brand logo

මට වෛර කරන පිරිසකුත් ඉන්නවා

06 March 2021

මේ දවස්වල සමනලී ෆොන්සේකා ගැන වැඩිපුර කතා කරනවා. ඒ මියුරු හඬින් ගැයෙන ‘හාදුවක්’ ගීතය නිසා... ඒ නිසාම හාදුවක් නිර්මාණ පසුබිම සේම කලාව ගැන ජීවිතය ගැන අපි සමනලී එක්ක කතා කළා. දෙනෝදාහක් ඇස් ඉදිරියේ කවදාද දෙන්නේ මං උණුහුම් හාදුවක් කවදාද දෙන්නේ අපි උණුහුම් හාදුවක් හාදුවක් නිර්මාණය වෙන්නේ කොහොමද? මගේම ගීත අතරට එකතු වුණු හතරවැනි සින්දුව. මේක ලියන්නේ සුජීව හෙට්ටිතන්ත්‍රි, සංගීතවත් කරන්නේ අරුණ ගුණවර්ධන. මේ සින්දුව ලැබෙන්නේ කොවුලෙක් මොටද සින්දුව කළාට පසුව, අරුණ තමා මට කිව්වේ මෙහෙම සුජීව සින්දුවකුත් ලියලා තියෙනවා කියලා. සුජීව ඉන්නේ ඇමරිකාවේ. සින්දුවේ පද පෙළ දකිද්දී ආස හිතුණා. වෙනස්ම ආරක සින්දුවක් නිසා පද පෙළෙහි යම් වෙනස්කම් කීපයක් අපි කතා කරලා කර ගත්තා. නමුත් අරුණ අයියා සින්දුව සංගීතවත් කරාම මට හිතුණා මේක මට කියන්න පුළුවන්ද කියලා. මම ටිකක් මග හැරලත් හිටියා. අන්තිමට ඒ දෙන්නගෙම දැඩි ඉල්ලීමට තමා මම කිව්වේ එහෙනම් මම ස්ටූඩියෝ එකට එන්නම් කියලා බලමු කියලා. එහෙම කිව්ව පළවැනි එකම තමා අවසන් පටිගත කිරීම වුණේ. රූප රචනාව ගැනත් අපි කතා කරමු මගේ ගීතවලට මියුසික් වීඩියෝ එකක් කරලම තිබ්බේ නැහැ. මේක වෙනස්ම පැතිකඩක් පෙන්නුම් කරන නිසා සමාජයේ රූප රචනාවක් කරමු කියලා හිතුණා. ඊට පස්සේ තමා තිසර ඉඹුලානට කතා කළේ. ඔහු තමා ස්ටෝරි ලයින් එක හැදුවේ. පෙම්වතා විදියට ගන්න ඕනේ සාමාන්‍ය එදිනෙදා ජිවිතේදී දකින පෙම්වතෙක්. එහෙම නැතුව සිහින ලෝකවල චිත්‍රපටවල පෙන්වන ඇඟවල් හදා ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඒ දෘෂ්ටිවාදයෙන් මිදිලා සැබෑ ජීවිතයට සමීප කරන්න ඕනේ වුණා. ඒකට තමා නව පරපුරේ දක්ෂ තරුණයෙක් වන සේවියර් කනිෂ්ක තෝරා ගත්තේ. පොඩි කණ්ඩායමක් හිටියෙ. මොකද අපිට ඕනේ වුණා පෙම්වතුන්ගේ දවසට මේක දකින්න අහන්න සලස්වන්න. දැන් ලැබෙන ප්‍රතිචාර කොහොමද? මට ගොඩක් සතුටුයි. මේ වගේ මැදිහත් වීමක් සමාජයට කරන්න ලැබුණු එක. රූප රචනයට කලින් මේ සින්දුව ගොඩක් අය තේරුම් අරන් තිබ්බේ වෙනස් විදියට. ගොඩක් අය බැණලා තිබ්බා පෙම්වතුන් දෙන්නෙක්ගේ අසහනකාරී තත්ත්වයක් වගේ. මිනිසුන්ට එකින් එක තේරුම් කරලා දෙන්න බැහැනේ. මම හිතන්නේ මේ රූප රචනාව එක්ක තේරුම් ගියා අපි කතා කරන්නේ වෙන දෙයක් කියන එක. පෙම්වතුන්ට ලැබෙන ඉඩ සහ සමාජය තුළ තියෙන පිළිගැනීම කොයි වගේද කියන එක. ඔවුන්ගේ ආදරය කොයි විදියටද දකින්නේ සමාජය. දෙන්නෙක් එක තැනකදී හමුවුණු ගමන්ම සෙක්ස් කියන මිම්මෙන් මනින සමාජයක් අපිට තියෙන්නේ. ඇත්තටම ආදරය කරන දෙදෙනෙක් ගාව සෙක්ස්වලට එහා ගිය දයාව, කරුණාව, සෙනෙහස, එකිනෙකා ගැන තේරුම් ගැනීම සහ සොයා බැලීම වගේ ගොඩක් දේවල් තියෙනවා. සමාජය ඔය කියන කොටස් දකින්නේ නැහැ. ඒ දේ මිනිස්සු දකින්නේ ආගමික ස්ථානයක එහෙම නැත්නම් දාන පින්කම්වල විතරයි. එතැනින් එහාටත් මේ දේවල් තියෙනවා කියන එක පිළිගන්න කැමැති නැහැ. ඉතින් ඒ නිසා ඒ මැදිහත් වීම ඉතා සියුම් ලෙස කරන්න මම උත්සාහ කළා. මේ තුළින්. රූප රචනාවෙන් පස්සේ ගොඩක් අය තේරුම් ගත්තා සමාජය තුළ එහෙම දෙයක් තියෙනවා කියන එක. දැන් ඒ වයස් පහුකරලා මැදිවියට ඇවිත් ඉන්න අයට පවා මේ සින්දුවෙන් පස්සේ ආයෙම ඒ අතීතය ගැන හිතන්න පෙලඹීමක් වෙලා තිබුණා. අපේ රටේ බහුතරයක් ඉන්නේ මධ්‍යම පාන්තික ජනතාව. බස් එකේ, කෝච්චියේ ගිහින් තමයි ගොඩක් අය ආදරය කරන්න පටන් ගන්නේ. ඒ නිසා බොහෝ අයගේ ජීවිතවල මේ කොටස මේ විදියට ගෙවිලා ගිහින් තියෙනවා. අපි කියන්න උත්සාහ කරපු දේ සමාජගත වෙලා කියන එක ප්‍රතිචාරවලින් දැනෙනවා. සමනලී කියන්නේ සමාජය එක්ක නොබියව අදහස් ප්‍රකාශ කරන කෙනෙක්, කලාකරුවෙක් විදියට ඒක හානියක් වෙලා නැද්ද? මම හිතන්නේ කලාකරුවාගේ සමාජ මැදිහත් වීම විය යුත්තේ එතැනින් කියලා. කලාකරුවා කියන්නේ සමාජය ඉදිරියේ හඬා වැටෙන්න ඕනේ කෙනෙක් නෙවෙයි. ඊට වඩා ගොඩක් වැඩ තියෙනවා කරන්න. අපි කලාකරුවන් කියා, කියා ගන්නවා නම් ඒ මැදිහත් වීම දිය යුතුයි. ඒ මැදිහත් වීම දේශපාලනිකයි සමාජයේ ප්‍රගමනයට, යල් පැන ගිය අදහස්වලට නව අර්ථකථනයක් දෙන්න, අලුතින් කියවන්න, කලාකරුවෙක්ට හැකියාවක් තියෙන්න ඕනේ. සමාජය තුළ ඉන්නවා පීඩාවට පත්වුණු සුළුතර කොටස්, ඒ කොටස් වෙනුවෙන් කතා කරන්න, මැදිහත් වෙන්න, ඒ වෙනුවෙන් බහුතරයට බලපෑම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් ලෙස සමලිංගික සමරිසි ප්‍රජාව, ලිංගික ශ්‍රමිකයන්, සුළුතර ජනවාර්ගික කොටස් වැනි මේ හැමෝම වෙනුවෙන් මැදිහත් වීමක් සිදු කරන පුද්ගලයෙක් තමා මම විශ්වාස කරන විදියට කලාකරුවා. සමාජයට ඉතාම ආදරණීයව ආමන්ත්‍රණය කරන්න පුළුවන් අවකාශයක් ලැබිලා තියෙනවා. මිනිස්සු තුළ යම් පිළිගැනීමක් තියෙනවා. ඒ පිළිගැනීම මම හිතන්නේ වඩා යහපත් දෙයකට යොදවන්න ඕනේ. මේ දවස්වල මොනවගේ නිර්මාණවලද යෙදිලා ඉන්නේ... චිත්‍රපට කිහිපයක් කරන්න ලෑස්ති වෙලා හිටියත් මේ කොරෝනා නිසා පොඩි පසුබෑමක් වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය පැත්තෙන් නම් නිර්මාණ තුනක වැඩ කෙරීගෙන යනවා. ‘ස්නැප්’ කියන ටෙලි නාට්‍යය මේ වෙද්දී විකාශය වනවා. සුපුන් රත්නායකගේ ‘තුන් පනේ’ කියන නාට්‍ය සහ තව අලුත් නාට්‍යයක් කරනවා. ඉන්ද්‍රචාපා ආදරණීය සැමියා එක්ක සින්දුවක් කරන්න අදහසක් නැද්ද? චාපා සහ මම ශානර දෙකක නිසා මම හිතන්නේ නැහැ ගායනය ගැළපෙයි කියලා. අනිත් අතට මම හිතන්නේ නැහැ ජීවිතය බෙදා ගත්තා කියලා හැමදේම අපි දෙන්නම එකට කළයුතුයි කියලා. අපි දෙන්නටම