brand logo

මගේ නඩුවේ සාක්ෂියට අල් හුසේන් කුමාරයවත් ගෙන්වන්නයි බලන්නේ - රන්රන් රාමනායක

17 February 2019

දේශපාලනඥයෙක් වෙන්න ඉස්සර ඔබ හොඳ සමාජ සේවකයෙක්. එතෙර කාන්තා ශ්‍රමිකයන් ගැන කතා කළා. දැන් ඔබ රජයේ ඇමැතිවරයෙක්. බලය තියෙනවා ඒත් ඒ ගැන නිහඬයි. පසුගිය හැන්සාඩ් වාර්තා අධ්‍යයනය කළොත් ඔබට පෙනෙයි මේ ගැන කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. මට තමයි ලංකාවේ දේශපාලනඥයන්ගෙන් හතරවැනි විශාලම මුහුණුපොත තියෙන්නේ. 1. මහින්ද රාජපක්ෂ, 2. මෛත්‍රීපාල සිරිසේන, 3. නාමල් රාජපක්ෂ, 4 වැනි තැන මම ඉන්නවා. මේ මුහුණු පොත හරහාත් විදේශගතව සිටින විශාල පිරිසක් ඔවුන්ගේ ප්‍රශ්නවලට මගෙන් උදව් ලබාගන්නවා. ජම්ල් කගෝෂිගේ සිද්ධියේදී පවා මට කතා කළා. විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් විය යුතු යුතුකම් අපි ඉටු කරනවා. ඔවුන් වෙනුවෙන් ගත හැකි බොහෝ සුබසාධන කටයුතුවලට මම නිරන්තරයෙන් මැදිහත් වෙනවා. මෙවර අයවැයෙන් මේ අයට වැඩිපුර සහන ලබාදීමටත් මගේ මැදිහත් වීම සිදුවුණා. මගේ මහජන දිනයට තවම වැඩිපුර එන්නේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න. මගේ හොට් ලයින් එකක් තියෙනවා. ඒකට එන සියලුම ප්‍රශ්න අවශ්‍ය තැන්වලට යොමු කරල විසඳුම් ලබා දෙනවා. පාර්ශ්ව අතර ගැටුම් ඇති තැන්වලට රජයේ මැදිහත්වීම් ලබා දෙනවා. මේ දේවල් කරන කොට මට සමහර අමාත්‍යාංශවලින් චෝදනාත් ආවා. අපේ අමාත්‍යාංශවලට ඇඟිලි ගහන්න එපා. ඔයාගේ අමාත්‍යාංශයේ වැඩ කරගෙන ඉන්න කියලා. ඒ නිසා මම යම් සීමාවන් තුළ ඉඳලා තමයි වැඩ කරන්නේ. සමහරක් ඇමැතිවරුන් කොකේන් පාවිච්චි කරන බවක් ඔබ කිව්වා. ඒ කවුද? ඇත්තටම මේක කාටවත් මඩ ගහන්න කියූ කතාවක් නොවෙයි. උරණ වෙන්න කියපු කතාවකුත් නෙවෙයි. කැසිනෝ තැන්වලින් සහ කැරෝකේ මධ්‍යස්ථානවලින් ලබාගත් සීසීටීවී දර්ශනවලින් මේ හෙළිදරව්වීම් සිදුවෙලා තියෙනවා. මේ වගේ ස්පොට් දර්ශන රාශියක් ලැබිල තියෙනවා එස්.ටී.