brand logo

මධුෂ්ගේ වෙඩික්කරුවෙකුගේ නිවසක් වටලයි

25 February 2019

ඩුබායිහි අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුවකු ලෙස සැළකෙන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප්‍රල්වරයකුගේ කඹුරුපිටිය නිවසක් පරික්ෂා කිරීමේදී යුද හමුදා නිල ඇදුම් තොගයක් හා ටී 56 වර්ගයේ ජීව පතොරම් 21 ක් ඇතුළු යුද උපකරණ රැසක් අද (25) සොයා ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසනවා. ඒ, හක්මණ ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී ලොකු හකුරුගේ ශාන්ත මහතාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධි පිළිබඳ විමර්ශනවලට අදාළවයි. වැටලීම කරන අවස්ථාවේ සැකකරු නිවසේ සිට නැත. සමන්ත පුෂ්පකුමාර නැමැති සැකකරු සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ අයෙකි. එම දේපොල සමඟ නිවස හිමි අදාළ සැකකරුගේ පියා ද පොලීසිය සැකපිට ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාකඳුරේ මධූෂ්ගේ සමීපතම මිතුරකු ද වන සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ පන්නිපිටියේ නිවසේ තිබී රුපියල් කෝටි 700 මැණික් මංකොල්ලයට උපයෝගීකර ගත් බවට සැකකරන අත් විලංගුවක් ද පොලිසිය විසින් සොයා ගන්නා තිබෙනවා. යුද හමුදා නිල ඇඳුම් සමඟ යුද හමුදා හිස් වැසුම්, ලාංඡන, බොත්තම් ආදී දේපොල රැසක් ද හමු වී තිබෙනවා. මැණික් ගල් මංකොල්ලයට අමතරව ඉකුත් වසරේ නොවැම්බර් 4 වැනි දා හක්මන ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ලොකුහකුරුගේ ශාන්ත මහතා ඝාතනය කිරීම හා කඹුරුපිටියේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම ආදී අපරාධ රැසකට අදාළ යුද හමුදා සාමාජිකයා සම්බන්ධ වී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඒ සියල්ල සිදුකර ඇත්තේ මාකදුරේ මධූෂ් නැමැත්තාගේ මෙහෙයවීම මත බවද පොලීසිය සඳහන් කරනවා. සපුගස්කන්ද යුද හමුදා කඳවුරේ සේවය කාලයේ දී ඔහු මෙම අපරාධ වලට සම්බන්ධ වී තිබෙනවා. ඔහුව අත්අඩංගුවට ගැනීමට සොයන විට රාජකාරියෙන් පලා ගොස් දැනට සැගවී සිටින බවද පොලීසිය සඳහන් කරනවා. අත්අඩංගුවට ගත් සැකකාර ලාන්ස් කෝප්‍රල්වරයාගේ 53 හැවිරිදි පියා හෙට (26) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
 

More News..