brand logo

මත්තල හා රත්මලාන ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නව යෝජනාවලියක්

24 February 2020

මත්තල හා රත්මලාන ගුවන්තොටුපළවල ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සදහා නව යෝජනාවලියක් සැකසේ. මෙම නව යෝජනාවලිය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවලට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගුවන් තොටුපළ බළධාරීහු පසුගිය කාලය තුළ සාකච්ඡා කීපයක් ම පවත්වා තිබේ. එහි දී එම ගුවන් සමාගම් ඉදිරිපත් කළ කරුණු ද සැලකිල්ලට ගනිමින් නව යොජනාවලිය සැකසුණු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනයේ දී ප්‍රධාන උපාය මාර්ගික අංශ 04 ක් රජය හදුනාගෙන තිබේ. කලාපීය හා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සදහා ප්‍රවර්ධනය, ගුවන් යානා නඩත්තු සේවාවන් සදහා ප්‍රවර්ධනය, තාක්ෂණික නැවතුම් හා සේවා ප්‍රවර්ධනය , භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ප්‍රවර්ධනය මත්තල ගුවන් තොටුපළ සම්බන්ධයෙන් රජය හදුනාගෙන ඇති උපාය මාර්ගික අංශ 04 යි. ජාත්‍යන්තර ව්‍යාපාරික ජෙට් යානා සදහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් දියුණු කිරීම, කලාපයේ ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීම, කලාපීය ගුවන් තොටුපළ මෙහෙයුම් සිදු කිරීම රත්මලාන ගුවන් තොටුපළ සංවර්ධනය සදහා හදුනාගෙන ඇති ක්ෂේත්‍ර වේ. මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ ආගමන බද්ද ලිහිල් කිරීම, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් සංක්‍රමණික සේවකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගාස්තු සදහා වට්ටම් ලබා දීම, බිම් මෙහෙවර සේවා සදහා වට්ටම් අනුපාතයක් ලබා දීම, මත්තල හා රත්මලාන ගුවන් තොටුපළවල සහනදායී ඉන්ධන මිල ගණන් පිරිනැමීම ගුවන් සමාගම්වලට මෙම ගුවන් තොටුපළ දෙකෙහි ගුවන් යානා ගොඩ බෑමේ හා නතර කර තැබීම වෙනුවෙන් සහන සැලසීම යන යෝජනා ක්‍රියාත්මක කිරීමට ඒ අනුව රජයේ අවධානය යොමුව තිබේ. යෝජනාවලිය සැකසුණේ මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වෙත ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනීමේ අරමුණ ඇතිවයි. කැබිනට් අනුමැතිය ලැබුණු වහා ම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඉතා කඩිනමින් මත්තල හා රත්මලාන ගුවන් තොටුපළ වල ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අපේක්ෂා කරන බවත් අමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..