brand logo

මජන් සෝදා ගත් කල බාසුන්නැහැ වෙදකමට සුදුසු වේ

23 December 2020

පඬි නැට්ටියක අහල තිබුණ නලින් ද සිල්වා ධම්මික වෙද මහතාගෙ පැණිය ගැන පමණක් කතා කරන්නෙ අනෙක් පැණි ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි කියල. මා පැණි ගැන පමණක් නොව පැණියන් ගැනත් උනන්දුවක් දක්වනවා. අපේ චින්තනයෙ දහසක් ප්‍රතිකාර තියෙනවා. එකක් පමණක් තියෙන්නෙ ඒකදේවවාද චින්තනවල. ධම්මික වෙද මහතාගෙ පැණියට ප්‍රසිද්ධියක් ලැබිල තියෙන නිසා ඒ ගැන අවධානය යොමු වෙනවා. පඬියන්ට පඬිනියන්ට හා අනෙක් අයට අමතක වෙන කරුණක් තමයි අද වැඩියෙන් ම විවේචනය කෙරෙන්නෙත් ධම්මික වෙද මහතාගෙ පැණිය කියන එක. ඊනියා විද්‍යාත්මක බලකාය ම වගේ එයට විරුද්ධව පැය විසිහතර පුරා වැඩ කරනවා. බටහිර වෙද මහත්වරු කිහිප දෙනකු හැරුණා ම අනෙක් බටහිර වෙද මහත්තුරු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් උස්සා ගෙන යුද වැදිල. පැණිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය ලැබුණෙ කාලි අම්මගෙන් අවශ්‍ය දැනුම ලැබුණ හින්ද නො වෙයි. එය ප්‍රතිකාරයක් හැටියට බටහිර වෙදමහත්වරුන් කිහිප දෙනකු කළ සම්පරීක්‍ෂණයකින් තහවුරු වී ඇති බව ප්‍රකාශ වුණු නිසා. මට එය එතරම් වැදගත් වුණේ නැහැ. මට වැදගත් වුණෙ කාලි අම්මගේ කතාව. ඒ තමයි අපේ සංස්කෘතියෙ දැනුම සකසා ගන්න එක ක්‍රමයක්. මට ඒ ගැන යම් අත් දැකීමක් තියෙනවා. මට පළමු වර හෘදයාබාධයක් වැළඳුණු අවස්ථාවේ එයට ප්‍රතිකාර කළේ විපස්සක දෙවියන් නමින් හැඳින්වුණු අයෙක්. ඔහුට අනුව අවුරුදු දහස් ගණනකට පෙර ඔහු මහාවිලච්චිය ප්‍රදේශයේ වෙද මහතකුව ඉඳ තියෙනවා. අපේ සංස්කෘතියෙ දැනුම ලබා ගන්න ක්‍රම වෙනුවෙන් මා පෙනී සිටිනවා. පඬියන් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් වෙනුවෙන් පෙනී ඉන්නවා. නැති විද්‍යාත්මක ක්‍රමයක් වෙනුවෙනුයි ඔවුන් පෙනී සිටින්නෙ. ඊනියා විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ තැත් වරද ක්‍රමය (trial and error) මිසක් අනෙකක් නොවෙයි. ඒක ඕන ම අයකු අනුගමනය කරන ක්‍රමයක්. අපේ ආච්චි අම්මලා ඒ ක්‍රමය හොඳ හැටි දැන හිටියා. ඒත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් දැනුම සකස් කර ගන්න එක හැමෝට ම කරන්න පුළුවන් දෙයක් නො වෙයි. එක් පඬි නැට්ටකු අහල තිබුණ එසේ කරන්න පුළුවන් ඊනියා නූගතුන්ට පමණක් නේ ද කියා. ඔය කියන උගත්කම පොතේ පතේ සහතික පත් උගත්කම. මේ පඬි නැට්ටන් කියන්න හදන්නෙ මනුෂ්‍ය නොවන ප්‍රාණීන් ඊනියා නූගත් අයට වැහෙනව කියන එකෙන් ඒ අයට මානසික ප්‍රශ්නයක් තියෙනව කියල. රාමනුජන් නූගතකු හැටියට