එෆ්. එකට. මම බොහෝම කිට්ටුවෙන් ගෞරවනීය උසස් නිලධාරීන් සමග මේ හෙළිදරව් කිරීම් ගැන නිතර සාකච්ඡාවලට සහභාගි වෙනවා. මම තිත්ත ඇත්ත කතා කරන පුද්ගලයෙක් කියලා ජනතාව දන්නවා. මම මෙතෙක් කළ කිසිම හෙළිදරව්වක් බොරු වෙලා නැහැ. කැබිනට් ඇමැතිවරු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ආගම්වලට සම්බන්ධ නායකයෝ, ඇමැතිවරුන්ගේ පුත්තු, ව්‍යාපාරිකයෝ සහ කලාකරුවෝ පවා සම්බන්ධ ජාලයක් මධුෂ් වටා හැදිලා තිබුණා. ඩුබායිවලදී නම් මූත්‍රා පරීක්ෂණයකින් කට්ටියව අල්ලා ගත්තා. අපේ ඒවා කරන්න ගියොත් ඒවා කරන්න ගිය නිලධරියාට ගෙදර යන්න වෙනවා. දේශපාලකයන් පාතාල සාමාජිකයන් සමග සම්බන්ධකම් පවත්වන්නේ ඇයි? පාතාල සාමාජිකයාට තියෙන එකම රැකවරණය දේශපානඥයා. සමහරක් දේශපාලනඥයින්ට සුපිරි නිවාස, ඉඩම්, ඇඳුම්, සාප්පු, මඟුල් ගෙවල්වල බිල් වගේ ඒවා පාතාල සාමාජිකයන් හරහා ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කළහම දේශපාලනඥයා සහ පාතාල සාමාජිකයා අතර ලොකු බැඳීමක් ඇතිවෙනවා. ‘‘ඔබ මගේ පිට කසන්න මම ඔබේ පිට කසන්නම්’’ වගේ කියනවා. ඒ වගේම ඔබට අවශ්‍ය වෙලාවට මම හයියක් වෙනවා වගේම මගේ නීතිමය කටයුතුවලදී ඔබ හයියක් විය යුතුයි කියන සංඥාව ඔවුන් අතර තියෙනවා. මේ තත්ත්වය දේශපාලනඥයන්ට විතරක් ලඝු කරන්න බැහැ. මා දන්නා තරමින් ආගමික නායකයන්ට විදෙස් සංචාර, පන්සල් පල්ලිවල පිළිම දේවරූප හැදීම වගේම සමහර අයගේ මවුන්ට් එළිසබෙත් රෝහලේ ගාස්තු පවා පාතාල සාමාජිකයන් ගෙවපු අවස්ථා තියෙනවා. වකුගඩු බද්ධ කිරීම බයිපාස් වගේ ඒවාට මෙරට පුද්ගලික රෝහල් ගාස්තු ගෙවපු අවස්ථාත් තියෙනවා. මෙහෙම වුණාට පස්සේ ඒ පුද්ගලයා ජීවිත කාලය පුරාවටම පාතාල සාමාජිකයා සමග බැඳිලා ඉන්නවා. මැක්සිකෝවේ පැවලෝ ඩෙස්කෝ බා කියලා කෙනෙක් හිටියා. මොහු මහා පරිමාණ කොකේන් ජාවාරම්කරුවෙක්. ඔහු ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් පටන් ගෙන පාර්ලිමේන්තුවේ පවා බොහෝ දෙනා තමන්ගේ නතුවට ගත්තා. පාප්වහන්සේට පවා මුදල් දුන් බවට හෙළි වුණා. සල්ලි බන්ඩල් කරන්න රබර් පටිවලට පවා කෝටි ගණන් මුදල් වෙන් කළා. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන පනස්දහස් ගණනක් මේ වගේ අනුරූප පසුගිය කාලේ ලංකාවෙන් බිහිවුණා. ඩාවුඩ්, වෙලේ සුදා, අයුබ්කාන්, මධුෂ් වගේ අය පැබ්ලෝ ඩෙස්කෝ බාලාගේ දිකුවක්. ඔබටත් පාතාල සාමාජිකයන් කතාකරලා තියෙනවද? මට ලංකාවේ ලැබිල තියෙන සහතිකය තමයි මම පාතාලය හෙළිදරව් කරනවා. ඒ අයට විරුද්ධව කටයුතු කරනවා කියලා. මේවා කරලා මට මේ වෙනකොට නඩු 24ක් වැටිලා තියෙනවා. ඒ නිසා මට ඔවුන් කතා කරන්නේ නැහැ. හැබැයි සමහර අවස්ථාවල උත්සව