brand logo

මන්ත්‍රී රාජිතට රට ගමන් තහනම්

24 December 2019

පසුගිය ජනාධිපතිවරණය සමයේ පවත්වන්නට යෙදුණු සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ විදේශ ගමන් තහනම් කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (23 වැනිදා) ආගමන සහ විගමන පාලකවරයා වෙත නියෝගයක් නිකුත් කළේය. රහස් පොලිසිය විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් ඊයේ මෙම නියෝගය නිකුත් කරන ලදී. රහස් පොලිසිය අධිකරණය හමුවේ ගොනු කරන ලද වාර්තාව මගින් සඳහන් කර තිබුණේ පරීක්ෂණයට භාජනය වී තිබෙන මාධ්‍ය සාකච්ඡාව, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ මෙහෙයවීම සහ ඔහුගේ පූර්ණ අනුග්‍රහය මත සිදුවී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙන බවයි. මෙම වාතාවරණය මත සේනාරත්න විදේශ ගත වූවොත් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව ඔහු විදේශ ගතවීම වැළැක්වීමේ නියෝගයක් ආගමන සහ විගමන පාලකවරයා වෙත නිකුත් කරන ලෙස ද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ප්‍රකාශයට පත් කරන ලදී. අධිකරණ වාර්තාකරු
 

More News..