brand logo

''මට ආදරේ තේරෙන්නේ නැහැ'' මේ එකට සුදුසු කාලේ නෙමෙයි - කාවිංග පෙරේරා

22 January 2019

කොහොමද කාවිංග ජීවිතේ? වෙනසක් නැහැ හොඳයි. සුපුරුදු පරිදි රූගත කිරීම්වලට යනවා. වැඩසටහන්වලට සහභාගි වෙනවා. ඕව තමයි ඉතින්. කාවිංග අතීතයට සාපේක්ෂව වර්තමානය දකින්නේ කොහොමද? අතීතයට සාපේක්ෂව වර්තමානය මම දකින්නේ නම් මගේ අතීතයේ මට වෙන්න ඕන දේවල් ඔක්කොම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් වර්තමානයේ ඒක ඇතුළේ මම මාව නිර්මාණය කරගන්නවා සහ මම මාව හදාගන්නවා. ඇත්තටම අතීතයට සාපේක්ෂව වර්තමානය දිහා බලන කල කාවිංග පෙරේරා සාර්ථකයි. කාවිංග දේශපාලන පසුබිමක හැදුන වැඩුණු කෙනෙක් විදියට දේශපාලනයට යොමුවෙන්න අදහසක් තිබුණේ නැද්ද? අපේ අප්පච්චිලා දේශපාලනය කරන කාලේ වගේ නෙවෙයි වර්තමාන දේශපාලනය. ඕකට සරලම උදාහරණයක් කියනවා නම්, බෙහෙත් ගන්න යනකොට හොඳ දොස්තර කෙනෙක් ඕනේ හොඳ නාට්‍යයක් නම් හොඳ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඕනේ. නඩුවක් කතා කරන්න ගියාම හොඳ Loyer කෙනෙක් හොයනවා. නමුත් දේශපාලනයේදී අපි ඕක හොයන්නෑනේ. බොරුවට කෑ ගහන කෙනා තමයි අපි ගේන්නේ. ගෙනල්ලා ඉවර වෙලා අපි බොරුවට කෑවෝ කෑවෝ කියලා කෑ ගහනවා. දේශපාලනය කරන සුදුසු කාලේ මොකක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් මේක නෙමෙයි සුදුසු කාලේ කියල හිතනවා. කාවිංග චරිත තෝරා ගැනීම් කරනවද? නැත්නම් ලැබෙන ඕනම චරිතයක් භාරගන්නවද? මම සාමාන්‍යයෙන් චරිත තෝරාබේරාගෙන තමයි කරන්නේ. මොකද, ඒකට ප්‍රධානම හේතුව තමයි මගේ ගුරුවරුන් දෙදෙනා. එච්.ඒ. පෙරේරා මහත්මයා සහ මහේන්ද්‍ර පෙරේරා මහත්මයා. එතුමන්ලා මට උපෙදස් දුන්නේ චරිතයක් කරද්දි නිතරම එක වගේ චරිත කරන්න එපා, පුළුවන් තරම් වෙනසක් කරන්න බලන්න කියලා. මම ගොඩක් ටෙලිනාට්‍ය රඟපාල නැහැ. මම හරිම සීමිත ටෙලිනාට්‍ය ප්‍රමාණයක් රඟපාලා තියෙන්නේ. මම ප්‍රධාන චරිත කරලා තියෙන්නෙත් හරිම පොඩි ප්‍රමාණයක්. අනිත් ඔක්කොම කරලා තියෙන්නේ අතිරේක චරිත. ඉතින් ඒ හැම එකකම මම වෙනස්කම් කළා. ඒ ගැන අදටත් සතුටුයි ඉතින්. කාවිංග රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය තලයේ සිටින රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් ලෙසත් එවැනිම ගමනක් යන්න බලාපොරොත්තු තියෙනවද? බලාපොරොත්තුවක් තියෙනවා. නිවේදනය පැත්තෙනුත් දිගු ගමනක් යන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද, මම ඉගෙනගන්නේ නිවේදනය සහ රංග