වගේ ඒවාට ගියාම රසිකයෝ විදියට ඇවිත් මාත් එක්ක කතා කරනවා මේ චෝදනා තියෙන අය. පින්තූර ගන්නවා වගේ දේවල් සිදුවෙනවා. රසිකයෝ හැටියට ඔවුන් මා ළඟට එන එක මට නවත්වන්න බැහැ. ඊට අමතරව මගේ කිසිම සම්බන්ධයක් පාතාලය එක්ක නැහැ. බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයන් නඩත්තු කරන්නේ කවුද, ඔවුන්ගේ බැංකු ගනුදෙනු සිදුවෙන්නේ කොහොමද, ඔවුන් හා පාතාලය අතර තියෙන සම්බන්ධය කොතරම්ද වගේ දේවල් මම හුඟක් දන්නවා. මේවාට මගේ ළඟ සාක්ෂි තියෙනවා. මේවා යටින් ඉන්න දේශපාලනඥයෝ ගැනත් මම දන්නවා. ඇයි මේ කිසිදු රජයක් පාතාලය මර්දනය කරන්න උත්සාහ නොකරන්නේ? මර්දනය කරන්න උත්සාහ ගන්නේ නැතුව නොවේ. අපි දන්න තරමින් 1948 නිදහසෙන් පසු මේ රටේ බිහි වූ ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, එස්.ඒ. වික්‍රමසිංහ, කොතලාවල, බණ්ඩාරනායකලා වගේ අය ගෞරවනීය දේශපාලකයෝ. මේ අය පාතාලය ළං කරගත්තේ නැහැ. ඉතාම අඩුවෙන් තමයි මැරකල්ලියක වුණත් සහයෝගයක් ලබාගත්තේ. ඒත් ස්ට්‍රයික් එකකට ගහන්න උද්ඝෝෂණයක් මැඬ පවත්වන්න වගේ සුළු දේකට තමයි කැලැන්තන් සොයිසා වගේ අය යොදවා ගත්තේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ගෝනවල සුනිල් වගේ මැරයොත් විජය කුමාරතුංග ඉන්දරේලා, චන්දරේලා වගේ අයත් වටේ තියාගෙන හිටියා කියලා ඉතිහාසයේ කියවෙනවා. ජේ.වී.පී. එකටත් හිටි ගැන් එකක් හිටියා. පසුගිය කාලේ විජය කුමාරතුංග මැරුව වගේ මිනීමැරුම් සිදු කළේ ඔවුන්. ප්‍රේමදාස මහත්තයටත් රොනී ගුණසිංහලා වගේ අය ළඟ හිටියා. රිචඩ් සොයිසා මරා දැම්මේ ඔහු. චන්ද්‍රිකා ජනාධිපතිතුමියටත් බැද්දගානේ සංජීව, නිහාල් කරුණාරත්නලා වගේ අය ළඟින් හිටියා. මහින්ද රාජපක්ෂ එක්ක චණ්ඩි මල්ලි, වම්බොට්ටා වගේ නම් ඈඳිලා තිබුණා. දැන් ඉන්න ජනාධිපතිතුමා නම් කියලා ආවේ පාතාලය මර්දනය කරනවා කියලා. ඔහුට තව වෙනතුරු එවැනි චෝදනාවක් නැහැ. ඒ කාලේ මැර කණ්ඩායම් හිතුවේ අපි ව්‍යවස්ථාව දන්නේ නැහැ. ස්ථාවර නියෝග දන්නේ නැහැ අපිට අධ්‍යාපනයක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි කසිප්පු පෙරලා හරි කුඩු ගෙනල්ලා හරි මත්පෙති ගෙනල්ල හරි විකුණලා හරි ඒ සල්ලිවලින් අපේ මිනිහව පාර්ලිමේන්තු යවනවා කියලා. අපි රිමාන්ඩ් වුණොත් අපිව ගුවන්තොටුපොළේදී කොටුවුණොත්, අපේ බූරුපොළ වැටලුවොත් අපේ පිහිටට ඉන්නෙ මේ දේශපාලනඥයො නිසා අපි කෝල් එකක් දුන්නාම අපිව බේරාගනීවී කියලා මෙහෙම හිතුව මැර කණ්ඩායම් පසුව හිතුවා අපි මොකටද වෙන එකෙක්ව පාර්ලිමේන්තු යවන්නෙ. අපිම ඡන්දෙ ඉල්ලනවා කියලා. ප්‍රේමදාස මහත්තයාගේ කාලෙන් පස්සේ ඒ මැරයෝ ටිකත් ජාතික ඇඳුම ඇඳලා කරළියට ආවා. ඒක තමයි ඇතිවුණ භයානකම තත්ත්වය. අපේ රටේ ක්‍රියාත්මක වන නීතිය ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? මම මේ නීතිය ගැන කතා කරන්න ගිහින් දැන් අපහාස නඩු 2ක් වැටිලා තියෙනවා. මට ඒ ගැන කිසිම දුකක් නැහැ. මගේ සටනේ එක්තරා දිගුවක් ඒක. නීතිය ක්‍රියාත්මක වන ක්‍රමවේදයේ ලොකු අවුලක් තියෙනවා කියලා තමයි මම හැමදාම කියන්නේ. ඒකට සටන් කරලා තමයි මම කිව්වේ පසුගිය කාලේ නීතිය ක්‍රියාත්මක වුණු විදිහ ගැන සතුටු වෙන්න බැහැ කියලා. මේක මුලින්ම කිව්වේ වික්ටර් අයිවන් මහතා. ඊට පස්සේ මේකම කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා කොමසාරිස් අල් හුසේන් කුමරු. හිටපු ජනාධිපතිවරු විටින් විට මේ බව කිව්වා. නමුත් ඒ කාටවත් නඩු වැටුණේ නැහැ. මම රංගධරයෙක් නිසා කිව්ව විදිහේ වරදක් වුණාද දන්නේ නැහැ. අද ඒක කතාවක් වෙලා සමාජය තුළ මම නීතිය ගැන දරන්නේ මේ වගේ මතයක්. නීතියේ සේවය මුදලට ලබාගන්නා තුරු ලෝකයේ කිසිම රටක වන දූෂණය වළක්වන්න බැහැ. පොල් ගෙඩියක්, අඹ ගෙඩියක් කඩා ගන්න නඩු ගැන මම කතා කරන්නේ නැහැ. මේ තත්ත්වය ලංකාවේ විතරක් නොවේ. වෙන රටවලත් දකින්න ලැබෙනවා. හොඳම උදාහරණය ජමාල් කගෝෂියේ මරණය. මිනීමරුවන් කවුද කියලා සියලු සාක්ෂි තියෙද්දිත් මිනීමරුවන් අල්ලා ගන්න බැරිවුණා. සල්මන් කුමාරයාගෙන් කිසිම ප්‍රශ්න කිරීමක්වත් කළේ නැහැනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් පවා ඒ සිද්ධියේදී කටයුතු කළේ පුද්ගල මරණයට වඩා රට ගැන හිතලා. සාක්ෂිකරුවන් මිලදී ගැනිම්, සාක්ෂි සැඟවීම්. විනිසුරුවන්, තෝල්කයා සහ රෙජිස්ට්‍රාර් වැනි අය මිලදී ගැනීම් ඉතිහාසයේ හැම තැනම අඩුවැඩි වශයෙන් සිදුවුණා. මේ අතර ශ්‍රේෂ්ඨ විනිසුරුවනුත් හිටියා. නෙවිල් සමරකෝන්ව පත් කළේ ජේ.