brand logo

මගේ මහත්තයාව 50 සැරයකට වඩා පීසීආර් කළා

21 June 2021

මහේෂි මධුශංකා අපේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න සුන්දර සුරූපී රංගන ශිල්පිනියක්. ආදරණීය සැමියා සහ දරුවන් දෙදෙනා සමග විවාහ ජීවිතය ඉතාමත් සුන්දරව සතුටින් ගත කරන මහේෂි සිය දරුවන් වෙනුවෙන් වැඩි කාලය වෙන් කළ සොඳුරු රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය රංගනයෙන් දායක වූ සමන් කුමාර ලියනගේ මහතා අධ්‍යක්ෂණය කරන ‘ඇය’ නාට්‍යය තුළින්ම නැවතත් දැක ගන්නට පුළුවන් වීම ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ගේ සතුටට ලක්වූ කාරණාවක්.

මේ විදියට ‘ඇය’ තුළින් අපිට සමීප වුණු මේ ආදරණිය රංගන ශිල්පිනිය මහේෂි එක්ක පිනිපලසේ අපි කතා කළා.

මම රංගනයෙන් දායක වූ ‘ඇය’ නාට්‍යය පමණයි මේ දිනවල විකාශය වෙන්නේ. කොහොමත් මම එක නිර්මාණයක් අවසන් කරලා තමා තව නිර්මාණයක් භාර ගන්නේ. පහුගිය කාලේ මම ටිකක් කලා නිර්මාණවලින් ඈත් වෙලා හිටියා දුව ලැබුණු නිසා. දැන් ඉදිරියේදී අලුත් නිර්මාණවලට දායක වෙන්න සූදානමින් ඉන්නවා. සිනමාව පැත්තෙන් කතා කරොත් රොෂාන් රණවන සමග රංගනයෙන් දායක වුණු උදාර පල්ලියගුරු නිෂ්පාදනය කළ ‘රුහිරේ’ චිත්‍රපටය එන්න තියෙනවා. ඊට අමතරව සිනමාවෙන් නම් එන්න නිර්මාණ නැහැ. මේ වෙද්දී නම් මට දරුවෝ දෙන්නෙක් ඉන්න නිසා වැඩි කාලයක් ඒ අය එක්ක ඉන්න පුළුවන් විදියට තමා කලා නිර්මාණ භාර ගන්නේ. සිනමාපටයකට මාසයක් එකහමාරක් එක දිගට දින වෙන් කරන්න වෙන එක මේ කාලයේ මට ටිකක් අපහසුයි. ඒ නිසා සිනමාවට වඩා ටෙලි නිර්මාණවලින් ඉදිරියේදීත් දැක ගන්න ලැබෙයි. මම ක්ෂේත්‍රයට ආවේ සිනමා නිර්මාණයකින් වුණත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ පුංචි තිරයෙන් ඒ නිසා මම ඉතාම ආසාවෙන් සහ කැමැත්තෙන් තමා ටෙලි නිර්මාණවලට දායක වෙන්නේ.

මේ දක්වා ආ ගමන් මග ගැන මම තෘප්තිමත්

මට අවුරුදු 18න් මම මේ කලා ක්ෂේත්‍රයට එන්නේ. එතැන් පටන් මේ දක්වා ආ ගමන් මග ගැන මම තෘප්තිමත්. රංගන ශිල්පිනියක් විදියට කැමතියි විවිධත්වයෙන් යුත් චරිත කරන්න. මේ වෙද්දී මම කැමති චරිත බොහොමයක් මට ලැබුණා. මේ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් එක්ක වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. නමුත් සමහර නිර්මාණ බලද්දී ඇතැම් චරිත දැක්කම ඒ චරිතය මට ලැබුණා නම් ඊට වඩා දෙයක් කරන්න තිබ්බා කියලා හිතෙන අවස්ථා තියෙනවා. මේ දේ ඕනෙම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට හිතෙන්න පුළුවන් දෙයක්. මොකද ඒ දේ සාපේක්ෂයි.

