brand logo

මට මාව පොරක්  -  මිහිඳු  ආරියරත්න 

03 August 2019

රොක් සංගීතය කිව්වහම අපි කාටත් මතක් වෙන චරිතයක් තමයි මිහිඳු ආරියරත්න කියන්නෙ. කවුද ඇත්තටම මේ මිහිඳු. ඒ ගැන වගේම තවත් හුඟක් දේ කතා කරන්න මිහිඳු අපිත් එක්ක එකතු වුණා. මිහිඳුගෙ මේ දවස්වල තොරතුරු මොනවද කිව්වොත්? මේ දවස්වල අලුත් ගීත කිහිපයක්ම නිර්මාණය කරගෙන යනවා. රොක් විතරක් නෙමෙයි වර්ග කිහිපයකම වෙනස් වෙනස් ගීත. ඇත්තටම මිහිඳු කියන කෙනාව ඔබ දකින්නෙ කවුරු විදියටද? සරලවම කිව්වොත් මට මිහිඳු කියන්නෙ පොරක්. ඒ ඇරුනහම මිහිඳු කියන්නෙ සාමාන්‍ය සරල මනුස්සයෙක්. සරලව කාල ඇඳල ඉන්න, පොළවෙ පය ගහල ඉන්න කෙනෙක්. සංගීතයෙන් ඈත් වෙලා ඔබ ජීවිතේ ලබාගත් දේවල් ගැන කිව්වොත්? ඔව්. මියුසික් ගැන නොකියා මං ගැන කියනව නම්, මං උසස් පෙළ හැදෑරුවෙ කොළඹ රාජකීය විද්‍යාලයේ ගණිත අංශයෙන්. උපාධිය හැදෑරුවෙත් ගණිත අංශයෙන්. ඊට පස්සෙ මං MAS හෝල්ඩින්ග්ස් ආයතනයේ රැකියාවක් කළා. ඒවත් එක්ක මියුසිකුත් කරගෙන ගියා. ඊට පස්සෙ එම්.බී. ඒ. එක ඉවර කළා. වෙනත් විශේෂ පැත්තක් ගැන කියනව නම් මං ක්‍රිකට්වලින් ඉස්සරහට ආව. ඒක මියුසික්වලට එද්දි එහෙමම නතර වුණා. ඇත්තම කිව්වොත් 2012 දී ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් සංවිධානය කරපු Donovan Andree Division 2 කියන තරගයේ player of the series ත් වුණා. මර්කන්ටයිල් ටූනමන්ට් එකෙත් පුළුවන් උපරිම සෙල්ලම් කළා. ඊට පස්සෙ වායෝ එක්ක එකතු වෙද්දි ඉතින් ඒ සේරම අතෑරල තමයි සම්බන්ධ වුණේ. හැබැයි දැනුත් ඉතින් ක්‍රිකට් ගහනව නිකන් ආසාවට. මිහිඳු කිව්වහම අද හැමෝම වගේ දන්නව. මොනවද මිහිඳු ප්‍රසිද්ධ වෙන්න පාවිච්චි කරපු රහස්? ඇත්තටම කිව්වොත් ආපස්සට හැරිල බැලුවහම තමයි මටත් ඒ දේ පේන්නෙ. ඒ කාලෙ මට එහෙම ප්‍රසිද්ධ වෙන්න කියල අදහසක්වත් තිබුණෙ නෑ. මං කළේ මට හිතුන මං ආස වුණ දේ. ඒත් දැන් හිතෙනව ඉතින් අද මෙතැන ඉන්න හේතුව මෙන්න මේක වෙන්න ඇතියි කියලා. මිනිස්සු ගොඩක් මාව දැනගත්තෙ චකිතය කියන ගීතය හරහා. ඒ 2008, 2009 කාලෙදි. ඒ ගීතයෙ තනුව, වචන, හැමදෙයක්ම වගේ මගේ නිර්මාණ. වාදනය පැත්තෙන් ඉන්නෙ අපේ සංගීත කණ්ඩායම. කවුරුවත් ඒ වෙනකල් ලංකාව ඇතුළෙ කරපු නැති වෙනසක් කරන්න අපේ කණ්ඩායම සමත් වීම තමයි මං දකින විදියට මගේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. මෙච්චර කාලෙකට ලැබිල තියෙන නරකම ප්‍රතිචාරය ගැන මතක් කළොත්? නරක ප්‍රතිචාර නම් ලැබිල තියෙනවා. එකක් කිව්වොත්, චකිතයෙන් පස්සෙ එළියට ආවෙ ඊට හාත්පසින්ම වෙනස් ගීතයක්. ඒ මිසිස් පෙරේරා ගීතය. ඊට පස්සෙ ආවෙ යන තැනක ගීතය. ඉතින් ඉස්සෙල්ලම රොක් ගීතයට ලැබුණු ප්‍රතිචාර එක්ක මිනිස්සු බලන් හිටියෙ චකිතය වගේම රොක් ගීත. ඉතින් මගෙන් චකිතයට පස්සෙ ආව මේ වෙනස නිසා ඇත්තටම මං බැණුම් අහල තියෙනවා. සමහරු