ආර්. තමන්ට රුචි නඩු තීන්දු ලබාගන්නනේ මේ පත්කිරීම් සිදුකරන්නේ. නමුත් නෙවිල් සමරකෝන් තමන්ව පත් කළ ජනාධිපතිට විරුද්ධව වැඩ කළා. ඔහු ඉතිහාසයේ රන් අකුරින් ලියවුණේ ශ්‍රේෂ්ඨ අගවිනිසුරු කෙනෙක් විදියට. ඊට පසු කාලෙක ආපු සමහර අගවිනිසුරුවරුන්ට චෝදනා තිබුණා. සරත් සිල්වා විකාරයක් කරගත්තා නීතිය. ඉතාම පහත් විදියට නීතිය යොදාගෙන පළිගැනීම් පවා කළා. මහින්ද රාජපක්ෂ හිතුවා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියගෙන් තමන්ට අවශ්‍ය විදිහේ තීන්දු ලබාගන්න. අන්තිමේ දිවි නැගුමට එරෙහිව තීන්දුව දුන්නාම තරහා වුණා. ඊට පස්සේ ආපු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා වැනි අය තමන්ව පත් කළ ජනාධිපතිට එරෙහිව තීන්දු දුන්නා. ඔබ ඕනෑ තරම් දූෂණ ගැන කතා කරනවා. ඒවායින් ප්‍රයෝජනයක් වෙලා තියෙනවද? පාර්ලිමේන්තුවේ ඉඳගෙන තමන්ගේම පක්ෂය ගැන තමන්ගේම පක්ෂයේ නායකයන් ගැන පවා මම කතා කරනවා. ඒකට මට විවිධ අවස්ථාවල විවිධ ප්‍රචාර ලැබිලා තියෙනවා. මුළු සත්තු වත්තේම ඉන්න සත්තුන්ගේ නම්වලින් මාව හඳුන්වනවා. අපහාසාත්මක කතා ඉවරයක් නැහැ. නමුත් බහුතර ජනතාවක් මම කියන දේ විශ්වාස කරනවා. ලංකාවෙ විවිධ ප්‍රදේශවලින් හැමදාම අපට දූෂණ ගැන පැමිණිලි ලැබෙනවා. අපි කරපු හෙළිදරව්වලින් සමාජයක් විදිහට ගත්තොත් 95%ක් පමණ සාර්ථක වෙලා තියෙනවා. ඇමැතිකමින් ප්‍රයෝජනයක් තියෙනවාද? සිවිල් පුරවැසියෙක් විදිහට කටයුතු කරනවාට වඩා පහසුවෙන් වැඩි වගකීමකින් වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම නිතරම ඉන්නේ ජනතාවත් එක්ක. ජනතාවගේ ප්‍රශ්නවලට නිරන්තරයෙන් විසඳුම් ලබා දෙනවා. මේ වගේ කාරණාවලදී ලබා දෙන විසඳුම නීත්‍යානුකූලව ලබාදීමට මට හැකිවී තිබෙනවා. ඒ වගේම අපි ජනතාවගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් ඕනෑම ආයතනයකින් පහසුවෙන් සහ වගකීමෙන් එය ඉටු කර ගැනීමට හැකිවී තිබෙනවා. ඔබ මහාමාර්ග රාජ්‍ය ඇමැති. මොනවාද ඉදිරියේදී කෙරෙන ව්‍යාපෘති ගණනාවක් සිදු කරනවා. රජයෙ මේ ව්‍යාපෘති සඳහා බොහෝ විට යොදාගන්න බලන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ. දක්ෂිණ අධිවේගය කළේ චීන සමාගමක්. එය එච්චර සාර්ථක නැහැ. ඒකේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. දැන් දක්ෂිණ අධිවේගයේ ප්‍රශ්න මතුවෙන කාලේ ඇවිල්ලා. ඒත් අපේ රටේත් හොඳ තාක්ෂණයක් තියෙනවා. අපි ඉදිරියේදී මේ මේ ව්‍යාපෘතිවලට අපේ ව්‍යවසායකයන්ට වැඩි ඉඩක් වෙන් කරනවා. එතකොට ඒ අයගේ ණය