brand logo

මගේ රඟපෑම දැකලා මගේම ඇස්වලට කඳුළු ආවා

29 December 2019

තාත්වික රංගනය ඔස්සේ තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරමින් දක්ෂ චරිතාංග නළුවෙකු ලෙස සිය ස්ථාවරය සකසා ගෙන සිටින බිමල් ජයකොඩි, මේ දිනවල දකින්න ලැබෙන්නේ ටිකක් වෙනස් ස්වරූපයකින්... ඒ වගේම රිදී තිරයේ නිර්මාණ කිහිපයකින්ම මේ දිනවල ප්‍රේක්ෂක ඔබට සමීප වෙන බිමල් වෙනස ගැන පිනිපලසට කිව්වේ මෙහෙම... මේ දවස්වල මොකද වෙන්නේ? ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන 6 වැනි සිනමා නිර්මාණය වන ‘මන්දාරා’ හි රූගත කිරීම්වල නිරතව ඉන්නේ, ඒ නිසාම තමා මේ ස්වරූපයෙන් ඉන්නෙත්. කොහොමද මේ අලුත් ස්වරූපයට ලැබෙන ප්‍රතිචාර? අලුත් අත්දැකීමක්. හැමෝම අහනවා ඇයි මේ කියල. කුතුහලයක් තියෙනවා හැමෝටම. ඉතින් ලේසි නැහැ මේ ස්වරූපයෙන් එළියේ ඉන්නවා කියන එක. හම්බෙන ප්‍රේක්ෂකයෝ විතරක් නෙවෙයි පවුලේ අය නෑදෑ හිතවතුන් පවා අහන්නේ මොකද මේ කියලා. හැබැයි මට මේක වෙනස් අත්දැකීමක්. මම හැමදාම වගේ කළේ මගේ සැබෑ වයසට වඩා මුහුකුරා ගිය චරිත. මේ ස්වරූපයෙන් දැක්ක ගමන් මොකක්ද අහන ප්‍රශ්නය? අහන පළවැනි ප්‍රශ්නය තමා මොකද මේ වයසට ගිහින් කියලා. වයසට යනවා කියන එක නරක දෙයක් නෙවෙයි. ඒකේ අර්ථය මුහුකුරා යනවා කියන එක. දවසින් දවස අත්දැකීම් එකතු කර ගන්නවා කියන එක. මට දැනෙන්නේ නම් මේ ජීවිතේ හොඳම කාලය ගෙවනවා වගේ. සමහර අය මේ ස්වරූපයට කැමතියි, සමහරු අකමැතියි. කොහොම වුණත් ජීවිතේ මේ කඩඉම පසුකරන්න ඕනේ, මමත් මේ ජීවිතේ 40 වැනි කඩඉම පසුකරමින් ඉන්නේ. මම නම් අවංකවම සතුටුයි මෙතෙක් කරපු සහ දැන් කරන දේවල් එක්ක. එකිනෙකට වෙනස් චරිත ලැබෙන්නේ, ඒ එවැනි චරිත තෝරා ගැනීමද නැත්නම් එවැනි චරිත ලැබීමේ වාසනාවද? ඔය කියන කාරණා දෙකම වලංගුයි. හැම වෙලාවෙම මාව යෝජනා කරන කොටම මම හිතන්නේ අධ්‍යක්ෂවරයා ඒ චරිතයේ ප්‍රමාණය නෙවෙයි බලන්නේ, ඒ චරිතයට මම සාධාරණයක් ඉෂ්ට කරයිද කියන එක ගැන. ඒ විශ්වාසය මතම තමා මාව තෝරාගන්නේ. ඒක නළුවෙක්ට ලැබෙන්නේ කලාතුරකින්. මොකද ලංකාවේ ගොඩක් නළුවන් වර්ගීකරණය වෙලා තියෙන්නේ. මෙයාට නම් පුළුවන් මේ වගේ චරිත විතරයි කියන එක. නමුත් මාව තෝරා ගන්නකොට මුළු සිනමා නිර්මාණයේම දර්ශන දෙක