරික විද්‍යා වාර්තාවක් තම විශේෂඥ දැනුම යොදාගෙන ලබාදෙන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය තමන් වෙත දැනුම් දී ඇති බවද හෙතෙම පැවසුවේය. සමූහ මිනිවළ භූමියෙන් හමුවු 350 කට අධික මිනිස් අස්ථි නොවන වළං කැබලි, ලෝහ කැබලි ඇතුළු භාණ්ඩ කොටස් පරීක්ෂණ වෙනුවෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් විමසීමේදී මහාචාර්යවරයා එලෙස සඳහන් කළේය. සෝමදේව මහතා වැඩිදුරටත් පැවසූවේ අධිකරණ නියෝග අනුව තමන් හා තම කණ්ඩායම වෝහාරික වාර්තාව සකස් කිරීමේ මූලික කටයුතු ආරම්භ කොට ඇති බවත්, සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි නොවන භාණ්ඩ පරීක්ෂා කිරීම තුළින් මූලික වශයෙන් හමුවු භාණ්ඩවල කාලය හා සමූහ මිනිවළ කුමන ආකාරයේ සිදුවීමක්ද යන්න සම්බන්ධයෙන් වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවයි. සමූහ මිනිවළ සම්බන්ධයෙන් තම වාර්තාව ඉදිරියේදී අධිකරණය වෙත ලබාදීමට තමන් අපේක්ෂා කරන බවද සෝමදේව මහතා කීය. වවුනියාව මාධව කුලසූරිය
 

More News..