brand logo

මධුෂ්ගේ රොබෝවරු එක බොත්තමෙන් වැඩ

25 October 2020

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මරණයෙන් පසු මේ බිමේ අපරාධකාරයෙක් ගැන වැඩියෙන්ම කතා කළේ නම්, ඒ මාකඳුරේ මධුෂ් ගැනය. පසුගිය වසර තුන හතරේම ආරක්ෂක අංශවලත් දේශපාලනයේත් වැඩිමයෙන්ම කතාබහට ලක් වූ චරිතය ඔහු විය. කොටින්ම කියනවා නම් ජාතික ආරක්ෂාව ගැන අවසන් තීන්දු තීරණ ගන්නා ජාතික ආරක්ෂක මණ්ඩලයේදී ප්‍රධාන මාතෘකාව වූයේ ඔහුය. සහරාන්ට වඩා මධුෂ් ගැන ජාතික ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡා කළ බව පාස්කු කොමිසමට සාක්ෂි දෙන්නට පැමිණි ආරක්ෂක අංශ ලොක්කෝ කීවෝය. ඉකුත් කාලයේ රටේ වූ දුසිම් ගණනක් මිනීමැරුම් ද ටොන් ගණන් මත්කුඩු ජාවාරම පිටුපස සිටි තනි මිනිහා මධුෂ්ය. මේ සියල්ල ඔහු කළේ මෙරට සිට නොව නොරට සිටය. මාතර නගරයේ සිට දුර ඈත මාකඳුරෙන් කරළියට පැමිණි ඔහු ලංකාවම හෙල්ලුවේ මැද පෙරදිග ඩුබායි නගරයේ සිටය. අපරාධ චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඔහු ඇප මත මුදාහෑරීමන් පසුව අජිත් එරංග වර්ණකුලසූරිය යන නමින් හොර පාස්පෝට් එකක් හදා ඩුබායි නගරයට පැමිණියේය. ඔහු එරටේ සිට කළේ අණදීම පමණි. මාකඳුරේ මධුෂ් දුසිම් ගණනක් ප්‍රතිවාදීන්ට වෙඩි තබා බෙලි කපා මරා දැමූ බවට චෝදනා එල්ල වුවත් ඒ එක ඝාතනයක්වත් ඔහුගේ අතින් වූයේ නැත. පොලිසිය කියන ආකාරයට ඔහු මේ සියල්ල කළේ කුලී මිනීමරුවන් ලවාය. ඔහු කුලී මිනීමරුවන් සොයා ගත්තේ හිරගෙදරදීය. ඇප ගැනීමට මුදල් නැතිව රිමාන්ඩ් ගත කර සිටින අපරාධකාරයන්ට ඇප දෙන්නට මුදල් විය පැහැදම් කළේ මධුෂ්ය. එතැන් සිට ඔවුහු මධුෂ්ගේ රොබෝවරුය. මධුෂ්ට ඇත්තේ ඩුබායි සිට ජංගම දුරකතනයේ බොත්තම එබීම පමණි. මධුෂ්ගේ අපරාධ රැල්ලත් එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සිය ගෝල බාලයන් ලවා දකුණට එල්ල කළ ප්‍රහාර මෙන්ය. පොට්ටුගේ න්‍යාය අනුව ගිනි අවි රැගෙන යන්නේ වෙනමම එකෙකි. ප්‍රහාරයට වාහන සපයන්නේ වෙන එකෙකි. ඔත්තු බැලුවේ තවෙකෙකි. ඉලක්කය ගත්තේ තවෙකෙකි. මේ න්‍යාය මධුෂ් ද ඒ අයුරින්ම භාවිතා කළේය. ඝාතනයක් කළත් එයට සම්බන්ධ සියලු දෙනා පොලිසියට කොටු නොවීමට මධුෂ් වග බලාගත්තේය. එතැනින් නොනැවතී සාක්ෂියක්වත් තමන්ට එරෙහිව නැතිවන්නට සාක්ෂි ද වසා දැම්මේය. මධුෂ් රටේ ජනපතිවරුන් ඝාතන කුමන්ත්‍රණවලටද චෝදනා ලැබුවේය. හිටපු ජනපති මහින්ද රාජපක්ෂව එල්.ටී.ටී.ඊ.ය විසින් යුද සමයේ ඝාතනය කරන්නට සැලැසුම් කළේ මාකඳුරේ මධුෂ්ගේ ද සහාය ඇතිව බව බුද්ධි අංශවල තක්සේරුවයි. මධුෂ්ගේ සහාය ඉල්ලන්නේ එල්.ටී.ටී.ඊයට කොළඹ දී ජනපතිවරයා ඝාතනය කිරීම අසීරු වූ නිසාවෙනි. හම්බන්තොටට ගිය පසු ජනපතිවරයාගේ ආරක්ෂාව ලිහිල් වන බව දැනගත් එල්.ටී.ටී.ඊ.ය තම ප්‍රහාරකයන් හම්බන්තොටට යොමු කර මධුෂ් ඔත්තු බැලීමට සහායට ගත්තේය. ඔධුෂ්ට ඒ වෙනුවෙන් ආයුධ පෙට්ටිය ලැබෙන්නේ එල්.