brand logo

මට අවශ්‍ය කණ්ඩායමට දායකත්වය දීම මිස නායකත්වය නොවේ - ලසිත් මාලිංග

20 February 2020

තමන්ට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නැති බවත්, කණ්ඩායමට යම් සේවයක් අවශ්‍ය නම් තමා ඒ දේ ලබා දීමට බැඳී සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක ලසිත් මාලිංග පවසයි. ඔහු මේ බව කියා සිටියේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඊයේ (19 වැනිදා) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. මේ අතර එක්දින තරගාවලිය වෙනුවෙන් පැවැති පුහුණු තරගයේදී ශතකයක් රැස්කළ උපුල් තරංගව මෙම තරගාවලියේ එක්දින සංචිතයට ඇතුළත් නොකිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය විසින්, එම තරග අංශයේ නායක දිමුත් කරුණාරත්නගෙන් විමසීමේදී, එය තේරීම් කමිටු සභාපතිවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් යැයි පැවසීය. නමුත් කණ්ඩායම තෝරාගැනීම සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට තේරීම් කමිටු සභාපති අසන්තා ද මෙල් මහතා එහි ප්‍රධාන ආසනයන්හි රැඳී සිටියේ නැත. මෙහිදී මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් දැක්වූ දිමුත් කරුණාරත්න, ‘පාකිස්තාන සංචාරයට එක් නොවූ ක්‍රීඩකයන් බහුතරයක් මේ කණ්ඩායමට ඇතුළත්. ධනුෂ්ක ගුණතිලකගේ පිට කොන්දේ ආබාධය නිසා ඔහුට මේ තරගාවලිය අහිමි වෙනවා. ඒ නිසා අවිශ්ක ප්‍රනාන්දු සහ මම එක්දින තරගාවලියේ ආරම්භක පිතිකරුවන් වශයෙන් ක්‍රීඩා කරයි’ යනුවෙන් පවසා සිටියේය. තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි කොදෙව් පිලේ නායක කිරන් පොලාඩ් ‘හෙට්මයර් සහ ලෙවිස් කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන යම් කනස්සල්ලයක් තියෙනවා. නමුත් ඉන්දීය සංචාරයෙන් පස්සේ අපේ දක්ෂතා දියුණු කරගෙන තියෙනවා. ලංකාවේ උෂ්ණත්වය තරමක් අභියෝගයක්. නමුත් අපි දැන් මෙහෙ ඇවිත් දින කිහිපයක් ගෙවිලා තියෙනවා. අපි ඒකට සූදානම් වෙලා ඉන්නේ’යි යනුවෙන් කීවේය. මේ දිනවල ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පවත්නා නවීකරණ තත්ත්වය හේතුවෙන් මෙම සංචාරයේදී කොළඹට දිවා තරගයක් ලබා දීමට හැකියාවක් නොවූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙහිදී කියා සිටියේය. ගයාශාන් විතානආරච්චි https://youtu.be/ojHoGGbHVeQ?t=982
 

More News..