කිව්ව අපරාදෙ චකිතය කරල නිකන් ඉන්න තිබුණ කියලත්. මොකද මිනිස්සු ඒ වෙනසට කැමැති වුණේ නෑ. හැබැයි කාලයත් එක්ක ඒ ගීත වලටත් ප්‍රේක්ෂකයො බිහි වුණා. ඒක තමයි ඉතින් ලැබුණ නරකම ප්‍රතිචාරය විදියට මතක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක මම ධනාත්මකව ගත්තා. ගීත අද වෙද්දි බොහෝ ප්‍රමාණයක් තියෙනවා. මේ ගීතවලින් මිහිඳු කැමැතිම ගීතය ගැන කිව්වොත්? ඇත්තටම හැම ගීතයටම කැමතියි.  විශේෂ කියල කිව්වොත් එහෙම ගීත දෙකක් තියෙනවා. එකක් තමයි 'දේශය නමින්' කියන ගීතය. ඒකට හේතුව ඒක මම ආමි එක වෙනුවෙන් කළේ. මගේ අම්ම දැන් අවුරුදු 25ක් තිස්සෙ යුද හමුදාවෙ සේවය කරනවා. ඉතින් ඒ කැප වීම මං පොඩි කාලෙ ඉඳලම දන්නවා. ඒක මගේ හිතට වැදුණු දෙයක්. ඉතින් මේ ගීතය මං 2007 හැදුව එකක්. 2017 තමයි ඒ ගීතය එළියට ආවේ. අනාගත බලාපොරොත්තුව වුණේ ගායකයෙක් වීමද?  ඇත්තටම පොඩි කාලෙ අපි අපිවවත් හොයාගෙන නැති කාලයක්. ඉස්සෙල්ලම ඕනෙ වුණා ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඊට පස්සෙ ඉංජිනේරුවෙක්. ආයෙත් ලොකු කම්පැනි එකක වැඩ කරන්න. ලොකුවට ක්‍රිකට් ගහන්නත් ආසාවක් තිබුණා. හැබැයි මේ ඔක්කොම එක්ක හිතාගෙනත් හිටියා මියුසික් පැත්තකින් තියාගෙන කරගෙන යනවා කියලත්. ජීවිතේ අමතක නොවන සිදුවීමක් මතක් කළොත්? 2008 දි අපි බෑන්ඩ් එකක් විදියට ඉස්සෙල්ලම තරගෙකට ඉදිරිපත් වුණා. ලොකු සෙනගක් ඉස්සරහ එදා අපි ඒ තරගෙන් දිනුවා. ඒක ඇත්තටම මට ලොකු දෙයක්. එදා ඒ වෙලාවෙදි ඒ ලබාගත්ත දේ ඇත්තටම අද මේ ඉන්න තැනට එන්න පාර කැපුව කිව්වොත් හරි. එදා ඒකෙන් දිනපු සල්ලිවලින් තමයි අපි චකිතය සින්දුවයි ඒකෙ වීඩියෝ එකයි කළේ. තව ඉතින් අමතක නොවෙන දේවල් ගත්තොත් ප්‍රසිද්ධියෙ කකුල පැටලිල වැටුණ අවස්ථා නම් තියෙනව. ඒ හොරණ තිබුණ ප්‍රසංගයකදි. කොහොමහරි අන්තිමේ ඒක නිසා මට මාස තුනක් යනකල් යන්න වුණේ කිහිලිකරුවෙන්. ඉදිරියට තියෙන වැඩ කටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්? මියුසික් තවදුරටත් හදාරන්න මං විදේශගත වෙන්න මේ දවස්වල සැලසුම් කරගෙන යනවා. ලංකාවෙ සංගීතය පිටරටට ගෙනියන එකත් ඒ සැලසුමේම කොටසක්. ඒ ඇරුණහම මගේ රසිකයින් වෙනුවෙන් අලුත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියෙදි එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ළඟදීම තවත් විශේෂ නිර්මාණයක් එළිදක්වන්නත් බලාගෙනයි ඉන්නෙ. ඒක මනුරංගත් එක්ක සම්බන්ධ වෙලා කෙරුණු දෙයක්. තවදුරටත් මේක ආන්දෝලනාත්මක නිර්මාණයක් කියලත් කියන්නම්. ඉතින් මගේ රසිකයො හැමෝටම මං කියනවා මේ නිර්මාණය බලන්න, යම් කිසි දෙයක්, පණිවුඩයක් මේකෙන් සමාජයට දෙන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ දේවල් එක්ක සම්බන්ධ වෙන්න කියලත් මං මගේ ප්‍රේක්ෂකයො හැමෝටම කියනවා. නෙත්මි යශෝධා
 

More News..