ටී.ටී.ඊ, යෙනි. ඒ වෙනුවට හම්බන්තොට දී එල්.ටී.ටී.ඊ.යට මධුෂ් දුන් ඔත්තුවකට ක්ලේමෝ බෝම්බයක් ඇටවුවද එය පුපුරා නොයාමෙන් ඉලක්කය වැරදුණේය. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කරන්නට එල්.ටී.ටී.ඊ.ය ප්‍රංශයේ සිට සැලැසුම්වලටද මධුෂ්ගේ නම ගෑවුණේය. තමාට එරෙහිව මෙහෙයුම් කරන පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට ඔහු උත්සාහ ගත්තේය. එහි කූඨප්‍රාප්තිය වූයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතන තැතය. කුඩු ඔත්තුවකට පිළියන්දලට ගෙන්වා ගත් ඔහු ඝාතනය කිරීමට වෙඩි තැබුවද පොලිස් පරීක්ෂකවරයා වෙඩි කා අනූනවයෙන් දිවි බේරා ගත්තේය. මේ අතරේ ඩුබායි සිටින මධුෂ් අල්ලන්ට පොලිස් විශේෂ කාර්ය බළකාය මුහුදෙන් එපිට මෙහෙයුමක් ඇරැඹීය. එම මෙහෙයුම ඇරැඹෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ එවකට බුද්ධි අංශ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරුණ ජයසුන්දරගේ මූලිකත්වයෙනි. අද ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක නියෝජ්‍ය පොලිස්පතිවරයාය. දෙතුන් වසරකට ඉහත දී ඔහුගේ උපදෙසින් පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් එම මෙහෙයුමට ඔත්තුකරුවකු ලෙස ඩුබායි බලා ගියේය. මධුෂ් එරට පොලිසියට කොටු වන්නේ සිය දියණිය​ගේ උපන් දින සාදය පවත්වමින් සිටියදීය. එම දියණිය මධුෂ්ට දාව උපන්නේ දිලනි ඉෂාරාටය. ඇය 2012 දී වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේ දී මිය ගිය කළු තුෂාරගේ බිරිඳය. ඇය මධුෂ්ගේ දෙවැනි බිරියය. මේ උපන් දින සාදය ගැන මුළු රටම එකල කතා කරන්නට ගත්තේ ප්‍රකට ගායක අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ඇතුළු කලාකරුන් තිදෙනෙක්ද එම සාදය පිනවන්නට ලංකාවෙන් එරටට ගොස් සිටි බැවිනි. අන්තිමේ දී ඔවුන් ද කංජිපානි ඉම්බ්‍රාන් ඇතුළු පාතාල නායකයන් කිපදෙනෙක්ද සාදයේදී පොලිසියට කොටු විය. මේ සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මධුෂ් ලංකාවට පිටුවහල් කර ගැනීමට ජනපතිවරයා පවා මැදිහත් වූයේ මධුෂ් ඒ තරමටම රටට පිළිලයක් වී සිටි බැවිනි. මධුෂ් එරටින් පිටුවහල් කරන්නට තීරණ කරද්දී විශේෂ පුහුණුව ලත් කණ්ඩායමක් ඩුබායි බලා ගොස් තිබුණේය. විශේෂිත ගුවන් යානයකින් ගිය කණ්ඩායම මධුෂ්ව තම ග්‍රහණයට ගෙන රැගෙන ඒමත් මෙහෙයුමක් විය. මධුෂ්ට ගුවන් යානයේ දී කෑමට දුන් හැඳි ගෑරුප්පු පවා වෙනස් කෙරුණේ ආරක්ෂිත පියවරක් අනුගමනය කරමින්ය. ආරක්ෂක නිලධාරීන් තම ග්‍රහණයේ ඳවා ගනිමින් මධුෂ් කටුනායක ගුවන්තොටුපොළට ගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු ඔහු සිය භාරයට ගත්හ. ඒ පසුගිය වසරේ මැයි 05 දාය. එදා සිට ඔහුගේ නවාතැන වූයේ හතරවැනි තට්ටුව හෙවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය. මධුෂ් හතරවැනි තට්ටුවට රැගෙන ඒමෙන් පසු කියවුණේ ඔහු තමාට ඇති දේශපාලන සබඳතා පාපොච්චාරණය කිරීමට සූදානම් බවය. ඊට පසුබිම හැදෙන්නේ ඔහු පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ පුතෙකුගේ විවාහයටද මෙරටට ආ බව බුද්ධි අංශ අනාවරණය කර ගත් කතාවය. එවකට පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන්නා වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ය. ඇමැති පුතාගේ විවාහයට මධුෂ් මෙරටට ආ වග කියැවිණි. කොළඹ තරු පන්තියේ හෝටලයක ජනපති, අගමැති ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගිත්වයෙන් එම විවාහය පැවැත්වුණි. එස්.ටී.එෆ්. බුද්ධි නිලධාරින් හෝටලයේ වේටර්වරුන්ගේ සිට විවිධ තනතුරුවලට වෙස් වලාගෙන මධුෂ් එතැයි රැකවල් යෙදූහ. බුද්ධි නිලධාරීන්ගේ ගොදුර ගිලිහුණද දින කිහිපයක් එම විවාහය දකුණු පළාතේ තිබූ අතරේ මධුෂ් පැමිණ ගිය බව කියැවුණද එය එදා මෙදා තුර සනාථ කර ගැනීමට අසීරු විය. මේ අතරේ රහස් පොලිස් භාරයේ සිටි මධුෂ්ව කොළඹ අපරාධ කොට්ඨාස භාරයට පත්කරන්නේ වැඩබලන පොලිස්පතිවරයාගේ අනුමැතියකිනි. පසුගිය කොරෝනා කාලයේ ඩුබායි පනින්නට ගිය මධුෂ්ගේ හා අංගොඩ ලොක්කාගේ ගෝලයකු වූ සුබෙයිර් කටුනායකින් කොටු කළ පසු කුඩු ජාවාරමක තොරතුරු හෙළි වී තිබිණි. එම ජාලයේ තොරතුරු මත විමර්ශනය සඳහා මධුෂ්ව අපරාධ කොට්ඨාසයට භාර ගත්තේ එම අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දන කළ ඉල්ලීමකටය. මධුෂ් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමත් සමග ඔහු ආයුධ පෙන්වන්නට ගොස් පරලොව යන්නට පාර කැපෙමින් තිබෙන බව සමාජ මාධ්‍ය ජාලාවලින් කියැවුණි. නුමුදු මධුෂ් එම කාලසීමාව තුළ අපරාධ කොට්ඨාසයට දුන් තොරතුරු මත රුපියල් කෝටි 11ක් වටිනා හෙරොයින් කිලෝ 11ක් ඉකුත් 17 දා සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය. බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මධුෂ්ගේ කුඩු ජාලයේ ඉතිරි පිරිස් සොයා යෑමට අපරාධ කොට්ඨාසයට නියෝග දුන්නේ මේ අතරේදීය. දිගින් දිගටම මධුෂ්ගෙන් ප්‍රශ්න කරන්නේ ඔක්තෝබර් 26දාට පෙර විමර්ශන අවසන් කරන්නටය. ඔහුගේ රඳවා තැබීමේ කාලය අවසන් වන හෙයින් ඉක්මනින් එම ජාලය සොයා ගැනීමේ අරමුණෙන් ප්‍රශ්න කිරීම් සිදුවිණි. රඳවුම් නියෝග අවසන් වූ පසු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතුය. ‘‘සර් මෙහෙම කුඩු ගෙන්වන හතරක් ඉන්නවා. මම හරියට ඉන්ෆොමේෂන් දෙන්නම්. මට ෆෝන් එකක් දෙන්න’‘ යැයි මධුෂ් කියූ බව පොලිසිය කියන්නේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැනුවත් කර විමර්ශන නිලධාරියකුගේ නමට ගත් දුරකතන අංකයකින් මධුෂ්ට කතා කරන්නට දුරකතනයක් දුන්නේය. ඒ සියලු කතාබහ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් සිදු විය. පොලිසිය කියන විදිහට මධුෂ් තම ගෝල බාලයන්ට කතා කර ලබාගත් තොරතුරු මත මීළඟ කුඩු තොගය ගන්නට තිබුණේ මාලිගාවත්ත ඇපල්වත්තේ පිහිටි ලක්සෙත නිවාස සංකීර්ණයේදීය. ඇපල්වත්ත කියන්නේ මධුෂ්ගේ කුඩු සගයා වූ කංජිපානි ඉම්බ්‍රාන්ගේ රාජධානියකි. ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් සිල්වා, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත ඇතුළු නිලධාරීන් 17 දෙනෙක් මධුෂ්වද කැටුව මෙහෙයුමකට යෑමට සූදානම් වන්නේ ඉහළින් ලද අවසරයත් සමගය. මධුෂ් කියන්නේ සත්‍යයක්දැයි බැලීමට ඒ වන විටත් සිවිල් නිලධාරීන් හතරක් ලක්සෙත නිවාස සංකීර්ණයේ දසවැනි මහලට පිටත් කර තිබිණි. එම නිලධාරීන් දුන් තොරතුර මත අලුයම 2.45ට පමණ පොලිස් කණ්ඩායම මධුෂ් ද කැටුව එහි ගිය බව පොලිසිය කියයි. ලක්සෙත නිවාස සංකීර්ණයට ඇතුළු වී තරප්පු පෙළ නගිද්දිම තමයි උඩ තට්ටුවේ ඉඳන් වෙඩි තියන්න ගත්තේ. උඩ ඉඳන් වෙඩි තියද්දී අපේ රාලහාමිලා දෙන්නකුටයි, මධුෂ්ටත් වෙඩි වැදුණා. අපිත් වෙඩික්කරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළා. අපේ අය ආපු වෑන් එක ළඟටත් බෝම්බයකුත් වැදුණා. වෙඩි තියාගෙන එළියට පැන්න දෙන්නා පස්සේ සී.අයි. සුසන්තයි. රාලහාමි කෙනෙකුයි වෙඩි තියාගෙන එළවද්දී බයික් එකකින් පැනලා යන්න හැදුවා. බයික් එකෙන් හදිස්සියට වැටුණු දෙන්නා පැනලා ගිහින් තිබුණා. යැයි මධුෂ්ගේ මරණයෙන් පසු පොලිසිය කියන කතාවය. මධුෂ්වයි, රාලහාමිලා දෙන්නයි තුවාල පිට ජාතික රෝහලට යැව්වා. එතැනදී මධුෂ් මැරිලා කියලා දැනගත්තා. මධුෂ් කිව්ව ගෙදර තිබිලා කුඩු කිලෝ විසි දෙකක් සොයාගත්තා. එතැන කෝටි විසි දෙකක විතර කුඩු තිබුණා. ප්‍රහාරයකයන් අරන් ආපු පිස්තෝල දෙකක් දාලා ගිහින් තිබුණා. ඒ මධුෂ්ගේ මරණයෙන් පසු පොලිසිය කියන කතාවය. කෙසේ නමුදු මධුෂ්ගේ මරණයෙන් පසු ඔහුගේ ඥාතීන් කියන්නේ පොලිසිය ඔහුට වෙඩි තබා මරා දැමූ බවය. මධුෂ්ගේ දෙවැනි බිරිය වෙනුවෙන් නීතිඥවරයෙක්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සගමයට ලිපියක් යවා තිබේ. එහෙත් පොලිසිය මේ චෝදනා ප්‍රතික්ෂේප කරන්නේය. පාතාල කණ්ඩායම්වල මහ මොළකරු මධුෂ්. මධුෂ් අනාවරණය කළ තොරතුරු සී.සී.ඩී සතුව තිබෙනවා. මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්, ගිනි අවි ජාවාරම් සියල්ලට මධුෂ් සම්බන්ධයි. ඔහු අවසන් මොහොතේ සොයා දුන්නෙත් ඔහුගේ ගෝලයන් ළඟ තිබුණු කුඩු. මධුෂ්ගෙන් ටී 56 අවි, පිස්තෝල රැසක් සොයාගත හැකිව තිබුණා. මේ අනපේක්ෂිත සිද්ධියෙන් ඒවා මග හැරුණා. මධුෂ්ගෙන් සියල්ල හෙළිවෙයි කියලා බිය වූ කණ්ඩායමක් මේක කලා වෙන්නත් පුළුවන් යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පෙන්වා දෙන්නේය. තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..