brand logo

මන්ත්‍රිලා 225 ටයි, එයාලගේ දරුවන්ටයි හෙණ ඉල්ලන නිවුස් T.V. එකේ යනවා

26 March 2022

මගේ දූලා දෙන්නා කියනවා මට අයින් වෙන්න කියලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමත් දැන් තමාාට ලැජ්ජාවට කාරණයක් වී ඇති බව ශ්‍රී ලංක පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පහුගිය දිනක පවසා තිබුණි. එසේ කියන්නේ ඇයිදැයි අපි ඔහුගෙන් ඇසුවෙමු. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වීම ඔබට ගැටලුවක්ද? ඉස්සර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කීවම කොච්චර ගෞරවයක් තිබුණද? ඒත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට තිබූ ඒ අතීත ගෞරවය වර්තමානයේ මන්ත්‍රිවරු විසින්ම විනාශ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් කීවම හොරෙක්, කොල්ලකාරයෙක්, දූෂිතයෙක් ලෙස තමයි දැන් සමාජය දකින්නේ. කවුද ඉතින් මෙවට වග කියන්නේ? ඉතිහාසයේ සිට හිටපු මහජන නියෝජිතයන් ඊට වගකිව යුතුයි. මෙවැනි ව්‍යසනකාරී කාලයකදී පක්ෂ, විපක්ෂ සියලු දෙනා අවංකව වැඩ කළොත් අපට යළි ගෞරවය ලැබෙන්න පුළුවන්. ගෞරවය නැති නිසාද මහජනතාව මන්ත්‍රිවරු මෙතරම් ප්‍රතික්ෂේප කරන්නේ? ඔව්. සමාජය අද කියන්නේ මන්ත්‍රිවරු දෙසිය විසිපහටම හෙණ ගහන්න ඕනි කියලයි. එය අවංක මිනිහටත් එකයි, දූෂිතයටත් එකයි. දූෂිතයන්ට පාර්ලිමේන්තු එන්න ඉඩ සලසා තියෙන්නේ වත්මන් මැතිවරණ ක්‍රමය කියලනේ හැමෝම කියන්නේ? මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි. නමුත් ජනතාව තමයි ඡන්දය දෙන්නේ. හොරු, මංකොල්ලකාරයෝ නැතිව හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න ජනතාව දැනගත යුතුයි. සමස්තයක් විදිහට එය කළ යුතුයි. මනාප ක්‍රමය නිසා ලක්ෂ ගණන් මනාප ගන්නේ දූෂිතයන් බවට සමාජය චෝදනා කරනවා. අවංක මිනිහට සල්ලි වියදම් කරන්න බැහැ. මේ නිසා අවංක මිනිහට කලකිරෙනවා. මන්ත්‍රිධුරයෙන් ඉවත් වෙන්න කියලා ගෙදරින් බලපෑම් නැද්ද? මාධ්‍ය මගින් පෙන්වන දේවල් දැක්කම එවැනි තත්ත්වයක් මට උද්ගත වෙලා තියෙනවා. මට ඉන්නේ දූලා දෙන්නෙක්. ඒ දෙන්නා රෑට ටී.වී. එකේ නිවුස් බලනවා. මන්ත්‍රීවරු දෙසිය විසිපහටම හෙණ ගහන්න, දරුවන්ටත් හෙණ ගහන්න කියලා. මිනිස්සු ශාප කරන ඒවා නිවුස්වල පෙන්නනවා. ඒවා දැක්කාම දූලා දෙන්නා කියනවා තාත්තා හොරෙක් නෙවෙයි, අපි මොකටද මෙම සාපය විඳින්නේ කියලා. ඒ නිසා තාත්තා මන්ත්‍රීකමෙන් ඉල්ලා අස්වෙන්න කියලා. ගොඩක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ඔය තත්ත්වය තමයි උද්ගත වෙලා තියෙන්නේ. දරුවන්ටත් මෙය මානසික පීඩනයක්. ඔබට ගමට යන්න පුළුවන්ද? අපෝ පුළුවන්. දූෂිතයන්, වංචාකාරයන් පාර්ලිමේන්තු පැමිණීම නතර කරන්න කියලනේ ඔබේ පක්ෂයෙන් වියතුන් පාර්ලිමේන්තුවට එව්වේ? වියතුන්ට කරන්න කාලයක් උදාවුණේ නැහැ. ආණ්ඩුවට මාස දහඅටයි. ආපු දවසේ සිට ව්‍යසනවලට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් ආණ්ඩු පක්ෂය දැන් කරන්නේ විපක්ෂය විවේචනය කිරීම පමණයි. පෙනෙන වැඩපිළිවෙළක් නැහැනේ? අපිට බලය දුන්නේ විපක්ෂය වැරදි වැඩ කරපු නිසයි. විපක්ෂය විවේචනය කර කර ඉඳලා වැඩක් නැහැ. අපි රට හදන්න ඕනි. ලොකු කැපවීමක් අපි කළ යුතුයි. ඔබ අදහස් කරන කැපවීම කුමක්ද? මම මේ කියන්නේ මන්ත්‍රි වරප්‍රසාද ගැන නෙවෙයි. මන්ත්‍රි වරප්‍රසාද අඩු කරලනේ තියෙන්නේ. වාහන පර්මිට් එක නොමැතිවීම නිසා ඇතැම් මන්ත්‍රිවරු කුලියට වාහන අරගෙන පාර්ලිමේන්තු එනවා. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වෙනදට වඩා මහජන සේවා සඳහා කැපවීමක් කළ යුතුයි. ජනතා ප්‍රශ්න කෙරෙහි රැයක්, දහවලක් නොතකා සොයා බැලිය යුතුයි. ජනතාව වෙනුවෙන් තවත් වරප්‍රසාද අඩු කර ගන්න අවශ්‍ය වුණොත් කරන්න වෙනවා. එය පක්ෂ භේදයෙන් තොරව කළ යුතුයි. එකිනෙකාට චෝදනා නොකර සියලු දෙනා එකමුතුව කැප කිරීම් කළ යුතුයි. උදයජීව ඒකනායක
 

More News..