brand logo

මගේ නළු කම දේශපාලනයට පාවිච්චි කරන්නේ නෑ

24 November 2019

වේදිකාව සිනමාව හා ටෙලි නාට‍්‍ය යන ත්‍රිවිධ කලා මාධ්‍යයන් වෙතම අපූර්වත්වය රැගෙන එන ගිහාන් ප්‍රනාන්දු අපට සිටින ප්‍රවීණයන් අතලොස්ස අතරේ ඉදිරියෙන්ම සිටින රංගනවේදියෙක්. සිනමා හා ටෙලි තිරයේ කාර්යබහුල රංගන ශිල්පියා වුණත් සුපුරුදු ලෙසම වේදිකාව වෙනුවෙන් කාලය ඉතිරි කරගන්නා ගිහාන් මේ දිනවල පමණක් නෙවෙයි හැමදාමත් චරිත හා රසිකයන් අතර සිටින රංගන ශිල්පියෙක්. වෘත්තීය රංගන ශිල්පියෙක් බවට පත්වීමටත් එලෙසම සපුරාගත යුතු කාරණා පවතිනවාද? පැහැදිලිවම කෙනෙක් කිසියම් මාධ්‍යයක වෘත්තීය මට්ටමේන් රැඳිල ඉන්නව කියන්නෙ එම පුද්ගලයා සල්ලිවලට ඒ දේ කරනව කියන එක පමණක් නෙවෙයි. වෘත්තීය නළුවෙක් හෝ නිළියක් වන්නට නම් ඔහු හෝ ඇය ගොඩක් දේවල් සපල කරගත යුතුයි. මෙහිදී විෂය පිළිබඳ ඉගෙනගෙන තිබීම කොයිතරම් දුරට ඒ ගැන හදාරලද කියන කාරණය සහ එය තුළ යාවත්කාලීන වනවාද කියන කාරණා වැදගත් වෙනව. ගිහාන් වෘත්තීය රංගන ශිල්පියා බවට පත්වෙන්නේ? මම රඟපෑමට ප්‍රවිෂ්ට වෙන්න පාසල් අධ්‍යාපනය ලබන කාලෙ ඉඳන්ම රඟපෑම කියන එක හදාරන්න පටන් ගත්තා. එක දිගට අවුරුදු දෙක තුනක් මම ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම වේදිකා නාට්‍යවල ටෙලි නාට්‍යවල රඟපාමින් නිරන්තරයෙන්ම අභ්‍යාසයේ යෙදුණා. මේ වන විට මම රඟපාන්න ඇවිත් අවුරුදු තිහක් වෙනව. මට මෙතනට එන්න අවුරුදු තිහක් තිස්සෙ මම කළ හැදෑරීම් එකතු කරගත් අත්දැකීම් මට වැදගත් වුණා. මට වාසනාවක් ලැබුණා ලංකාවට ආපු විදේශීය නාට්‍ය කරුවන්ගෙන් ඉගෙනගන්න. අපි නාට්‍යවලට ප්‍රවිෂ්ට වෙන කාලයට වඩා අද මේ ගැන හදාරන්න පහසුකම් තියෙනව. අදටත් මම ලෝකයේ අලුත් වන රඟපෑම් ගැන හොයනව ඉගෙන ගන්නව අත්හදා බැලීම් කරනව. ඔබ ලබා ඇති ප්‍රවීණත්වය නිර්මාණ තොරාගැනීමේදී සීමාවන් අදාළද? මට නිර්මාණයකට ඇරයුමක් ලැබුණම ඒ මිනිස්සු එක්ක මට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියන එකයි මම බලන්නෙ. රංගනයෙන් ලැබෙන ප්‍රසිද්ධිය දේශපාලනයට හෝ වෙනත් දේ සඳහා පාවිච්චි කිරීම ගැන ඔබගේ මතය කුමක්ද? මම නම් කියන්නෙ මේකට ලෑස්තිවෙලා මේකට එන්න දේශපාලඥයෙක් හෝ වෙනත් වෘත්තියක් කරන්න හිතන කෙනෙක් නළුවෙක් වෙන්න එන්න එපා. මොකද නළුවෙක් වෙන්නෙ දේශපාලනඥයෙක් වෙන්න තියෙන ආසාව නිසානම් ඒකෙන් ලැබෙන ජනප්‍රියත්වය නම් ඒ දේ සඳහා පාවිච්චි කරන්නෙ ඔහු මේ දෙතැනම අසාර්ථක වෙනව. අපිව අපේ ආගම් අනුව හෝ සොබාදහමින් හදනකොට ලෝකයේ අපිට කරන්න පාට් එකක් හදනව. නළුවෙක්ට තමන්ට පැවරුණ කොටසක් තියෙනව. හැම කෙනෙක්ම