කටයුතු සිදුවෙන්නේත් දේශීය බැංකු තුළින් මේකත් අපිට හොඳ තත්ත්වයක්. ශ්‍රී ලාංකික වන ව්‍යාපෘති ඉදිරියේදී සැලසුම් කරනවා. අපේ ඉදිකිරීම්වල ප්‍රමිතිය චීනයට වඩා ඉතා ඉහළින් තියෙන බවට සහතික ලැබී තිබෙනවා. හරිහැටි නිවැරදිව කටයුතු කළොත් මේ හරහා අපිට විදේශීය ඉදිකිරීම් ලබාගන්න පුළුවන් තත්ත්වයක් අනාගතයේදී ඇතිවේවි. නමුත් පසුගිය කාලයේ හැමදේම සිදුවූයේ කොමිස් මුදල්වලට යට වෙලානේ. මේ නිසා තමයි අපි ණයකාරයෝ වුණේ. ආණ්ඩුව දවසින් දවස පිරිහෙනවා නේද? අපි හොරු අල්ලනවා කියලා ආවේ. ඒකට අපි වැඩ කරගෙන යනවා. අපි අල්ලස් හා දූෂණ කොමිසම බලවත් කළා. එෆ්.සී.අයි.ඩී. එක පිහිටෙව්වා. බරපතළ වංචා දූෂණ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පිහිටෙව්වා. සී.අයි.ඩී. එකට ඇඟිලි ගහන එක නැවැත්තුවා. අද ලෝකයටම පිළිලයක් වුණු මාකඳුරේ මධුෂ් වගේ අයත් අල්ලලා තියෙනවා. අද ව්‍යවස්ථාදායක සභාව බලවත් නිසා ජනාධිපතිටවත් හිතුමතයට වැඩ කරන්න බැරිවෙලා තියෙනවා. අධිකරණය පිරිසුදු කරගෙන යනවා. අපේ මේ වැඩකටයුතු නිසා ජාත්‍යන්තරයෙන් අපට හොඳ නමක් ලැබුණා. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පවා අපට ලබාගන්න පුළුවන් වුණා. පසුගිය කාලයේ අපට එක දිගට සම්බාධක තහංචි තිබුණා. නමුත් අපේ රජයට පුළුවන් වුණා මේ තත්ත්වයෙන් රට මුදා ගන්න. දැන් ජාත්‍යන්තරය තුළ අපට හොඳ පිළිගැනීමක් තියෙනවා. බොහෝ රටවල් අපිත් එක්ක මිත්‍රශීලීයි. යුරෝපා මාළු තහනමෙන් අපට අහිමි වුණු ඩොලර් කෝටි ගණනක් අපි නැවත අපි ලබාගත්තා. රාජ්‍ය සේවයේ පඩි වැඩි කළා. විපක්ෂයට හිත රිදෙනවා ඇති මේ දේවල් කරනකොට. ඒත් අපි රජයක් හැටියට පසුගිය කාලය සමග සසඳන කොට පැති ගණනාවක් හුඟක් ඉදිරියෙන් ඉන්න බව කියන්න පුළුවන්. ජනතාවත් පෙරට වඩා ලොකු නිදහසක් භුක්ති විඳගෙන ඉන්නවා. කවුද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා? නම් කීපයක් යෝජනා වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය වගේ නම් ඒ අතර තියෙනවා. තවත් නම් කීපයක් තියෙනවා. ඒක ගැන දැන්ම කතා කරන්න ඕනේ නැහැ. මම හිතන්නේ දැන් කතා කළොත් ඒකට වටිනාකමක් නැති වෙනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළාම අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරන්නම්කෝ. පසුගිය