කලාව. නමුත්, යම් යම් ස්ථානවල යම් යම් තැන්වල තියෙන කැපිලි කෙටිලි මත ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා. එහෙම වුණා කියලා මම කවදාවත් ඒ දේවල් ගැන දුක් වෙන්නේ නැහැ. මොකද මම කියන්නේ මේ ක්ෂේත්‍රයට එනවා නම් ඕනම කෙනෙක් ඉගෙන ගෙන එන්න. ඒ තුළ තමයි රඳාපැවැත්ම තියෙන්නේ. මොකද, ගොඩක් අය විශ්වාස කරනවා නිවේදකයා කියන්නේ වචන ටිකක් හුවමාරු කරන්න පුළුවන් නම් ඔහු නිවේදකයා සහ කැමරාවක් ඉස්සරහා ඒ දෙබස් කරන ටික වරද්දන්නේ නැතිව කියන්න පුළුවන්නම් ඔහු රංගන ශිල්පියා කියලා. ඒක තමයි ලංකාවේ මිනිස්සු හිතන විදිය. ඒත් ඒක නෙමෙයි සත්‍යය. ඊට වඩා එහා ගිය දෙයක් තියෙනවා. කෙසේ නමුත් දැන් තීරණය වෙන්නේ මුදල මත. ඒ නිසා සමහර වෙලාවට සමහර දේවල් දෝලනය වෙනවා. නිවේදකයෙක් ලෙස මට තියෙනවා, සහ ඒ පෞරුෂත්වයට මම හරිම කැමැතියි. කාවිංග ආදරය දකින්නේ වෙනස්ම රාමුවකින් කිව්වොත්? ඔව්, ආදරය කියන්නේ කාටවත් තේරුම් ගන්න බැරි දෙයක්. ගොඩක් අය තේරුම් ගන්න උත්සාහ කරන දෙයක්. මොකද මම ගිය අවුරුද්දේ විවාහ වුණා. 2019 ජනවාරි 8 වැනිදාට හරියටම වසරක් වුණා. මම විවාහ වෙලා. නමුත් ආදරය කියන දේ මට තාම තේරෙන්නේ නැහැ. මම තාමත් තේරුම් ගන්න උත්සාහ කරනවා. කාවිංගගේ රංගන හැකියාව නිර්මාණ අධ්‍යක්ෂවරු විසින් උපරිමයෙන් යොදාගෙන තියෙනවා කියලා කාවිංග හිතනවද? මම විශ්වාස කරනවා ඒක. මොකද, ඒක මම හරියටම තේරුම් ගන්නේ ශිවා සර්ගේ අකුරු සිත්තම් ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන අවස්ථාවේදී. ඇත්තටම අපිට ඕන වුණා mega නාට්‍ය කලාව ඇතුළේ වෙන චරිතයක් නිර්මාණය කරන්න. ඉතින් අපි ඒ චරිතය නිර්මාණය කළා. ඒ දෙය සාර්ථක කරගන්න මම, ශිවා සර්, වගේම සද්ධා මංගල සූරිය බණ්ඩාර සර්, චාමර අයියා එකතු වෙලා හැදුවා රයන් කියලා චරිතයක්. ඒ චරිතය ගැන කිව්වොත් අධි මානසිකත්වයක ඉන්න යාළුවො කවුරුත් නැති කොට්ට මෙට්ට සමග කතාබහ කරන චරිතයක්. ඒ චරිතය සාර්ථක වුණා. ඉතින් මම විශ්වාස කරනවා. ඉදිරියේදී සම්බන්ධ වීමට නියමිත කලා නිර්මාණයන් මොනවද? මේ දවස්වල පුංචි දරුවොත් එක්ක ‘‘මඩොල් කැලේ වීරයෝ’’ කියලා කතාවක් කරනවා. සඳ හැංගිලා ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරනවා. ඒ වගේම ජනක චමින්ද අත්තනායක මහත්මයාගේ අපේ ආදරේ ටෙලිනාට්‍යයේ වැඩකටයුතු මේ දවස්වල කෙරෙනවා සහ තුන්මංසල කියලා තවත් අලුත් වැඩක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ දේවල් තමයි ඉතින්. මේධාවි ජයතිලක
 

More News..