brand logo

මත්ද්‍රව්‍යවලින් වැසුණු බොලිවුඩ් තරුවල දීප්තිය

03 October 2020

ඉන්දියානු සමාජයේ ඉහළම පිළිගැනීමක් හිමි කරගත් කොටසක් ලෙස එහි නළු නිළියන් හැඳින්විය හැකියි. ඇතැම් විට දෙවියන්ට පවා එහි එතරම් ගෞරවයක් පවතීද යන්න සැක සහිතයි. මෙම ආදරය හා ගෞරවය කෙතරම්ද කිවහොත් සිය ප්‍රියතම නළු නිළියන් වෙනුවෙන් සියදිවි නසාගන්නට පවා සමහර සිනමා රසිකයන් සූදානම් බව රහසක් නොවෙයි. එම නිසාමයි ඉන්දියාවේ බොහෝ තරුණ පිරිස් එහි සිනමාවට එක් වීම සඳහා දැඩි උත්සාහයක් ගන්නේ. එහෙත් ඉන් ජය ලබන්නට තරම් වාසනාව ලැබෙන්නේ ඉතා සුළු පිරිසකට පමණයි. ඒ අතරිනුත් සුපිරි තරු බවට පත් වීම බොහෝ නළු නිළියන්ගේ සිහිනයක්. නමුත් සුපිරි තරු බවට පත් වූවාට පසු ඔවුන්ට මග වැරදී යාමට පවා ඉඩ තිබෙනවා. ඒ තමා එහි පවතින මායාව. පසුගියදා එම මායාවට පමණක් නොව රසිකයන්ගේ ආදරය, ගෞරවයද අවදානමට ලක් කරගත් සිනමා තරු ගණනාවක් පිළිබඳව බොලිවුඩයෙන් වාර්තා වුණා. ඒ වෙනකක් නොවෙයි. සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය පිටුපස පවතින මත්ද්‍රව්‍ය සම්බන්ධතා හේතුවෙන් සුරූපි නිළි දීපිකා පදුකෝන්, සාරා අලී ඛාන්, ශාර්දා කපූර් රාකුල් ප්‍රීත් සිං ඇතුළු සුපිරි තරු ගණනාවක්ම ජාතික මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ ප්‍රශ්න කිරීම් වලට ලක්වීම. මධ්‍යම තොරතුරු ආයතනයට අනුව ඔවුන් සමග තවත් බොලිවුඩ් තරු හා රූපවාහිනී ශිල්පීන් 39 දෙනකු සම්බන්ධයෙන් පියවර ගැනීමට නියමිතව තිබෙනවා. බොලිවුඩ් සිනමාවට සම්බන්ධ නළු නිළියන් හා වෙනත් කලා ශිල්පීන් ගණනාවකගේම මත්ද්‍රව්‍ය සම්බන්ධ පිළිබඳව ප්‍රශ්න කිරීමට නියමිත බවයි මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසන්නේ. සුශාන්ත් සිංගේ සියදිවි නසා ගැනීම පිටුපස මත්ද්‍රව්‍ය සම්බන්ධතා පවතින බව හෙළි වෙන්නට පටන් ගැනීමත් සමග සිය විමර්ශන කටයුතු පුළුල් කිරීමට කාර්යාංශය පියවර ගෙන තිබෙනවා. ගෝවේ සිට සිය සැමියා රන්වීර් සිං සමග දීපිකා පදුකෝන් සිය නිවස බලා බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැමිණියේ පොලිස් ආරක්ෂාව යටතේයි. ඇගේ නිවස ආශ්‍රිතව දැන් පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා. මුලින්ම ප්‍රශ්න කිරීම්වලට ලක් කිරීම සඳහා නියමිතව සිටියේ දීපිකාගේ කළමනාකාරිනිය වන කරීෂ්මා ප්‍රකාශ් වුවත් ඇය අසනීප වීම නිසා එම ප්‍රශ්න කිරීම සිකුරාදා තෙක් කල් දමා තිබෙනවා. මත්ද්‍රව්‍ය හුවමාරුව සම්බන්ධ ''D'' නම් අයකු හා කරීෂ්මා අතර හුවමාරු වූ වට්ස්ඇප් පණිවිඩ පිළිබඳව අනාවරණය කරගෙන ඇති මත්ද්‍රව්‍ය කාර්යාංශය දැන් සැලකිලිමත් වන්නේ මෙම 'D' කවුද යන්න හෙළි කර ගැනීමටයි. මේ අතර ධර්මා ප්‍රඩක්ෂන්ස් හි විධායක නිෂ්පාදක ෂිත්ජී රවි ප්‍රසාද්ගෙන් සිකුරාදා දිනයේ ප්‍රකාශයක් ගැනීමට නියමිතව තිබුණා. මෙම ආයතනයේ හිමිකරු වන්නේ චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර්ය. එසේම රාකුල් ප්‍රීත් සිංවද ප්‍රශ්න කිරීමට නියමිතව තිබුණේ සිකුරාදායි. මේ වන විට රූපවාහිනී කලා ශිල්පීන් වන පනම් ජොහාර් හා අබ්ගේල් පාණ්ඩේ යන දෙදෙනා දෙවරක්ම ප්‍රශ්න කිරීම්වලට ලක් වුණා. මීට අමතරව KWAN නම් කළමනාකරණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි දෘවි චිත්ගෝපිකාර්, චිත්‍රපට නිෂ්පාදක මධු මැන්ටෙනා මීට පෙර ප්‍රශ්න කිරීම්වලට ලක් වුණා. එසේම සුශාන්ත් සිංගේ හිටපු ව්‍යාපාර කළමනාකරු ශ්‍රැති මෝදිගෙන්ද මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ප්‍රශ්න කරනු ලැබුවා. මෑතකදී සම්මුඛ සාකච්ඡාවක් අතර සුරූපි බොලිවුඩ් නිළි කන්ගනා රාකෝඩ් පවසා තිබුණේ තමා සිනමාවට පා තැබූ අලුත මත්ද්‍රව්‍ය භාවිත කර සිටි නළුවකු තමාට කරදරයක් වන ආකාරයෙන් හැසිරුණු බවයි. බොලිවුඩ් සිනමාවට සම්බන්ධව කටයුතු කරනා බොහෝ දෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චිය ඉතාම සරල දෙයක් ලෙස සලකන බව ඇය කියා තිබුණා. ‘‘බොලිවුඩයේ ඉහළම නළුවෙක් චිත්‍රපට රූගත කිරීම් අතරේදීත් මත්ද්‍රව්‍ය භාවිත කරන ආකාරය මා දැක තිබෙනවා. ඒ ලාස් වේගාස් හි රූගත කිරීමකදීයි. ඉන්දීය රජය මෙවැනි ක්‍රියා සම්බන්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි.’’ ඇය ප්‍රකාශ කළ බව සඳහන්. දැන් ඇති වී තිබෙන ප්‍රශ්නය මෙම සුපිරි තාරකාවන්ගේ ඉරණම කෙසේ තීන්දු වේවිද යන ප්‍රශ්නයයි. ඔවුන් කෙතරම් වැරදි කර තිබුණත් බොලිවුඩ් රසිකයන් තුළ ඔවුන් සම්බන්ධයෙන් ඇඳී ඇති ප්‍රතිරූපය විශාලයි. යම් විදියකින් මත්ද්‍රව්‍ය චෝදනාවලට ඔවුන් වැරදිකරුවන් වුවත් ඔවුන්ගේ ලෝකය තුළ නම් මේ සිනමා තරු තවදුරටත් බබළාවි. වසන්ත විජේරත්න
 

More News..