ස්වාධීන වුණු ගමන් දෙකක් තියෙනවා. බලමු ඉතින්. ඒ මොහොත අපි කොහොම හරි හදනවා කියන තැන අපි දෙන්නම නැහැ. එහෙම නිර්මාණයක් කාලයත් එක්ක ලැබුණොත් අපි නොකර ඉන්න එකකුත් නැහැ. එහි ඉන්ද්‍රචාපා පළමු වරට රඟපානවත් එක්ක... ඔව්, එයා රඟපාන්න කැමැතිම නැහැ. බැහැම කියලා කිව්වේ. ඒත් කොහොම හරි අසෝක අයියා නිසා ඒ නිර්මාණයට චාපා දායක වුණා. මටත් වඩා ප්‍රතිචාර එයාට ලැබුණා. මම විශ්වාස කරනවා එයාට රඟපාන්න පුළුවන් කියාලා. කොහොමද සංගීත වැඩවලට ලැබෙන සහයෝගය... හැම තිස්සෙම මට බණිනවා ගායනය කරනවා නම් හරියට කරන්න, වොයිස් ට්‍රේනින් කරන්න. තව සින්දු අහන්න ඒවායින් පෝෂණය වෙන්න. ඇක්ටින් ගැන මට තියෙන පැෂන් එක සංගීතය වෙනුවෙනුත් හදාගන්න කියලා නිතරම මට කියනවා. මොකද ඇයි ඔයා රඟපාන්නේ කියලා කෙනෙක් ඇහුවොත් මට කියන්න උත්තරයක් තියෙනවා. නමුත් ඇයි සින්දු කියන්නේ කියලා ඇහුවොත් මට කියන්න උත්තරයක් නැහැ. මම ඉතින් කියන්නේ ආස හින්දා කියලා. එතකොට එයා කියන්නේ ආස හින්දා ඕනේ තරම් මිනිස්සු සින්දු කියනවා, එහෙම බෑ, වෘත්තීයමය මට්ටමින් කරනවා නම් උත්තරයක් හොයාගන්න කියන එක මට හැම තිස්සෙම කියනවා. මාලනී ෆොන්සේකා නිළි රැජින, ඔබේ නැන්දා ඒ වාසනාව දකින්නේ කොහොමද? වාසනාව කියන එක මම විශ්වාස කරන්නේ නැහැ. මහන්සි වී වැඩ කරන්න ඕනේ අරමුණුවලට යන්න නම් කියන එක තමා මගේ දැක්ම. මගේ නැන්දා මාලනී ෆොන්සේකා වීම මම දකින්නේ භාග්‍යයක් විදියට. ඒ භාග්‍යය තුළින්ම විතරක්ම බැබළෙන්න බලාපොරොත්තු නොවී මම මාව හොයාගන්න ඕනේ. එහෙම මාව හොයා ගත්තට පස්සේ කලාකරුවෙක් විදියට කරන වැඩ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ දේවල්වලට මම අවංක වෙන්න ඕනේ. ‘ඒ දේවල් එක්ක හැදෙන මම’ තමා ලොකු නැන්දට දෙන්න පුළුවන් ලොකුම උපහාරය කියලා. රසිකත්වයට කියන්නේ මොකක්ද කියන්න තියෙන්නේ මට ආදරය කරන අය සහ වෛර කරන අය බොහෝ ඉන්නවා. හැබැයි මට ආදරය කරන අයට විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ඒ අය හඳුනාගෙන ඉන්නේ මම කවුද සහ මොකක් ද කරන්නේ කියන එක. මට වෛර කරන අයට කියන්න තියෙන්නේ ඒ වෛරය ඇතුළේම ආයේ හිතන්න ඉඩක් විතරයි මම ඉතුරු කරලා තියෙන්නේ. මොකද ආයෙම හොඳට ඇස් ඇරලා බැලුවොත් තේරෙයි අපි ඒ අය වෙනුවෙන්ම තමයි මේ හඬක් නගන්නේ කියලා. පෞද්ගලිකව එක්රැස් කර ගත්ත දෙයක් නැහැ. අපිට ජනතාවගෙන් ලැබෙන ආදරය ගෞරවය ප්‍රසාදය ආයෙම ජනතාව වෙනුවෙන්ම යොදවන්න ඕනේ කියන මතය තුළ ඉන්න කෙනෙක් මම. එතකොට මේ රටේ ඉන්න මට වෛර කරන අය දන්නේ නැහැ ඒ අයගේ අයිතීන් වෙනුවෙන්ම තමයි අපි කතා කරමින් ඉන්නේ කියලා. කවදා හරි දවසක තේරුම් ගනී. නොතේරුණත් මට ප්‍රශ්නයක් නැහැ. ජනප්‍රියත්වය උදෙසා මට මිනිසුන්ව රවට්ටන්න බැහැ. අනුෂා රණසිංහ
 

More News..