වර්ග කරන්න පුළුවන් ද කියල මා දන්නෙ නැහැ. ඔහුට ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් නම් තිබුණ. මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ හැකි උපාධිධාරීන් පශ්චාත් උපාධිධාරීන් ගැන මා දන්නවා. ඒ අය උගත් ද කියල නම් දන්නෙ නැහැ. ඒ කොහොම වුණත් මනුෂ්‍ය නොවන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ හැකි අය ගැන බයිබලයේ මෙන් ම කුරාණයේ ද සඳහන් වෙනවා. මෝසස්, බැප්ටිස්ට් ජෝන් පමණක් නොව මහමත්තුමා ද එවැන්නන්. ඒ අය ඓතිහාසික පුද්ගලයන්. ධම්මික වෙද මහතාගේ පැණිය දැන් කමිටු දෙකක් හරහා ගිහින් තියෙනවා. ඉන් පළමු කමිටුව තීරණය කරල පැණියෙ වසක් විසක් නැති බව. ආයුර්වේද සූත්‍ර කමිටුව නමින් හැඳින්වෙන දෙවැනි කමිටුවත් එය අනුමත කළ බවක් කියැ‍‍‍ෙවනවා. එසේ වුවහොත් පැණිය ඕනෑම අයකුට ගන්න බාධාවක් නැහැ. මෙයින් කියන්නේ ඒ අනුමැතිය නොතිබුණා නම් පැණිය ගැනීමට බැරිව තිබුණාය කියන්න නො වෙයි. පැණිය ආහාර පරිපූරකයක්. ඕනෑම අයකුට පුළුවන් ආහාරයක් මිල දී ගන්න. අනෙක් පැත්තට ඕනෑම අයකුට පුළුවන් තවත් කෙනකුට ආහාරයක් ලබා දෙන්න. ඒ සඳහා ලියාපදිංචි වෙද මහතකු වීම අවශ්‍ය නැහැ. කොහොමත් ආහාර විකිණීමට, ගැනීමට නොමිලේ බෙදා හැරීමට කිසිවකුට තහනමක් නැහැ. අද ආතර් වී දියෙස් (කොස් මාමා) මහතා ජීවත් ව සිටියා නම් කවුරු හරි කියන්න බැරි නැහැ කොස් පැළ බෙදා දීමට පළමුව බලපත්‍රයක් ගන්න කියා. අප සහතික බලපත්‍ර ආදිය ඔස්සේ අනවශ්‍ය තැනකට ඇවිත්. මා හිතන්නෙ පත් කරන ලද මහාචාර්ය කමිටුවට දැන් කරන්න තියෙන්නෙ බටහිර වෙදකම අනුව පැණිය නියම කරන්න පුළුවන් ද කියල තීරණය කරන එක පමණයි. මින් පසු එය කිසිසේත් ම හෙළ වෙදකමේ ප්‍රතිකාරයක් බටහිර පරීක්‍ෂාවකට ලක් කිරීමක් වන්නේ නැහැ. ආයුර්වේදයට, පාරම්පරික වෙදකමට හා හෙළ වෙදකමට මහාචාර්ය කමිටුවේ තීරණය බලපාන්නෙ නැහැ. දැන් ආණ්ඩුවට විශාල කාර්යභාරයක් හිමි වෙනවා. අද බටහිර එන්නත් කිහිපයක ගැන කතා කරනවා. එක් පැත්තකින් මේ එන්නත් තබා ගැනීම පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ශීතකරණ ලබා ගැනීම පහසුවෙන එකක් නැහැ. අනෙක් පැත්තෙන් එන්නත්වල ආසාත්මිකතා ඇති බවට වාර්තා වෙනවා. ඒ අතර බ්‍රිතාන්‍යයේ වයිරසයේ නව විකෘතියක් ඉතා ඉක්මනින් පැතිර යනවා. මෙය වයිරසයක් ද වෙන මොකක්වත් ද කියන ප්‍රශ්නයත් පැන නගිනවා. කෙසේ වෙතත් ධම්මික වෙද මහතාගේ පැණිය ඊනියා වයිරස් දැනුම මත පදනම් වූවක් නො වෙයි. එය වැඩිම වුවහොත්, ප්‍රවාදයක් අවශ්‍ය ම නම් වා පිත් සෙම් සමතුලනය ඇති කිරීම සඳහා වූ ප්‍රතිකාරයක්. එයත් මදි නම් බටහිර සංකල්පයක් ගාව