brand logo

මත්ලෝලීන් පුනුරුත්ථාපනයට ජාතික සැලැස්මක්

12 September 2020

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කමිටුවක් පත්කර තිබේ. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දිනපතා බන්ධනාගාරගත කෙරෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තුළ දැඩිතදබදයක් ඇතිවීමත්, මත්ද්‍රව්‍ය භාවිතය සදහා ඇබ්බැහිවන ප්‍රමාණය ඉහළයාමෙන් ඇතිවෙමින් පවතින සමාජ ව්‍යවසනයත් සදහා විසදුම් සෙවීමට පුනරුත්ථාපන කටයුතු අරමුණුකරගත් මූලෝපායික සැලසුම්වලින් යුතු පුළුල් ජාතික සැලස්මක් මෙම කමිටුව මගින් සකස් කෙරෙනු ඇත. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍යලක්නාත් වෙලගෙදර මහතාගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කොමසාරිස් කාර්යාංශය,ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යංශය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යා පන රාජ්‍ය අමාත්‍යංශය, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කැළණිය විශ්ව විද්‍යාලය, ශ්‍රීලංකා පොලීසිය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය, ශ්‍රීලංකා මානසික විද්‍යාඥයින්ගේ විද්‍යාලය, මධ්‍යසාර සහ ඖෂධ පිළිබද තොරතුරු මධ්‍යස්ථානය,ආයතනවල නියෝජිතයන් ඇතුලත් වෙයි. මූලික අදියරේදී 10000ක පමණ රැදවියන් පිරිසක් පුනරුත්ථාපනය සදහා යොදාගැනීමටත්, මත්ද්‍රව්‍ය සදහා ළමා සහ තරුණ පිරිස යොමුවීම වැළැක්වීමට අවශ්‍ය පසුබිම සැකසීම සදහා ක්‍රීඩාව, සෞන්දර්ය, කලාව, මනෝවිද්‍යා උපදේශන, වෘත්තීය පුහුණු ආදී වැඩසටහන් සහිත වැඩපිළිවෙළක් සැකසීම මෙන්ම දිගුකාලීන අධීක්ෂණ ක්‍රියාවලියක් සහිත ජාතික මට්ටමේ මාර්ගෝපදේශවලින් යුක්ත වැඩපිළිවෙලක් සැකසීම මෙම කමිටුව වෙත පැවරී ඇති මූලික වගකීමකි. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ රැදවුවන්ගෙන් ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් බන්ධනාගාර තදබදය සදහා විසදුම් සෙවීමටත් මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවන පිරිසෙන් බහුතරය තරුණ පිරිසවීම නිසා ඔවුන්ව වි‍ශේෂ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකිරීමට අවශ්‍ය නීතිමය ගැටළු විසදාගැනීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා සහ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ නාමල් රාජපක්ෂ මහතා සමග රාජ්‍ය ඇමැතිනී සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මීට පෙර පැවැත්වූ සාකච්ඡාවෙන් පසු අධිකරණ ඇමතිවරයා විසින් නීතිමය කටයුතු සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන ලදි. එහි තවත් පියවරක් ලෙස ඉහත ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවේ පැවැති දෙවැනි සාකච්ඡාවෙන් අනතුරුව තෙවැනි සාකච්ඡාව ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍යත සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, මෙම ජාතික සැලැස්මක් සකස් කිරීමේ කමිටුව ස්ථාපිත කරන ලදි. මෙම කමිටුවේ සැලසුම්,ප්‍රගතිය විමසා බැලීම සදහා ලබන 24 වන දා නැවත රාජ්‍යඅමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. මෙම සාකච්ඡාව සදහා දේශීය වෛද්‍ය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, බන්ධනාගාර රාජ්‍ය ලේකම් ගීතාමනී කරුණාරත්න, පාසල්ක්‍රීඩා රාජ්‍ය ලේකම් රවීන්ද්‍ර සමරවික්‍රම, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි, අපරාධ විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් වන උදයකුමාර අමරසිංහ, ආචාර්ය අනුෂා එදිරිසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 

More News..