brand logo

මගේ පෙම්වතා කලා ලෝකේ කෙනෙක්

04 January 2020

පහුගිය වසර තුළ ටෙලි හා සිනමා ක්ෂේත්‍රයට පිවිසි තරුණ නිළියන් අතරින් ආලෝකා ධනංජනී ඉදිරියෙන් සිටිනවා. මාවනැල්ලේ ඉපදිලා ගමේ හැදිලා වැඩිලා තරු තරගයක් හරහා කොළඹ ඇවිත් ක්ෂේත්‍රයේ ඉදිරි ගමනකට අවතිර්ණ වෙලා ඉන්න ආලෝකා මේ දිනවල විකාශනය වන ටෙලි නාට්‍ය දෙකකම ප්‍රධාන චරිතවලට හිමිකාරිය වී සිටිනවා. ආලෝකාට උදාවෙලා තියෙන්නෙ කාර්යබහුල සමයක්ද? මේ දවස්වල මම රඟපාන ලංසුපතිනියෝ ස්වාධීන රූපවාහිනියේත්, අඩෝ ටෙලි නාට්‍යය සිරස නාළිකාවෙත් විකාශනය වෙනවා. ඒ දෙකේම රූගත කිරීම්වල ඉන්නවා. අලුත් ටෙලි නාට්‍යයකටත් ඇරයුමක් තියෙනවා. ඒ වැඩත් ළඟදීම පටන් ගන්න නියමිතයි. ලබන වසරේ මුල් භාගයේ තිරගත වීමට නියමිත සනත් ගුණතිලක මහත්මයාගේ ‘ගෑනු’ හා සනත් අබේසේකර මහත්මයගේ ‘ගුත්තිල’ යන චිත්‍රපටවල මම රංගන දායකත්වය ලබාදී තියෙනවා. මේ විදිහට දිගටම වැඩ ගලා එයි කියලා හිතෙනවාද? මම නම් හිතන්නේ අපේ රූපය තියෙනකම් විතරයි මේ හැම දෙයක්ම තියෙන්නෙ කියලා. රූපෙ තියෙනකම් අපිට එක එක චරිත ලැබෙයි. අපේ දක්ෂතාව තියෙනවා නම් ඒක කවදාවත් නැතිවෙන්නෙ නැහැ. හැකියාව තියෙනවා නම් මොන වයසෙදි වුණත් ඕනම චරිතයක් කරන්න පුළුවන්. ආලෝකා පූර්ණකාලීනවම රංගනය සමගද ගත කරන්නේ? රංගනයට තමයි මුළු කාලයම වෙන් කරලා තියෙන්නේ. ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරා සර් යටතේ රංගනය ඉගෙන ගන්නවා. ආලෝකා කැමති විශේෂ චරිත මොනවද? විරූපී කාන්තා චරිතයක් රඟපාන්න කැමතියි. ඊට අමතරව ‘ඕනා’ ටෙලි නාට්‍යයේ දෑස් අන්ධ තරුණියකගේ චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒකටත් මම හරි කැමතියි. ආලෝකා ප්‍රධාන චරිතම බලා ඉන්න නිළියක්ද? සාමාන්‍යයෙන් චරිත තෝරාගැනීමක් කරනවා. ප්‍රධාන චරිතයක් හරි උප ප්‍රධාන චරිතයක් හරි මිස සෙසු චරිතයක් ආවොත් කොහොමත් කරන්න වෙන්නේ නැහැනේ. ආලෝකා හිතන්නේ වෘත්තීය මට්ටමෙන් රංගනයෙ යෙදෙනවා නම් ප්‍රධාන චරිතම ලැබිය යුතුයි කියලාද? නැහැ, එහෙම ප්‍රශ්නයක් නැහැ. රංගනය වෘත්තිය විදිහට කරගෙන යන්න ප්‍රධාන චරිතම ලැබිය යුතුයි කියල නැහැ. ලැබෙන ඕනෑම ආකාරයක ප්‍රධාන හෝ උප ප්‍රධාන චරිත භාරගන්නවාද? හැම චරිතයම භාරගන්නේ නැහැ. මට කරන්න පුළුවන් උපරිමයක් තියෙනවනේ. මම ඒ උපරිමයෙන් කරන්න පුළුවන් චරිත භාර අරගෙන කරනවා. විවේක පාඩුවේ ඉන්න වෙලාවට කරන්න කැමති මොනවද? ෂූටිං නැති දවසට මම කරන්නෙම චිත්‍රපට බලන එක. අනිවාර්යෙන් එන හැම චිත්‍රපටයක්ම අරගෙන බලනවාමයි. ඊට අමතරව පොත් කියවනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලැබුණ පොත් අනිවාර් යෙන්ම කියවනවා. වේදිකා නාට්‍ය බලනවා. ගමේ ඉඳිද්දි රංගනය ගැන හීන දැක්කද? මේ ගමන අහම්බයක්ද? පුංචි කාලේ ඉඳන්ම රංගනයට උණක් තිබුණා. සිරස ටීවී එකෙන් පැවැත්වුණ සිරස ෆිල්ම් සටාර් තරගයට අයැදුම්පතක් දාලා ඒකෙන් තමයි මම ක්ෂේත්‍රයට ආවේ. ඒ අතීතය සුන්දරයිද? දුෂ්කරයිද? අතීතය සුන්දරයි. නමුත් මේකට පය තියපු ගමන් එකපාරටම මට චරිත ලැබුණෙ නැහැ. ගොඩක් කටු කාලා තමයි මේ තත්ත්වෙට ආවේ. ඒ දවස්වල සිරස වැඩසටහනට සහභාගි වෙන්න මම ආවේ මගේ ගම වන මාවනැල්ලේ ඉඳන්. හැමදාම පාන්දර හතරේ කෝච්චියෙන් ඇවිත් පුහුණුවීම් කරලා ආපහු ගෙදර යද්දි රෑ 12 විතර වෙනවා. පැයක් විතර නිදාගෙන පහුවදාට ආයෙත් සුදානම් වෙලා පුහුණුවීම්වලට එනවා. සමහර දවස්වල කොළඹ එන්න සල්ලි නැහැ, බඩගින්නේ හිටිය දවස් පවා අන්නතවත් තිබුණා. දැන් ඒ සියලු දුෂ්කරතා මැකී ගිහින්ද? මම දැනට කොළඹ ඇනෙක්ස් එකක් කුලියට අරගෙනයි නැවතිලා ඉන්නේ. මම ආපු ගමන අනුව බලද්දි අද ඉන්න තැන ගැන හිතද්දි ස්ථාවරයි කියලා හිතනවා. ක්ෂේත්‍රය හා එහි ඉන්න අය ගැන මොකද හිතන්නෙ? මම නම් හිතන්නේ අපිට මේකෙ ගමනක් යන්න ඕන නම් අපි හරියට ඉන්න ඕනෑ. කවුරු හරි අනිසි බලපෑමක් කරනවා නම් කරන්නේ අපේ මොනව හරි කැමැත්තක් තියෙනවා නම්නේ. දැන් ඔබ ගමෙන් දුරස්වෙලාද? නැහැ, ගම කොහොමත් අමතක කරන්නෙ නැහැ. ගමෙන් ආවට පස්සෙ වෙනස් වුණා නම් වෙනස් වුණේ මම අඳින පලඳින විදිහ විතරයි. කතාබහ කරන විදිහ නම් එහෙමමයි. සමහරක් වෙලාවට යාළුවෝ මට විහිළු කරනවත් එක්ක තවම හැදිලා නැද්ද කියලා. මම සාමාන්‍යයෙන් කතාකරන වචන නුවර පැත්තට අදාළයි. මම ඒක හදාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ මගේ ගමේ අය කතාකරන විදිහනේ. කොළඹ දී ආලෝකාට උදව් කරන්න යාළුවෝ හමුවෙලා ඉන්නවාද? මම මුලින්ම කොළඹ ආවේ තාත්තා එක්ක. සිරස ෆිල්ම් ස්ටාර් එකේදි මට යාළුවෝ ගොඩක් හම්බ වුණා. චමෝද් ඩියෝන්, චතූ රාජපක්ෂ, සංජය මුරමුදලි, උදිත් ප්‍රනාන්දු තාරක ගුණසේකර, හංසි දෙව්මි හා අපේ තරගයේ හිටි බොහෝ අය මගේ වටේ ඉඳන් මට උදව් කරනවා. ඊට අමතරව මම නැවතිලා ඉන්න ඇනෙක්ස් එකේ හිමිකාරිය නීතා ප්‍රනාන්දු, ඇය මට ගොඩක් උදව් කරනවා සහ කරුණාවෙන් සලකනවා. ආලෝකාට කලා ලෝකයෙන් හමුවුණ පෙම්වතෙකුත් ඉන්නවා නේද? ඔව්, මට පෙම්වතෙක් ඉන්නවා. එයා කලාවට සම්බන්ධ කෙනෙක්. වැඩි විස්තර පසුව කියන්නම්. දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද? කොහොමත් අනිවාර් යෙන් විවාහය සිද්ධ වෙනවා. කෙනෙක්ට බලාපොරොත්තු දීලා තවත් කෙනෙක් එක්ක විවාහ වෙන්න බැහැනේ. ඔහුගෙන් කලා කටයුතුවලට උදව් ලැබෙනවාද? එයා තමයි මට හැමදේම කියලා දෙන්නේ. මගේ විලාසිතා පවා තෝරලා දෙනවා. එයාගෙ උදව්වෙන් තමයි මම මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. මට කැමති විදිහෙ චරිත තෝරගෙන කරන්න එයා මට නිදහස දීලා තියෙන්නේ. දෙන්නම කලා ලෝකයේ යොවුන් තරු නිසා තරුණ රසික රසිකාවියන්ගේ ආකර්ෂණය වැඩියි නේද? එයාට මාව විශ්වාසයි. මට එයාව විශ්වාසයි. කලා ලෝකයේ ඉන්න අය විදිහට එයාට ගැහැනු ළමයි හෝ ගාලා මැසේජ් එවනවා. මටත් පිරිමි ළමයි මැසේජ් එවනවා. ඒ වුණාට මම කවදාවත් කියල නැහැ මැසේජ් කරන්න එපා කියලා. පොඩි ඉරිසියාවක් තියෙනවා. හැබැයි කලාවේ ඉන්නවා නම් අපි මේ දේවල් තේරුම් අරගෙන ඉන්න ඕන කියලයි හිතන්නේ. ආලෝකාගේ පවුලේ අය ගැන සඳහන් කරනවා නම්? අපේ අම්මා විදේශගත වෙලා ඉන්නේ. තාත්තා ගෙදර ඉන්නේ. අක්කා විවාහවෙලා. මගේ ගම මාවනැල්ල. හරිම ලස්සන ප්‍රදේශයක්. මට නිවාඩුවක් ලැබුණ ගමන් ගමට ගිහින් අක්කලාගේ ගෙදරටත් ගිහින් තාත්තාවත් බලලා තමයි එන්නේ. අම්මා නම් නිතර මට කෝල් කරනවා. මම රඟපාන හැම නිර්මාණයක්ම අම්මා එහේ ඉඳන් බලනවා. සුරංජි පතිරණ ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..