ගැනීම අත්‍යවශ්‍ය ම නම් ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීම සඳහා වූ ඖෂධයක්. මා කලක් හිතා හිටියේ අප අපේ ප්‍රවාද සකස් කර ගත යුතු ය කියා. එහෙත් අපේ ප්‍රවාද අවශ්‍ය නැති බව මට දැන් වැටහෙනවා. අපට අවශ්‍ය හේතු නොව හේතුඵල. ආණ්ඩුව දැන් මේ කාර්යයට අත ගහන්න ඕන. ඇතැමුන් තමන්ට වට්ටෝරුව ලැබුණා කියා වෙනත් පැණි නිපදවීමටත් පෙළඹෙන්න පුළුවන්. එක් කණ්ඩායමක් කුරුණෑගල ප්‍රදේශයේ එවැන්නක් කර තිබෙන බවට ආරංචියක් ලැබුණා. ඒ වගේ ම පැණිය බෙදා හැරීමේ ප්‍රශ්න ද මතුවෙනවා. පසුගිය දා මෙන් පැණිය අවශ්‍ය අය කෑගල්ලට ඒම නුසුදුසුයි. ඒ වැළැක්විය යුතුයි. දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට විශාල වගකීමක් පැවරෙනවා. ජනමාධ්‍ය ගැනත් වචනයක් කියන්න ඕන. ඇතැම් ජඩමාධ්‍යවේදීන් පැණිය හෑල්ලු කිරීමට එයට සමච්චල් කිරීමට කටයුතු කළා. ඊයේ (අඟහරුවාදා) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ රැස්වීමේ දී එක් ජනමාධ්‍යවේදියකු ප්‍රශ්න කළේ යමක් වුණොත් වගකීම භාරගන්නේ ධනපාල බාසුන්නැහැ ද කාලි අම්මා ද ආදී වශයෙන්. ඔහු විද්‍යාත්මක ක්‍රමය හදාරා ඇති අයකු දැයි දන්නේ නැහැ. අද ධනපාල බාසුන්නැහැ හිටියත් නැතත් අපට ඉන් වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ රෝගීන් සුව කිරීම පමණයි. කොහොමටත් හොඳ වෙන කාලෝ රෝගීන් හැර අනෙක් රෝගීන් සුව කිරීමට බටහිර වෙදකමට බැහැ. ජඩමාධ්‍යවේදීන්ට මෙන් නොව ආණ්ඩුවට රෝගීන් සුව කිරීමේ ප්‍රශ්නය තියෙනවා. ජඩමාධ්‍යවේදීන්ට හෙළ වෙදකමට නිග්‍රහ කරමින් පුහුවීරයන් වෙන්න පුළුවන්. ඒ සඳහා බටහිර දැනුම් යටත්විජිතවාදයෙන් අනුබලය හා අනුග්‍රහය ලැබෙනවා. ඒත් ආණ්ඩුවට එහෙම කරන්න බැහැ. රෝගීන් සුව කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කරන්න ඕන. අපේ සංස්කෘතියේ බාසුන්නැහැ කෙනකුට වෙද මහතකු වෙන්න පුළුවන්. ඒ සංස්කෘතියේ නැති පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට ඒ ගැන වැටහීමක් නැහැ. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසු වුණා. මජන් සෝදා ගත් කල බාසුන්නැහැ වෙදකමට සුදුසු වෙනවා. අධ්‍යාපනය මගින් සිංහල සංස්කෘතියෙන් අෑත් කරනු ලැබූ පඬියන් ගැන අපට කරන්න දෙයක් නැහැ. නාථ දේව මණ්ඩලයෙන් ලබා ගත් දැනුම් ගැන මට අවබෝධයක් තියෙනවා. අපේ වෙදකමේ මුල ඇත්තේ මෙලෙස මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලත් දැනුම්. ඒ සමහරක් අද වට්ටෝරු වී ඇති. එය ප්‍රශ්නයක් නො වෙයි. පාරම්පරික වෙද මහතුන් මේ සියල්ල ගැන නැවත සලකා බැලිය යුතු ය කියා මා හිතනවා.
 

More News..