brand logo

මධ්‍යම සහ සෙසු අධිවේගී මාර්ග කඩිනම් කිරීමට ජනපති උපදෙස්

14 February 2020

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. පළමු අදියරේ වැඩ අවසන්ව ඇති මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය නිසි ලෙස නිම කර විවෘත කළ යුතුය. මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම හරහා කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දඹුල්ල දක්වාත්, පොතුහැර සිට ගලගෙදර දක්වාත් කොටස කඩිනමින් නිම කළ යුතු තවත් ව්‍යාපෘතියකි. මාර්ග සහ මහාමාර්ග අමාත්‍යාංයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (14) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය. කඩවත සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ වැඩ නිම වූ පසු රථ වාහනවලට උතුර, නැගෙනහිර සහ බටහිර පළාත්වලට කඩිනමින් පිවිසීමටපිළිවන. ජනතාවට වඩා පහසුවෙන් ගමන් බිමන් යාමට ඉඩ සැලසීම මෙහි අරමුණයි. මාර්ග පද්ධති අතර මනා සම්බන්ධතාවක් ඇති ආර්ථික කොරිඩෝවක් ඉන් නිර්මාණය වෙයි. ඉංගිරියේ සිට රත්නපුර දක්වා කි.මි 76ක මාර්ගය කඩිනමින් ඉදිකර ජාතික අධිවේගි මාර්ග පද්ධතියට එක් කෙරේ. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුවෙන් ඇරඹේ. නුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීම අධික මාර්ගද තදබදයට විසඳුමකි. ගාලු පාරේ සහ ඩුප්ලිකේෂන් පාරේ රථවාහන තදබදයට විසඳුම් ලෙස ගාලුපාරට සමාන්තර මුහුදු බඩ මාර්ගය (මැරයින් ඩ්‍රයිව් ) පානදුර දක්වා දීර්ඝ කිරීමට ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරිණ. සියලු ඉදිකිරීම් සදහා දේශීය ඉංජිනේරුවන්ගේ පූර්ණ දායකත්වය ලබා ගන්නැයි ජනාධිපතිතුමා පැවසීය. මාර්ග ඉදිකිරීමට සමගාමීව පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුය. මෝටර් රථවලින් නගරයට පිවිසීම අවම කිරීමට සුඛෝපබෝගී බස් රථ සහ පාසල් බස් රථ සේවාව විධිමත් කිරීම ගැන සාකච්ඡා කෙරිණ. නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව කොළඹට පිවිසෙන රථ වාහන ගාල් කිරීමට සුදුසු ස්ථාන සැකසීම කෙරහි ද අවධානය යොමු විය. ව්‍යාපාරික ස්ථාන ස්ථාපනයේ දී වාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා විදුලි, ජල සහ දුරකථන මාර්ගවලට සිදුවන හානි නතර කිරීමට සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියා කළ යුතු බවට උපදෙස් දුන්නේය.  
 

More News..