කරන්නෙ අනෙකා සතුටු කිරීමෙන් වඩුවා පුටුවක් හදලා පාරිභෝගිකයා සතුටු කරනව. ඒ වගේ අපි අපිට පැවරුන ටික කරපුවම ඇති කියලයි මම හිතන්නෙ. මට දේශපාලනය කරන්න ඕන නැහැ. ඒකට වෙනම පිරිසක් ඉන්නව. දේශපාලනය කරනව නම් දේශපාලනය ඉගෙන ගෙන දේශපාලනය කරනව මිස මම මගේ නළුකමේ ජනප්‍රියත්වය හරහා අහවලාට ඡන්දෙ දෙන්න කියලා මාව පාවිච්චි කරනවට මම කැමති නැහැ. එකම කාලසීමාවක විවිධ චරිත සමග ගත කිරීමට සිදුවීම පහසුවක්ද? අපහසුවක්ද? ඇත්තටම හැම දවසකම මම රස්සාවට යන්නෙ සතුටින්. උදේ මම නාන කාමරයට යන තැන පටන් අද දවසේ මම කරන වැඩේ ගැන හිතනව. ඒකට සූදානම් වෙනව. මම ඒ ඒ නිර්මාණයේ මම මොනවද කළේ සිහිගන්වනව. වෙනත් රැකියාවක් කරන කෙනෙකුට හැමදාම එකම වැඩ ටිකක් විතරයි කරන්න තියෙන්නෙ. අපිට දවසින් දවස කරන වැඩ අලුත් වෙනව. වැඩ කරන පිරිස අලුත් වෙනව. ඒක මේ වෘත්තියේ තියෙන වෙනමම වාසනාවක්. මේ දිනවල ඔබගේ අතිශය ජනප්‍රිය චරිතය රෙක්සි ගැන යමක් පවසන්න? රෙක්සිගේ චරිතය ඇත්තටම මම හරියට විඳිනව. මම හිතනව ඒ චරිතය සම්බන්ධව මම දිනුම් කියල. මුලදි ප්‍රේක්ෂකයන්ට තරහක් ඇතිවෙන චරිතයක් දැන් ප්‍රේක්ෂකයො මාව දැකක්ම මට ආදරය දක්වනව. රංගන ශිල්පීන් එකම වර්ගයේ චරිත තුළ සිරගත කිරීම කියන කාරණය දෙස ඔබ බලන්නේ? ලංකාවේ අපේ රංගන ශිල්පීන් එක එක ධාරාවන්වලට කොටු කරල තියෙන්නෙ. මෙයා කරන්නෙ කමඩිම තමයි වගේ. අපේ රටේ බිහිවුණ දක්ෂ රංගනවේදියෙක් වන විජය නන්දසිරිගෙන් හරියට වැඩ ගත්තෙ නැහැ. ඔහු තුළ කොතරම් දක්ෂ නළුවෙක් ජීවිත් වුණාද. මේ කාරණය මා සම්බන්ධව ගත්තොත් මම හිතනව තවම මම පටන් ගත්ත විතරයි කියල. මට තව අවුරුදු පහක් විතර රඟපෑවම ඇති. මං හිතන්නෙ ඒ තමයි මගේ හොඳම කාලය කියල. අද පවතින උසස් නිර්මාණ බිහිවීමේ හිඟය ඔබට මේ හොඳම කාලය කෙසේ උදාකරයිද? සමස්ත රටම ගත්තම හැම පැත්තෙන්ම බංකොලොත් වීගෙනනෙ යන්නෙ. විනය පැත්තෙන් සංවර්ධනය පැත්තෙන් අපි බංකොලොත්. අපි ලෝකයට ණයයි. දේශපාලන පැත්තෙන් අපි බංකොලොත්. විනයක් නැති සමාජයක් එක්ක මේ කලාව කියන දෙයත් බාලවෙලා ඉවරයි. එතකොට එදා හිටිය හොඳ රසඥතාවයක් තියෙන ප්‍රේක්ෂකාගාරය එන්න එන්නම අපෙන් ගැලවිලා යනව කියල මට හැඟෙනව. තිබෙන නිර්මාණත් ඒ වගෙයි මාර්කට් එකට බඩු හැදෙන තැනක් විදිහටයි අද කලාවෙ නිර්මාණ හැදෙන තැනට පත්වෙලා තියෙන්නෙ. මේකට වගකියන්න ඕන මේ රටේ ජනමාධ්‍ය හා රජයයි. මිනිස්සුන්ගෙ රසය ම් තැනට ගෙනිච්චේ මීඩියා සහ කිසිම නීතියක් රීතියක් නැතිව ඕනම ජරාවක් ලංකාවේ මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන් තැනට ගෙනාපු දේශපාලන අධිකාරියයි. සුරංජි පතිරණ
 

More News..