මගේ මහත්තයා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවරයෙක්

මම පවුල් ජීවිතේට මුල්තැන දෙන කෙනෙක්. ඒ නිසා මම කැමතියි අවුරුද්දකට එක නිර්මාණයකට හෝ දෙකකට දායක වෙන්න. ඒ හැරෙන්න කලා ජීවිතේට සමුදෙන්න නම් කිසිම අදහසක් නැහැ. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වෙනුවෙන් මගේ අම්මාගෙන් සහ මගේ ස්වාමිපුරුෂයාගෙන් මට ලැබෙන සහයෝගය ගැන. මොකද දරුවෝ දෙන්නාව මට තියලා යන්න පුළුවන් විශ්වාසවන්තම දෙන්නා ඒ දෙන්නා. ඒ එක්කම මගේ මහත්තයා ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවරයෙක් විදියට රැකියාව කරන නිසා නිවසේ රැඳෙන කාලය සීමිතයි. ඒ නිසා අපි එක්ක සහායට කෙනෙක් ඉන්නවා. ඒ හැමෝගෙන්ම ලැබෙන සහයෝගය නිසා තමා නැවත නිර්මාණ භාරගන්න සහ නිරවුල් මනසින් ඒ නිර්මාණයට දායක වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය වෙලා තියෙන්නේ. මම ඒ දේ දකින්නේ මගේ වාසනාව විදියට.

මගේ මහත්තයා අපිට වඩා පරිස්සම්

මේ කාලයේ මේ ලෝකය පුරාම පැතිර යන වසංගත තත්ත්වය එක්ක අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ. බොහෝ දෙනා හිතනවා ගුවන් සේවයේ රැකියාවක් කරන එක මේ මොහොතේ අවදානම්ද කියලා. හැබැයි මම මේ දේ කියන්න ඕනේ මගේ මහත්තයා ගුවන් නියමුවෙක් වීම නිසාම අපිට වඩා පරිස්සම් කියන එක මම මේ මොහොතේ අත්දකිනවා. මේ වෙද්දී එයා 50 සැරයක් විතර PCR කරලා තියෙනවා. මොකද ඒ අයට ගුවන් ගමනකින් පසු අනිවාර්යෙන්ම PCR පරීක්ෂණයක් කරනවා. ඒ වගේම ආයේ ගුවන් ගමනක් යන්නේ ස්වයං නිරෝධායනයට ලක් වීමෙන් පසුව. මම ශ්‍රීලංකන් ගුවන් සේවයට මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් ඔවුන්ගේ සේවකයන් ගැන ඉතා සැලකිලිමත්. ඒ දේ මේ කාලයේ අත්දකින සහ අත්විඳින කෙනෙක් මම. මොකද අපි දර්ශන තලයට යනකම් පරිස්සම් වුණත් එතැනින් එහාට රඟපෑමේදී මාස්ක් පළඳින්න වෙන්නේ නැහැ. ඒ අපි ඉන්න මේ කලා ක්ෂේත්‍රයේ තියෙන කටයුතු එක්ක ප්‍රයෝගිකව කරන්න බැරි දෙයක් නිසා. ඒ වගේ දේවල් එක්ක බලද්දී මගේ මහත්තයා ඉන්න ක්ෂේත්‍රය මගේ ක්ෂේත්‍රයට වඩා ආරක්ෂිතයි.

ඔක්කොම පැත්තකින් තියලා ජීවත් වීම ගැන හිතන්න

මේ මොහොතේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ අපි හැමෝටම බලාපොරොත්තු තියෙනවා. නමුත් ඒ දේවල් ඔක්කොම පැත්තකින් තියලා ජීවත් වීම ගැන හිතන්න ඕනේ කාලයක් ඇවිත් තියෙන්නේ. ඒ එක්කම අපි හිතන බලාපොරොත්තු ඉටු කරගන්න නම් අපි පරිස්සම් වෙලා ඉන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඒ අරමුණු බලාපොරොත්තු අපි ඉටු කර ගන්න දවසට අපි එක්ක හිටිය සමීපතමයන් ඉන්න ඕනේ. එතකොට තමා අපිට ඒ දේවල් සතුටින් බෙදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම අනාගතයක් දකින්න නම් අද ඔබ පරිස්සම් වෙලා ඉන්න. අනුෂා රණසිංහ
 

More News..