වාරයේදීත් අපි අන්තිම මොහොතේ මෛත්‍රි වගේ දිනන අපේක්ෂකයෙක් ඉදිරිපත් කළානේ. දේශපාලන උපක්‍රමයක් ලෙස අන්තිම මොහොත දක්වාම තබාගන්නවා. ඇයි එජාපය පළාත් සභා ඡන්දවලට බය? ඕක ඔය හදපු කතාවක්. එහෙම බයක් නැහැ අපි චකිතයක් බයක් නැහැ. ජනතාව අතරට යන්න අපි ජනතාවට බොහෝ දේ කරලා තියෙනවා. මිනීමරලා නැහැ. සුදූ වෑන් එවලා නැහැ. ඇයි ඉතින් ඡන්දවලට බය වෙන්නේ. ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ තියෙනවා. මිනිසුන් නිදහසේ හුස්ම ගන්නවා. විපක්ෂය බොරුවට කෑ ගැහුවට ජනතාව දන්නවා රට තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය. ඔබ වඩාත්ම කැමැති සිනමාවටද? දේශපාලනයටද? මේ අංශ දෙකේම තීන්දු තීරණ ගත්තේ ජනතාව. ජනතාව ආදරය කරන තාක් මේ අංශ දෙක තුළම මට ඉන්න පුළුවන්. මේ අංශ දෙකටම මම ආදරෙයි. රසිකයොත්, ඡන්දදායකයොත් මාව ප්‍රතික්ෂේප කරන තාක් කල් මම වැඩ කරගෙන යනවා. මගේ සිනමා කටයුතුවලත් අන්තර්ගතයේ තිබුණේ දේශපාලනය. වන්ෂොට්, නවරියන්, පාර්ලිමන්ට් ජෝක්ස්වලින් ඔබ දන්නවා ඇති. මේ දෙකම සුන්දර විෂයයන් දෙකක්. දෙකේම පූර්ණකාලීනව ඉන්න පුළුවන් වෙලා තියෙනවා. මට ඒකට සුදුසුකම් තියෙනවා. ඉදිරියේදී රඟපෑමේ යෙදෙනවද? මට නිවාඩු තියෙන වෙලාවට ඒ කටයුතුවල යෙදෙනවා. අවුරුද්දකට අඩුම තරමේ චිත්‍රපටයක් හෝ කිරීම තමයි මගේ අරමුණ. නිදහස් පුද්ගලයෙක් නිසා මේ සියල්ලටම මට කාලවේලා තියෙනවා. සිනමාවෙන් කිසිවිටෙක එයින් ඈත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. සිනමාව අපව ජීවත් කරවනවා. හොඳ චරිතයක් හම්බ වුණොත් ඕනෑම වෙලාවක ඒක බාරගන්න ලෑස්තියි. උසාවියට අපහාස කළාට ජම්පරේ අඳින්න වෙයිද? ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක්. විනිසුරුවන් 12 දෙනෙක් මගේ වීඩියෝ පට බලලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තුළින් ඒ කතා විකාශය වුණා. මගේ නඩුවේ සාක්ෂිකරුවන් 42ක් ඉන්නවා. ඊට අමතරව තවත් සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් තියෙන ලැයිස්තුවේ ජනාධිපතිතුමාත් සාක්ෂිකරුවෙක් විදිහට ඉන්නවා. ඔහු තමා ප්‍රධාන සාක්ෂිකරු. අල් හුසේන් කුමාරයාත් මේ ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි බලනවා ඔහුවත් මේකට සාක්ෂිකරුවෙක් විදිහට ගෙන්වන්න බැරිද කියලා. මේ දිනවල ