brand logo

මත්පැත් නිෂ්පාදනයට රජයේ එතනෝල් පමණක් ගන්න

19 June 2020

දේශීය පෞද්ගලික මද්‍යසාර නිෂ්පාදකයන්ගෙන් මධ්‍යසාර මිලදී නොගෙන තමන් නිර්දේශ කරන රජයට අයත් පැල්වත්ත ඩිස්ටිලරීස් සමාගමින් හෝ සෙවණගල සීනි සමාගමෙන් පමණක් එතනෝල් මිලදී ගන්නා ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මත්පැන් නිෂ්පාදන සමාගමකට දැනුම් දී ඇත. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට එතනෝල් ආනයනය තහනම් කළ රජය දේශීය නිෂ්පාදකයන්ගෙන් පමණක් එතනෝල් මිලදී ගැනීමට පෞද්ගලික මත්පැන් නිෂ්පාදකයන්ට නියම කළේය. ඒ අනුව පෞද්ගලික මත්පැන් නිෂ්පාදකයන් රජයට අයත් සමාගම්වලින් මෙන්ම දේශීය පෞද්ගලික සමාගමකින්ද එතනෝල් මිලට ගත්හ. එහෙත් දැන් සුරාබදු දෙපාර්මේන්තුව ඉහත කී පෞද්ගලික මත්පැන් නිෂ්පාදන සමාගමට දැනුම් දී ඇත්තේ එම පෞද්ගලික සමාගමින් එතනෝල් මිලදී නොගෙන රජයට අයත් සමාගම් දෙකින් පමණක් එතනෝල් මිලදී ගන්නා ලෙසයි. කෙසේ වෙතත් අදාළ තහනමට ලක්වූණු පෞද්ගලික සමාගම පවසන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවට අයත් ස්කාගාරවලින් එතනෝල් මිලදී ගැනීම හේතුවෙන් තම නිෂ්පාදනවල රසය වෙනස්විය හැකි අතර තමන්ගේ ගනුදෙනුකරුවන් අහිමිවනු ඇති බවයි. එසේම සුරාබදු රෙගුලාසිවලට අනුව දෙපාර්තමේන්තුව යෝජනා කරන සමාගම්වලින් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට පෞද්ගලික මත්පැන් නිෂ්පාදකයන් බැඳී නැති බවද එම සමාගම පෙන්වා දෙයි. දුර්වල කළමනාකරණය සහ මෙහෙයුම් හේතුවෙන් රජය සතු එතනෝල් ස්කාගාර මගින් සිදුවන පාඩු පියවා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන ඇතැයි පෞද්ගලික සමාගම් චෝදනා කරයි. මේ පිළිබඳ කරන ලද විමසීමකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ ​ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයට අයත් සමාගම්වලින් එතනෝල් මිලදී ගැනීමට පෞද්ගලික සමාගම්වලට උපදෙස් ලබාදී ඇති බවයි. එසේම අදාළ සමාගම් දැනටමත් තම නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල්වලින් කොටසක් රජයේ සමාගම් දෙකින් මිලදී ගන්නා බවත් ඔහු සඳහන් කළේය. නයන තරංග ගමගේ/ උදයජීව ඒකනායක
 

More News..