brand logo

මට විඳින්න යමක් නැහැ කියල දැනුණොත් මම ඒකෙන් අයින් වෙයි

25 January 2020

කාලෙකට පස්සෙ රසිකයාට දැනෙන සිනමා පටයක ප්‍රධාන භුමිකාවක් වන්න ඔබට අවස්ථාව උදාවෙලා නේද? ඇත්තටම මගේ සිනමා රංගනය පැත්තෙන් මට කනගාටුදායක තත්ත්වයක් තිබුණා. ඒකට හේතුව සිකුරු හතේ චිත්‍රපටයෙන් පස්සෙ මට සිනමා රංගනයට ලොකු ඉඩක් නොලැබීම ගැන. ඒ අතරතුර සිනමාවේ සමහර චරිත කළා තමයි. ඒ චරිතවල මට කරන්න තරම් දෙයක් තිබුණෙ නැති තරම්. නමුත් කාලයකට පස්සෙ සෝමරත්න දිසානායක වැනි ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ට මාව මතක් වෙලා මාව මේ චිත්‍රපටයට සම්බන්ධ කරගැනීම ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මන්ද හොඳ අධ්‍යක්ෂවරු අපෙන් කිසියම් වැඩක් ගන්නව කියන එක අපිට ලොකු සතුටක් හා අභිමානයක්. සුනාමි හි ශ්‍රියානි හිමාලිට දැනුණෙ කොහොමද? මේක මම, මට හරියට දැනිලා කරන චරිතයක්. කොහොමත් මම චරිතයක් කරද්දි මගෙන් දිය හැකි උපරිමය දෙනවා. එතැනදි අපිට ගොඩක් පහසුයි අපිට මොනව හරි අත්දැකීමක් තියෙන චරිතයක් කරන්න ලැබුණම මමත් දියණියකගේ මවක්. ශ්‍රියාණිගේ චරිතය තුළිනුත් මම නිරූපණය කරන්නෙ දියණියක් සිටින මවකගේ චරිතයක්. ඒ නිසා මේ චරිතය ආයාසයකින් තොරව ඉදිරිපත් කරන්න මට හැකිවුණා. මගේ දරුවා හදලා වඩලා මට වෙන කෙනෙකුට දෙන්න වුණා නම් කියන කාරණය මවක් විදිහට මට සිහිපත් වෙද්දි ශ්‍රියාණිට තමන්ගේ දරුවා වෙන කෙනෙකුට දෙන්න සිද්ධවෙද්දි ඇයට දැනෙන හැඟීම පෙන්වන්න දෑසේ මතුවෙන කඳුළු ගන්න මගේ ඇස්වලට ග්ලිසරින් දාන්න ඕන වුණේ නැහැ. ශ්‍රියානිගේ චරිතය පමණක් නෙවෙයි සුනාමි වෙත සම්බන්ධ වීමම ඔබට සැනසුම් සහගත සතුටක් ලෙසයි හැඟෙන්නෙ? ඇත්තටම චිත්‍රපටයේ රඟපාද්දි අබමල් රේණුවක තරම්වත් අපිට කියන්න අඩුපාඩුවක් තිබුණෙ නැහැ. නිෂ්පාදනය පැත්තෙන් විය යුතු යුතුකම් හරියටම ඉටුවුණා. අපට තිබුණෙ පූර්ණ ලෙස චරිතයට අවධානය යොමු කරන්න විතරයි. එහෙම වුණහම රංගන ශිල්පීන් විදිහට අපිට නිර්මාණයකට දියහැකි උපරිමය බොහොම සතුටින් ලබාදෙන්න පුළුවන් වෙනව. ඒක තමයි මේ වෘත්තිය තුළ තිබිය යුතු වෘත්තීය ප්‍රමිතිය. මේ පිළිබඳ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නිශ්පාදිකාව ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාටම ස්තුතිවන්ත විය යුතුයි. මේ හැම චරිතයක්ම අභිබවන අතර දෙවෙනි ඉනිම ඔබේ රංගන දිවියේ ප්‍රබල නවාතැනක් ද? අපි මේ නාට්‍ය මෙච්චර දීර්ඝව කරන්න හිතුවෙ නැහැ. පොඩි කාලයකට තමයි සැලසුම් කරලා තිබුණෙ. නමුත් ප්‍රේ ක්ෂකයන් වැඩි වැඩියෙන් මේ නාට්‍ය වැලඳ ගැනීමත් එක්ක ටෙළි නාට්‍ය දීර්ඝ කරන්න සිදුවුණා. දැන් පවතින සාකච්ඡා අනුව තීරණය වෙලා තියෙන්නෙ මේක කොටස් දාහකින් අවසන් කරන්නයි. උදේනිගේ චරිතය දිගින් දිගටම මැදිවියේ මව හිමිවීම හා තරුණ චරිත අහිමිවීම යන ප්‍රශ්න දෙකම ඔබව මැදිකරල නේද? මේ චරිතයෙන් පසුව ගොඩක් ලොකු දරුවො ඉන්න මවගෙ චරිතවලට මට කතා කළා. මම ඒ චරිත බාරගත්තෙ නැහැ. එවැනි නාට්‍ය දහයක් පහළොවක් විතර ප්‍රතික්ෂේප කරල තියෙනව. ඔබ පවසන අන්දමේ වඩා තරුණ චරිත නොලැබීයාම වැනි දෙයක් වෙලා තියෙනව. කාලයත් එක්ක ඒක අමතක වෙලා යයි චාන්දනී අක්කත් ගොඩක් තරුණ වයසෙදි වියපත් මවගෙ චරිත කරලා තියෙනව. චරිතාංග නිළියක් කියන්නෙ ඒක තමයි. අනික මම ඇති වෙන්න පෙම්වතියගෙ චරිතය කරලා තියෙනව. උදේනිගෙ චරිතය මටත් වෙනසක්. ඒ නිසා මම මේ චරිතයට ආස වුණා. මේක කරගෙනයද්දි ප්‍රතිචාර හොඳ නිසා තව තවත් මම මේ චරිතයට ආස වුණා. දෙවෙනි ඉනිමෙන් පසුවත් හිමාලි මෙගා නාට්‍ය බාරගන්නවද? හොඳ නිර්මාණයක් ආවොත් බාරගන්නව. වැඩ කරගෙන යද්දි ඒකෙ මට කරන්න දෙයක් නැහැ. මට විඳින්න යමක් නැහැ කියල දැනුණොත් මම ඒකෙන් අයින් වෙයි. චරිතාංග නිළියක් ලෙස ඔබට තැන්පත් වෙන්න තව කල් තියෙනවද? චරිතාංග නිළියක් කියල මම එහෙම වෙයිද දන්නෙ නැහැ. ඉස්සරහට චරිතාංග නිළිය කියන තැන නෙවෙයි. වයස මුහුකුරා යෑමත් එක්ක අපිට පොඩි ළමයි වගේ දඟලන්න බැරි කාලයක් එනවනෙ. ඒ කාලයෙදි සමහර විට නිහඬ වෙන්න පුළුවන්. ඒක තමතමන්ගේ කැමත්ත. නමුත් දැනට මම එහෙම පැත්තකට වෙලා ඉන්න ඕන කියලා දැනිල නැහැ. දැන් මම අවශ්‍ය තැනදි අවශ්‍ය විදිහට ඉන්නව. සුනාමි වලින් පස්සෙත් සිනමාවේ ඵලදායි රංගනයකට ඇරයුම් ලැබුණද? ඔව් ගොවි තාත්තා චිත්‍රපටයෙ මම වැඩ කළා. ගොවි තාත්තා සංගීතඥයෙකු වන දර්ශන රුවන් දිසානායකගේ නිර්මාණයක්. ඒකෙ කිරිමැණිකා කියන ගැමි මවකගේ චරිතයයි මම නිරූපණය කළේ. තරුණ වියේ සිට වියපත් වීම දක්වා විහිදී යන චරිතයක්. මේකත් මම බොහෝ කැමැත්තනේ කළ චරිතයක්. සිනමාවේ ඉටුනොවුණ බලාපොරොත්තු මොනවද? මම හරි කැමතියි රඟපාල නැති අධ්‍යක්ෂවරුන්ගෙ නිර්මාණවල වැඩ කරන්න. මම වැඩ කරල නැති වැඩ කරන්න කැමති ගොඩක් අධ්‍යක්ෂවරු ඉන්නව. විවිධ අධ්‍යෂවරු එක්ක වැඩ කිරීම නිසා තමයි අපිට ඥානය පුළුල් කරගන්න පුළුවන් හිමාලි ඔබව ජීවත් කරන්නෙ කලාවද? මම නිවේදිකාවක් හඬ කැවීම් ශිල්පිනියක් හා රංගනය ශිල්පිනිය යන කාර්යයන් වෙනුවෙන් තමයි මුළු කාලයම වෙන් කරල තියෙන්නෙ. මම ජීවත් වෙන්නෙත් මාව ජීවත් කරවන්නෙත් කලාව තමයි. මේ තෝරාගැනීම ගැන තෘප්තිමත්ද? හොලිවුඩ් බොලිවුඩිවල නළු නිළියන් වගේ මේකෙන් අපි පෝසත් වෙලා නැහැ. මාළිගා හදල නැහැ. නමුත් මේකෙන් ලැබිලා තියෙන දේවල් ගොඩක් තියෙනව. ඒ ධනයම නෙවෙයි. මිනිසුස්නගෙන් ලැබෙන ආදරය පිළිගැනීම. හොද නිර්මාණයකින් පසුව දැනෙන ආත්ම තෘප්තිය. මේ දේවල් වෙන කිසි වෘත්තියකින් අපිට හම්බ කරන්න බැහැ. සුරංජි පතිරණ ඡායාරූප - උපුල් නිශාන්ත
 

More News..