brand logo

මගේ ලැජ්ජාව මගේ ගමන පරක්කු කළා

17 May 2021

වින්ඩි ගුණතිලක කවුරුත් දන්න නමුත් වැඩියෙන් දකින්න නොලැබෙන චරිතයක්. රූකාන්ත-චන්ද්‍රලේඛා පවුලේ අතිශයින්ම නිහඬ චරිතය ලෙස ඇයව හැඳින්වූවද එකී හැඳින්වීම ඇය සම්බන්ධව ඉතාමත් සාධාරණ වනවා. ඉතාමත් අඩුවෙන් ගැයුවත් බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වුණ හඬකට හිමිකාරිය වන වින්ඩි ගුණතිලක ගායිකාවක ලෙස ක්ෂේත්‍රයේ දිගු ගමනකට වුවමනා සියලු සුදුසුකම් සපුරා සිටින ශිල්පිනියක්ද වෙනවා.

සනුකත් එක්ක බොදු බැති ගී කීපයක් ගායනා කළා

වින්ඩි මොනවද මේ දවස්වල කරන්නෙ.... මේ දවස් ගතවුණේ වෙසක් උත්සවය වෙනුවෙන් සනුක වික්‍රමසිංහ විසින් නිර්මාණය කළ බොදු බැති ගීත වැඩසටහනක් වෙනුවෙනුයි. මේක කලාතුරකින් ලැබෙන විශේෂ අවස්ථාවක්. සනුකගේ සීයා විසින් 70 දශකයේ නිර්මාණය කළ භක්ති ගීත 10 ක් තමයි මෙලෙසින් සනුක විසින් මෙම වැඩසටහනට එක්කරගෙන තියෙන්නේ. මේ සඳහා සනුකගේ පියා වන ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත් වික්‍රමසිංහ මහතාගෙත් නිර්මාණ දායකත්වය හිමිවුණා. ක්‍රිස්තියානු භක්තික කෙනෙක් විදිහට මෙලෙස බොදු බැති ගී ගයන්න ලැබීමත් මට විශේෂයක් වුණා. මේ වැඩසටහනේ කටයුතුවලින් අද තමයි පොඩි විවේකයක් ලැබුණේ. ඒ වුණත් ආයෙමත් මගේ අලුත්ම ගීතවල වැඩෙ කටයුතු වලට යොමුවෙනවා.

තාම මම කියලා තියෙන්නේ එක සින්දුවයි

මෙම භක්ති ගීත වැඩසටහනට වින්ඩි දායක වෙන්නෙ ගායනයෙන් පමණද... එහි ගායනය පැත්තට තමයි මගේ වැඩිම දායකත්වය ලබා දීලා තියෙන්නේ. ඒ හැරුණම මම හරිම ආස විෂයක් තමයි විලාසිතා නිර්මාණය. මෙම වැඩසටහන රූපමාධ්‍යයට කෙරුණ වැඩසටහනක් නිසා මෙහි ඇඳුම් නිර්මාණය පැත්තටත් මගේ අදහස් එකතු කරන්න මට අවස්ථාව හිමිවුණා. ඒ අනුව අපේ ලංකාවේ සංස්කෘතියට ගැළපෙන ලෙස සකස් කළ ඇඳුම්වලට පුංචි ඉන්දියානු ආභාෂයක්ද මුසු කරමින් අපි ඒ ඇඳුම් නිර්මාණය කළා. වින්ඩි ඉදිරියේ රසිකයන්ට තිළිණ කරන ගීතය ගැන කියනවා නම්? ඊළඟට මම එළිදක්වන්න බලාගෙන ඉන්නෙ මගේ තාත්ති හදපු ගීතයක්. වින්ඩි අධ්‍යාපනය ලැබුවේ සහ අපේක්ෂා කළේ කුමන වෘත්තියකට යොමුවෙන්නද... මම හැදෑරුවේ බටහිර සම්භාව්‍ය ගායනය. ඒ හැරුණම ජනප්‍රිය සංගීතයත් මම හැදෑරුවා. මම ලංකාවට එන්නේ ඒ හැදෑරීම් අවසන් කරලා මගේ උපාධියත් ලබාගෙනයි. මගේ අරමුණ වෘත්තීය ගායන ශිල්පිනියක් වීමයි. ලංකාවේ ගායිකාවක් විදිහට ස්ථාපිත වෙන එක පහසු කටයුත්තක්ද... ඇත්තටම ලේසි නැහැ. මට මගේ ගමනට දෙමව්පියන්ගෙන් සහාය හැම කාලෙම ලැබුණා. නමුත් ලේසි නැහැ. ඕනම දෙයකට මහන්සි වෙන්න ඕන, කැපවෙන්න ඕන. ඇත්තනේම මම හරිම ලජ්ජාශීලී කෙනෙක්.ගායිකාවක් විදිහට පටන් ගන්න මට ටික්ක අමාරු වුණා. ගායනයෙහි යෙදෙන්න, වේදිකාවකට නගින්න, බොහෝ දෙනා සමග කතා කරන්න මගේ ලැජ්ජාශීලී බව නිසා මට අපහසු වුණා. හැම වෙලාවෙම අම්මිල මාව දිරිමත් කළ නිසයි මම මේ තරමට හරි මම ඒ ගති මගහරවාගෙන ඉදිරියට ආවේ. මේ වනවිට වින්ඩිගෙ ගීත කොපමණ සංඛාවක් එළි දක්වලා තියෙනවද? මගේම කියලා එකම ගීතයයි එළිදක්වලා තියෙන්නේ. මම මගේ ගීත ටිකක් නිර්මාණය කරගෙන යනවා. ඒ ගීත ළඟදීම එළිදක්වන්නත් බලාපොරොත්තු වෙනවා.

අම්මයි-තාත්තයි-සනුකයි තමා වැඩියෙන්ම උදව් කරන්නේ

ගායිකාවක් විදිහට ඔබ මේ යන ගමනය වැඩිම උදව් ලැබෙන්නෙ කාගෙන්ද? තාත්ති, අම්මි, අක්කා සහ සනුක. ඒ අයගෙන් තමයි වැඩිම උදව් ලැබෙන්නේ. ගායිකාවක් ලෙස වෘත්තීය දිවියක් ඇරඹුවත් ඔබ තවම එළිමහන් ප්‍රසංගවල ගයනවා අප දැක නැහැ... ඔව්, ඉදිරියේ අනිවාර්යෙන්ම එළිමහන් ප්‍රසංග සඳහාත් මගේ දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ගායිකාවක් වුණාම එළිමහන්, ගෘහස්ථ ආදී ඕනෑම ප්‍රසංගයක ගායනා කරන්න වෙනවනේ. එළිමහන් ප්‍රසංගයක ගායනා කරනවා කියන්නේ වෙනමම අත්දෑකීමක්. ඉතින් මම කැමතියි ඒ අත්දැකීම ලබාගන්නත්. වින්ඩි ගුණතිලක කියන්නෙ මොන වගේ චරිතයක්ද? මං හිතන්නේ මං ගොඩක් වෙලාවට මගේ පාඩුවේ පොතක්පොෙතක් කියවගෙන ඉන්න කැමති නිහඬ චරිතයක් කියලයි. ජනප්‍රිය යුවතියක් වුණත් ඔබ සමාජ මාධ්‍ය වෙත ඔබේ තොරතුරු මුදාහරින්නෙ අඩුවෙන්. ඇයි ඒ? මම එහෙම මගේ තොරතුරු ෆොටෝස් සෝෂල් මීඩියාවලට එක් කරන්න ආස නැත්තෙමත් නැහැ. හැබැයි මං මොනවා හරි දෙයක් සමාජ මාධ්‍යයට යොමු කරන්නේ මට හිතුණොත් විතරයි. හැම වෙලාවෙම ඒ දේවල් කරන්නේ නැහැ. කටකතා හැදෙයි කියල බයටද එහෙම කරන්නෙ? කටකතා නම් කොහොමටත් හැදෙනවා. ඒවා ගැන හිත හිතා ඉන්න ගියොත් වැඩක් කරන්න බැහැ. මම මගේ ජීවිතයේ කරන දේවල් කටකතා හැදෙයි කියලා පාලනය කරන්නෙ නැහැ. මම මම ඉන්න විදිහට ඉන්නවා. දෙමව්පියන් හා සොහොයරිය ජනප්‍රිය චරිත වීම නිසා වින්ඩිට ක්ෂේත්‍රයේ වැඩ කරද්දි විශේෂතවයක් ලැබෙනවා නේද? එහෙම විශේෂ සැලකිල්ලක් ලැබෙනව කියලා මට දැනිලා නැහැ, ඒ මම දකින විදිහ. ඒක වෙන කෙනෙක් ඊට වෙනස් විදිහකට දකින්න පුළුවන්. ළඟදි විවාහ වීමේ බලාපොරොත්තුවක් තියෙනවද? මගේ වයස 23 යි. දැනට එහෙම ළඟදීම විවාහ වීමේ අදහසක් නැහැ. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..