තුනක් තිබ්බත් මේක බිමල්ට දුන්නොත් ඒ කොටසට සාධාරණයක් කරයි කියන විශ්වාසය අධ්‍යක්ෂවරයාට තියෙනවා. ඒ විශ්වාසයෙන් භාර දෙන චරිතයට මම උපරිම සාධාරණයක් කරනවා. ඒ සම්බන්ධයෙන් මම තෘප්ප්තිමත්. එතැනින් එහාට ඒ චරිතය සාර්ථකද කියන එක ගෞරවනීය ප්‍රේක්ෂකයාට භාරයි. චරිතයේ දිග පළල නොබැලුවට සෑම නිර්මාණයකම කරන චරිතය ප්‍රබල කරගැනීමේ රහස මොකක්ද? ඇත්තටම එකේ රහස මාව විවේචනය කරන මිත්‍රයන් කිහිපදෙනෙක් ඉන්න එක, මගේ බිරිඳත් ඇතුළුව. ඒ නිසා මම චරිතයක් කරන්න කලින් සහ කළාට පස්සේ ඒ අය ඒ ඒ චරිත විග්‍රහ සහ විවේචනය කිරීම. ඒ තුළින් මම අධ්‍යක්ෂවරයාගෙන් සහ පිටපතෙන් ලැබෙන දේට උපරිමයක් කරනවා. අනිත් පැත්තෙන් මම හිතන්නේ මම හරි උපක්‍රමශීලියි. මම කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ මම පොරක් කියලා. මට ඕනේ මම කරන දේට උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න. හොඳම උදාහරණය යූ ටර්න් බැලුවොත් තේරෙයි ඒ තුළ තියෙන මගේ භූමිකාව මම හොයාගන්නවා. මට තියෙන්නේ සුළු චරිතයක්, හැබැයි මම දන්නවා මම ඒ කොටස හරියට කළොත් අනෙක් චරිතවලටත් සාධාරණයක් ඉෂ්ට වෙනවා. ඒ නිසා රහස තමා මට ලැබෙන දේට සහ මම කරන දේට සාධාරණයක් ඉෂ්ට කරන එක. අපි අහපු කතාවක් තියෙනවනේ "ජෝන් එෆ් කෙනඩි වරක් නාසා ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක් යද්දී බිම පිරිසිදු කරන සේවකයෙක් දැකලා ඔහුගෙන් ඔබ මොකද ඔය කරන්නේ කියාලා ඇහුවම ඔහු දෙන උත්තරය තමා‘‘ මිනිසෙක් හඳට යවන ව්‍යාපෘතියේ මමත් එක කොටසක් කරනවා’’ කියන එක මගේ භූමිකාවත් ඕක තමා. මම මගේ කොටස හරියට කරනවා. මේ දිනවල යූ ටර්න්, ඉදිරියේදී සුනාමි කොහොමද ප්‍රතිචාර? අතිශය තෘප්තිමත්. විශේෂයෙන්ම සුනාමි කියන්නෙත් මම අර කලින් කිව්වා වගේ නිර්මාණයක්. මම කරන්නේ කපිල කරන්න ඕනේ රාජකාරිය. සුනාමි මම දකින්නේ මට ලැබුණු හොඳ අවස්ථාවක්. විශේෂයෙන්ම තමන් රඟපෑ නිර්මාණයක් බලලා තමන්ගේම ඇසට කඳුළක් එනවා කියන්නේ විරල අවස්ථාවක්. මට ඒ නිර්මාණය බලද්දී මගේ ලෝකය අමතක වුණා. මේ මොහොතේ දර්ශන් ධර්මරාජ්වත් මතක් කරන්න ඕනේ. ලංකාවේ නළුවෝ වර්ග කළොත් ඉතා ඉහළින් තබන්න පුළුවන් නළුවෙක් තමා දර්ශන්. ඔහුගේ චරිතය ඉතාම මැනවින් සංයමයකින් කළ රංගනයක්. සුනාමි බලන අය ආදරයෙන් සහ ගෞරවයෙන් කතා කරන්නේ. ප්‍රේක්ෂකයන්ටත් නුදුරේම දකින්න ලැබෙයි, යූ ටර්න් ගැනත් කියන්න ඕනේ. සියලුම ප්‍රේක්ෂකයන් ඉතා ඉක්මනින්ම නැරඹිය යුතු චිත්‍රපටයක්. ඉතා හොඳින් රසවිඳිය හැකි සංවේදී යථාර්ථවාදී නිර්මාණයක්. 2020 දී දැක ගන්නට ලැබෙන සිනමා නිර්මාණ මොනවද? අශෝක අතාවුදහෙට්ටි මහතාගේ අධ්‍යක්ෂණයට එක් වූ දෙවැනි නිර්මාණය කන්දක් සේමා චිත්‍රපටය. මමත් ඉතාම ආසාවෙන් ඉන්නවා බලන්න. තවම අපි දැකලත් තියෙන්නේ පූර්ව ප්‍රචාරක පටය විතරයි. අශෝක අතාවුදහෙට්ටි මහත්මා කියන්නේ මම පෞද්ගලිකව ආදරය සහ ගෞරව කරන කෙනෙක්, ඒ වගේම මම අද ඉන්න තැන ගැන මතක් කරද්දී සිහිපත් කරන මුල් හතර පස්දෙනා අතර කෙනෙක්. ඒකෙත් මම කරන්නේ සුළු චරිතයක්. ඊට අමතරව මගේ මිත්‍ර ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් චිත්‍රපටය, තවත් වෙනස්ම වූ චරිතයක් කළා තේජා ඉද්දමල්ගොඩගේ පළමු නිර්මාණය වන ආශාවරී චිත්‍රපටයේ, වෛද්‍ය කපිල සූරියආරච්චිගේ 'සිනේමා' සහ සෙවණැලි තිරගත වෙන්න තියෙනවා. අලුතින් සූදානම් වෙනවා රුක්මල් නිරෝෂ්ගේ කුළුඳුල් සිනමා නිර්මාණයේ තවම ඒකට නමක් තියලා නැහැ. තව නිර්මාණ දෙකක වැඩ භාර අරන් තියෙනවා. ජැක්සන් ඇන්තනී මහතා එක්කත් නිර්මාණයක යෙදෙන්න නියමිතයි. කොහොමත් 2020 ජූලි විතර වෙනකම් සිනමා වැඩ තමා. වේදිකාව පැත්තට නැද්ද ඉඩක්? ලබන ජූලි විතර වේදිකා නාට්‍යකට සම්බන්ධ වෙන්න නියමිතයි. මොකද මම වේදිකාවට එන්න බොහොම කැමැත්තෙන් ඉන්නේ. එතකොට ටෙලි නිර්මාණ? පැණි කුරුල්ලෝ නාට්‍යයෙන් පස්සේ තවම මම නිර්මාණයක් භාර ගත්තේ නැහැ. ඉතාම කල්පනාවෙන් තමා මම ටෙලි නිර්මාණවලට දායක වෙන්නේ. ප්‍රේක්ෂකයාට වගකියන්න පුළුවන් සමාජයට වගකීමක් තියෙන ටෙලි නිර්මාණ විතරයි කරන්නේ. ඔබේ හඬ දායකත්වය ගැනත් කතා කළොත්, ඔබ හොඳ හඬ නළුවෙක්, මේ දේවල් කොහොමද තෝරාබේරා ගන්නේ? එතැනදී නම් මම තෝරාබේරා ගන්නවට වඩා තෝරා බේරාගෙන තමා මට ඒ ඒ අවස්ථාවන් ලැබෙන්නේ. විශේෂයෙන්ම ඒ හඬ නම් මම හැමවෙලාවෙම විශ්වාස කරන දේ තමයි ඒ විශේෂිත වූ හැකියාව මට මගේ අම්මගෙන් තාත්තාගෙන් ලැබුණු දායාදයක් කියන එක. ඒ නිසා එහි අයිතිය මගේ දෙමාපියන්ට. මම හරි ආසාවෙන් කරන දෙයක් තමා හඬ දායකත්වය ලබා දීම, සමහර වෙලාවට මගේ හඬ ඇහිලා හැරිලා බලන සහ ඔයාව දැක්කේ නැහැ හඬ ඇහුණේ ඒකයි මේ බැලුවේ කියලා මට ලැබෙන ප්‍රතිචාර එක්ක මම හරිම තෘප්තිමත්. මේ හඬ බිමල්ගේ කියලා බොහෝ දෙනා හඳුනනවා. එහෙම මතක තියෙනවා කියන්නේ විශේෂයි, ඒ වගේම මට ලැබුණු තෑග්ගක්. ඒක පරිස්සම් කරගන්න ඕනෙත් මම ම තමයි. දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද? අවුරුදු 20කට වැඩියි. මොකද හිතෙන්නේ ආපු ගමන් මග ගැන? අතිශය තෘප්තිමත්. මම මේ ගමන හරි අමාරුවෙන් පටන් ගත්තේ. මිනිස්සු අතරේ කතාබහට ලක්වෙන චරිතයක් වෙන්න ඕනේ කියලා හීනයක් තිබුණ කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ මේ ස්වභාවධර්මය මාව මෙතැනට ගෙනත් තියෙනවා, මගේ ගමනේ මුල මගේ අම්මා, තාත්තා මොකද ඒ අය මාව හම්බෙන්න ඉන්න කොට කවි සිංදු කියන්න ඇති, හොඳ දේවල් කතා කරන්න ඇති, මට පාට පෙන්නල ඇති. ඒ සියලු දේවල්වල ප්‍රතිඵලයක් තමා අද මේ මා තුළින් දකින්නේ සහ සමාජයට ලැබෙන්නේ. මම මධ්‍යම පාන්තික පවුලක ඉපදිලා සාමාන්‍ය පාසලක ඉගෙන ගත්ත කෙනෙක්. නමුත් අද ක්ෂේත්‍රය ඇතුළේ විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙක් වෙලා ඉන්නවා. එහි ගෞරවය මගේ දෙමාපියන්ට හිමිවෙන්න ඕනේ. ඒ නිසා ආ ගමන් මග ගැන තෘප්තිමත් වගේම තවදුරටත් එය රැකගෙන ඉදිරියටත් මම කරන දේ හරියට කරාවි. අලුත් පරම්පරාවට මොකක්ද කියන්නේ? තමන්ට තමන් විශ්වාසයෙන් වැඩ කරන්න. තමන්ට තමන් අවංක වෙන්න, මුලින්ම මේ පොළොව හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ලෝකය හඳුනා ගන්න. ඊට පස්සේ තමන්ට දැනෙනවා තමන් කොයි තරම් වගකීම් සහගත කෙනෙක්ද කියන එක. ඉතාම කෙටියෙන් කියනවා නම් තමන් මේ අවතීර්ණ වෙලා ඉන්නේ වගකීම් සහගත වෘත්තියකට. ඒ නිසා ඒ වගකීම හරියට ඉටුකරන තමන්ට තමන් වගකියන පුද්ගලයෙක් වෙන්න. ඔබේ ඉදිරි ඉලක්ක සහ අරමුණ? මනුෂ්‍යයෙක් විදිහට සහ කලාකරුවෙක් විදිහට මගේ ජීවිතේ එකම එක අරමුණ සමාජයේ අවංකව, කොන්ද කෙළින් තියන්, මගේ වෘත්තිය නිවැරැදිව සහ මිනිස්සුන්ට වගකියන ආකාරයෙන් කිරීම. මේ රටට, සමාජයට සහ මා වටා සිටින අයට බොහොම අවංකව, තමන්ගෙ හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන මිනිහෙක් වෙන්නයි මට ඕනේ. අනුෂා රණසිංහ
 

More News..