brand logo

මගේ නිළිකම විකුණන්නේ නැහැ

16 February 2020

ඇය නිතර නිතර දකින්න ලැබෙන නිළියක් නොවේ. ඉඳල හිටලා හොඳ නිර්මාණයකින් ඇය රසිකයන් අතරට එනවා. නිකිනි වැස්ස සිනමා පටය ඇයගේ හැරවුම් ලක්ෂ්‍ය වුණා. මේ දවස්වල තණමල්විල කොල්ලෙක් තුළ ඇය දයාබරිත අක්කා කෙනෙක්. නිතර නොදකින හැබැයි දකින විට අමතක නොවෙන්න රඟපාන ඇය සුලෝචනා වීරසිංහ. නිතර නිතර සිනමාව, රූපවාහිනිය තුළ ඔබේ මුහුණ දකින්න නැහැ නේද? මම රස්සාවක් කරන කෙනෙක්. විවේකයක් ලැබුණ අවස්ථාවක තමයි රඟපාන්න යන්නේ. අවුරුදු හයක ඉඳන් මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රැකියාව කරනවා. ඔබ සෑම නිර්මාණයක්ම භාරගන්න නිළියක්ද? නැහැ. මම කවදාවත් නිර්මාණ පසුපස හඹා යන කෙනෙක් නෙවේ. හොඳ නිර්මාණයක් ලැබුණාම භාරගන්නවා. අනික මට හැමදාම හොඳ නිර්මාණ ලැබුණා. 2009 වර්ෂයේ තමයි මම ග්ලැඩියේටර් ප්‍රේමය වේදිකා නාට්‍යයේ රඟපෑවේ. එම නිර්මාණය හරහා තමයි මට බොහෝ නිර්මාණ ලැබුණේ. කොහොමත් වේදිකාව තුළ මම ලබාගත්තු අත්දැකීම් තමා පසුකාලීනව ප්‍රයෝජන වුණේ. මම කලබලේ වැඩ කරන කෙනෙක් නෙවේ. සුළු චරිතයක් වුණත් භාරගන්නේ හොඳින් පිටපත කියවලා. අද කෙරෙන සමහර නිර්මාණවලට පිටපතක්වත් නැහැ. හොඳ නිර්මාණයකට ඕනෑම මොහොතක දායක වෙන්න කැමැත්තෙන් ඉන්නේ. ඔබ නිළියක් වුණාට පසු රැකියාවට එන්නේ? ජොබ් එකකට කැමැත්තෙන්ද උන්නේ? එහෙම විශේෂයක් නැහැ. කලාවට ආවට පස්සේ වෘත්තීය කලා ශිල්පිනියක් වෙන්න මටත් කැමැත්තක් තිබුණා. මොකද මට එක දිගටම වැඩ ආවා. හැබැයි තාත්තා හැම වෙලාවෙම කිව්වේ උපාධිය තියාගෙන කාලය නාස්ති කරන්න එපා කියලා. මම රැකියාවක් කරන්න ඇප්ලිකේෂන් එක දාන්නේ උපාධිය අරගෙන අවුරුදු හතකට පස්සේ. රැකියාව ලබාගන්න නිළියක් වීම ප්‍රයෝජනයක් වුණාද? නැහැ. මම මගේ වෙන කිසිම දෙයක් වෙනුවෙන් නිළිකම විකුණන්නේ නැහැ. ලාභ ප්‍රයෝජන සඳහා නිළිකම යොදාගන්නෙත් නැහැ. රැකියාවට ගියේ ගැසට් එකක බලලා ඉල්ලුම් කරලා, විභාගයකට පෙනී ඉඳලා. ඉන්ටව් බෝඩ් එකේ අයවත් මාව අඳුනන්නේ නැහැ. මොකද මම නිළියක් වෙන්නේ රඟපානකොට විතරයි. එතැනින් පස්සේ බොහොම සරල චරිතයක්. මේ රැකියාව ලැබුණේ මගේ සුදුසුකම්වලට. රැකියාවක් එක්ක රඟපාන්න අමාරු නැද්ද? අමාරුයි. බොහොම පරිස්සමට තමයි කාලය වෙන්කර ගන්නේ. මේ දවස්වල ‘ගිනි ගිනි මාලේ’ කියලා වේදිකා නාට්‍යයක් කරනවා. ඒක රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයටත් තේරිලා තියෙන්නේ. ඒකේ පුහුණුවීම් සඳහා වැඩි කාලයක් කැප කරනවා. ඊට අමතරව සති අන්තයේ නිවාඩු දිනවල හා මට ලබාගත හැකි දවස්වල රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. තණමල්විල කොල්ලෙක් ගැන මොකද හිතෙන්නේ? මේ නාට්‍යය කරලා දැනට අවුරුද්දක් විතර වෙනවා. මෙච්චර කාලයක් පෙන්නන්න බැරි වෙච්ච එක ගැන දුකයි. නමුත් හරිම කැමැත්තෙන් කරපු නාට්‍යයක්. රොෂාන් රවීන්ද්‍ර මට මේකේ පිටපත දුන්න මොහොතෙම මම කැමති වුණා. පිටපත කියවලා නෙවේද කැමති වුණේ? රොෂාන් කියන්නේ මගේ හොඳ යාළුවෙක්. ඔහු හරි දේ කරනවා කියලා මම දන්නවා. මේ පිටපත ඔහු මටමයි ලියලා තියෙන්නේ. අනික මේ නාට්‍යය භාරගන්නකොට මම අවුරුදු තුනකින් රූපවාහිනියේ වැඩක් කරලා නැහැ. හොඳ පිටපතක්. එකට වේදිකාවේ වැඩ කරන නළුවෝ ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නැතිව භාරගත්තේ. දුෂ්කර රූපගත කිරීමක් තිබුණා කියලා තමා ආරංචිය? තිස්සමහාරාමය, තණමල්විල යන ප්‍රදේශවල තමයි රූපගත කිරීම් කළේ. ප්‍රදේශය දුෂ්කර වුණාට අපේ හැඟීම් හරිම නැවුම්. මොකද මේ වැඩේ කළේ හරිම කැමැත්තෙන්. හවස වැවක් දකිනකොට තියෙන ලස්සන වචනයෙන් කියන්න බැහැ. නාලා කාලා විනෝදෙන් ගත කළා. පොඩි ඉඩක පොඩි ගෙදරක උන්නත් සෙට් එකේ කට්ටිය හොඳින් අඳුනන නිසා දැනුණේ එක පවුලක් කියලා. මොකද පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු එක්ක වැඩ කරනකොට ප්‍රශ්න අඩුයි. ඔබේ චරිතය ගැන සෑහීමකට පත්වෙනවද? පවුලේ ලොකු අක්කා, අපේ ගෙදරත් මම අක්කා. මටත් දීප්ත වගේම මල්ලි කෙනෙක් උන්නා. මමත් මල්ලිට ඔය විදිහටම ආදරෙයි. ඒක නිසා මට මේ චරිතය හරිම පහසු වුණා. ඉදිරියට බලන්නකෝ. ඔබ වඩාත් කැමති සිනමාවටද? වේදිකාවටද? ටෙලි නාට්‍යවලටද? මම මේ ත්‍රිත්වයේම එකම ආකාරයට රඟපානවා. මම මේ ගමන පටන් ගත්තේ වේදිකාවෙන්. නමුත් සිනමාවට තමයි මම වැඩිපුරම කැමති. ඔබ නිළියක් වෙන්නේ කොහොමද? මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉන්නකොට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ. මම කිසිම දවසක නිළියක් වෙන්න හිතපු කෙනෙක් නෙවේ. මම උපාධියට කළෙත් ජනසන්නිවේදනය. හැබැයි මට තිබුණ නිවාඩු දාගෙන මම රංඟ කලාව ගැන වැඩමුළුවකට සහභාගි වුණා. මගේ යාළුවෙක් නිසා තමයි මේ අවස්ථාවඋදා වුණේ. මගේ ආරම්භය එතැන. ඔය අතරේ මගේ කාමරේ මගෙත් එක්ක උන්න යාළුවා එයාගේ කැම්පස් එකේ එසයිමන්ට් එකකට නාට්‍යයක් කළා. ඒ ‘පෙම්වතා නැතිවෙලා’ කියලා. මටත් ඒකේ රඟපාන්න එන්න කිව්වා. ‘පිස්සුද මචං.. මට පුළුවන් රඟපාන්න’ මම එදා එහෙම කිව්වට යාළුවා මාව බලෙන්ම නාට්‍යයට ගත්තා. නාට්‍යය පටන් අරගෙන කරගෙන යනකොට ප්‍රශ්නයක් වෙලා ප්‍රධාන නිළිය ආවේ නැහැ. මට සිද්ධ වුණා ප්‍රධාන නිළියගේ චරිතය කරන්න. අවසානයේ මම රඟපාපු ප්‍රථම චරිතයෙන් අන්තර් විශ්වවිද්‍යාලයීය කෙටි නාට්‍ය උළෙලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය ලබාගත්තා. පුංචි කාලේ ඉඳන්ම ඔබ නිළි සිහිනය දැක්ක කෙනෙක්ද? හීනෙකින්වත් හිතලා තිබුණේ නැහැ. මම ඉපදුණේ කෑගල්ලේ. ඉස්කෝලෙ කීපයකටම ගියා. අන්තිමට ගියේ කෑගල්ල සාන්ත ජෝශප් බාලිකාවට. විෂයයක් හැටියට මම සංගීතය කලා. සමස්ත ලංකා තරග ජයග්‍රහණ පවා මම හිමිකර ගත්තේ සංගීත අංශයෙන්. එතකොට රංගනය ගැන හිතුවෙම නැද්ද? උපාධියක් ලබාගත්තට මට ඉගෙන ගන්න ලොකු දක්ෂකමක් තිබුණේ නැහැ. විෂය බාහිර දේවල්වලට ලොකු කැමැත්තක් තිබුණා. අද ළමයින්ට නැති ලෝකයක් අපිට එදා තිබුණා. හවස 1.30ට ටීවී එකේ යන චිත්‍රපට බලනවා. ඇළේ පැනලා නානවා. ගස් නගිනවා. ඉගෙනීමත් එක්ක බාහිර ලෝකය තුළ නිතරම උන්නේ. ඒ දේවල් අද රංගනය තුළත් මම ප්‍රයෝජනයට ගන්නවා. අනිත් කාරණාව තමයි මම ඉපදුණේ ජනවාරි මාසේ. අවුරුද්දක් කලින් ඉස්කෝලේ ගියා. ඕන දේකට ඉදිරිපත් වුණා. සතුටින් සැහැල්ලුවෙන් හැම දෙයක්ම කළා. අවුරුදු 23 වෙනකොට මම කැම්පස් ආවා. කිසිම දෙයක් ප්ලෑන් කරගෙන ආපු ගමනක් නෙවේ. හැබැයි කවදාහරි නිවුස් රීඩර් කෙනෙක් වෙන්න නම් කැමැත්තක් තිබුණා. අවසානයේ නොහිතපු දේවල් ගොඩක් ලැබුණා. නළු නිළියන්ට ආදරය කරපු යුගයක් තිබුණේ නැද්ද? එහෙම නැහැ. මට එහෙම ආසාවක් තිබුණේ නැහැ. ටයිටැනික් චිත්‍රපටය ආපු දවසේ ටයිටැනික් වොච් එකක් අරගෙන බැන්දා. එතැනින් එහා මට කලාවේ වීරයෝ හිතේ රජ කරලා නැහැ. මුලින්ම කැමරාව ඉස්සරහට ආවේ කොහොමද? පුංචිම පුංචි කාලේ. අපේ අම්මා ස්වර්ණවාහිනියේ වැඩසටහනකට ගීතයක් කියන්න ඇප්ලිකේෂන් එකක් දාලා. මම දන්නෙත් නැහැ. යමු කිව්වාම මමත් ගියා. ගිහින් සින්දුවක් කිව්වා. ඒක තමා මුල්ම අත්දැකීම. ඕනම දේකට මුහුණ දෙන්න මම බය නැහැ. පුංචි කාලේ ඉඳලම ඒ ගතිය මට තිබුණා. මම රඟපාපු පළවැනි නාට්‍යය ​‘බොරදිය දහර’ හැබැයි ඒක රූපවාහිනියේ පෙන්නුවේ රඟපාලා අවුරුදු දහයකට පස්සේ. මම රඟපාපු පළවැනි චිත්‍රපටය ‘නිනෝ ලයිව්’ ඒකත් තිරගත වුණේ රඟපාලා අවුරුදු ගාණකින්. මගේ ප්‍රථම නිර්මාණය රඟපාලා අවුරුදු ගාණකින් තමා තිරගත වුණේ. එතකොට මම මිනිස්සු අඳුනන චරිතයක් වෙලා ඉවරයි. ඔබේ ජීවිතය වෙනස් කරන නිර්මාණය මොකද්ද? වේදිකාව තුළ මගේ ජීවිතය වෙනස් කරනවා. විශේෂයෙන්ම ප්‍රසන්න විතානගේ ගේ ‘දෙබිඩ්ඩෝ’ වේදිකා නාට්‍යය. ඒකේ රඟපානකොට තමා මට ‘නිකිණි වැස්ස’ ලැබෙන්නේ. අරුණ ජයවර්ධනගේ ‘නිකිණි වැස්ස’ මගේ සිනමා ජීවිතයේ ලොකු වෙනසක් කළා. නිකිණි වැස්ස අභියෝගයක් වුණේ නැද්ද? නැහැ. අරුණ ජයවර්ධන පිටපත අතට දීලා කතා කළාම මට දැනුණේ ලොකු සතුටක්. බිමල් ජයකොඩි, චාන්දනී සෙනෙවිරත්න එක්ක රඟපාන්න තියෙන්නේ. හොඳ පිටපතක් නිසා මම වැඩේ බාරගත්තා. පිටපත තුළ තිබුණ ලිංගික දර්ශන ගැන බයක් තිබුණේ නැද්ද? ඇයි බයවෙන්නේ? ඒ දර්ශනය මට අදාළ දෙයක් නෙවෙයිනේ. ඒක රඟපෑමක් විතරයි. එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් මගේ රඟපෑම දිහා වැරදි ඇහැකින් බලපු කෙනෙක්ට විතරයි. සුලෝචනා කියන නිළිය දිහා බලපු කෙනෙක්ට ඒක හොඳ රඟපෑමක් විතරයි. ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ම මගේ රංගනයට ප්‍රසංසා කළා. සම්මාන උළෙලවල් කීපයකම සම්මාන ලැබුණා. අදටත් මම හිතන්නේ ඒක මම කරපු රඟපෑමක් විතරයි. මෙවැනි චිත්‍රපටවල රඟපාන එක තුළින් ඔබේ චරිතයට හානියක් වෙනවා නේද? වෙන වෙන අර්ථකථනවලින් ඔය දිහා බලන අයට විතරයි ඔය ප්‍රශ්නය ඇතිවෙන්නේ. මොකද මේ මගේ ජීවිතය නෙවේ. මේක චරිතයක් පමණයි. රංගනය කියන වෘත්තිය තුළ මම කරපු රඟපෑමක්. හැබැයි එළියට ඇවිත් එහෙම වැරදි වැඩක් කරනවා නම් ඒක යුවතියකට බලපානවා. රංගනය තුළ මගේ නිළියකගේ භූමිකාව නොදන්න මිනිස්සු එක්ක කතා කරන එකත් මෝඩ වැඩක්. ඔබට ලැබෙන ඕනම පිටපතක් භාරගන්නවාද? එහෙම කොහොමද? බාරගන්නේ? මට ගැළපෙන හොඳ පිටපතක් විතරයි මම බාරගන්නේ. පිටපත කියවනකොට මට දැනෙන්න ඕන මේක මට පුළුවන් කියලා. සිනමාවේ ප්‍රේමවන්තියගේ චරිතය ඔබට අතපසු වෙනවා නේද? මම ඒක පිළිගන්නේ නැහැ. හැබැයි සිනමාවේ මල් ගස් වටේ දුවන සීනිබෝල ප්‍රේමවන්තියකගේ චරිතය මට කරන්න ලැබුණේ නැහැ. හැබැයි සිනමාව තුළ මම ප්‍රේමවන්තිය වුණේ නැහැ කියන්න බැහැ. සරලව කතාව කියන්නම්. නිකිණි වැස්ස චිත්‍රපටයේ මම රඟපාන්නේ දුප්පත් කෙල්ලෙක්ගේ චරිතයක්. ආදරය කරන්නේ එකම කෙනාට. බඳින්නේ ඒ කොල්ලව. දරුවෙක් වදන්නේ ඔහු නිසා. අවසාන තත්පරේ වෙනකම් ආදරේ කරන්නේ ඔහුට. එතැන තියෙන්නේ ප්‍රේමය නෙවේද? ඇයගේ ප්‍රේමය ගැන කතා නොකරන්නේ ඇය දුප්පත්, දුෂ්කර යුවතියක් නිසාද? තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍යයේ මම හොඳ ප්‍රේමවන්තියක්. හැබැයි ඒ ප්‍රේමය ගලාගෙන යන්නේ ලස්සන මල්වතුවල නෙවේ. දියඇලිවල නොවේ. කප්පරක් ප්‍රශ්න මැද්දේ. හැමදේකම තියෙන්නේ මිනිස්සු බලන විදිහේ ප්‍රශ්නයක්. පපුවට අත තියලා සාධාරණව බැලුවොත් තේරෙයි සුලෝචනා රඟපාපු චරිතවල මොන තරම් ප්‍රේමය තිබුණාද කියලා. සිනමාවෙන් එපිට ඔබේ ජීවිතය ගැන වචනයක් කියන්න? මගේ මහත්තයා චානක සංජීව. කැමරා අධ්‍යක්ෂවරයෙක්. රාවණා ටෙලි නාට්‍යයේ කැමරා කරන්නේ ඔහු. මේ ක්ෂේත්‍රය නිසාමයි ඔහු මට මුණගැහෙන්නේ. ඒ නිසා සීයට සීයක් ඔහු මාව තේරුම් අරගෙන ඉන්නවා. මේ රංගනය වෙනුවෙන් ඔහු මට හුඟක් උදව් කරනවා. මගේ දියණිය මෞලි ආර්යා. එයාට තාම වයස තුන හමාරයි. ඉඳහිටවත් ඉදිරියේ නිර්මාණයකින් දකින්න ලැබෙන්නේ? වේදිකා නාට්‍ය දෙකකට අලුතින් කතා කළා. ටෙලි නාට්‍යයක් නම් එන්න තියෙනවා. චිත්‍රපටයක පිටපතක් ලැබිලා තියෙනවා. මේ දවස්වල කියවනවා. රැකියාවත් කරගෙන හොඳ නිර්මාණවලට ඉදිරියේ දායක වෙනවා. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඡායාරූප ක්‍රිෂාන් කාරියවසම්
 

More News..