brand logo

මගේ නිවසේ රැස්වීමට ආවේ හතර දෙනයි

31 March 2020

මාගේ නිවසේ පසුගිය 27 වන දින පැවැති රැස්වීමට මහරගම, අවිස්සාවේල්ල, හෝමාගම සහ බොරලැස්ගමුව යන පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් සිව් දෙනකු පමණක් සහභාගිවූ බව හිටපු ඇමති පාඨලී චම්පික රණවක පවසයි. නිවසේ නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වූ බවටත්, ඇඳිරිනීතිය උල්ලංඝනය කළ බවටත් චෝදනා කරමින් පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දේශපාලන දඩයමක් බව ඔහු අවධාරණය කර සිටියි. කොවිඩි - 19 වෛරසය ව්‍යාප්ත වීම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ වියළි ආහාර, ඖෂධ නොලැබෙන පවුල් සඳහා ඒවා බෙදා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳව විනාඩි විස්සක් පමණ සාකච්ඡා කළ බව හිටපු ඇමතිවරයා සඳහන් කරයි. එම හමුව අවසන් වී නිවසෙන් එළියට බසින විට තලංගම පොලිසියේ නිලධාරීන් සහ සෞඛ්‍ය නිලධාරීන් පැමිණ රැස්වීම පිළිබඳ තොරතුරු විමසූ බවද හිටපු අමාත්‍යවරයා සඳහන් කරයි. දුප්පත් ජනතාවට භාණ්ඩ බෙදාදීමේ වැඩපිළිවෙළට තම දායකත්වය ද ලබා ගන්නා ලෙස සෞඛ්‍ය නිලධාරීන් පැවසූ බව ඔහු අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයන්ට මෙන්ම විපක්ෂයේ මහජන නියෝජිතයන්ටද දුප්පතුන්ට ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා අයිතියක් තිබිය යුතු බවද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.   උදයජීව ඒකනායක
 

More News..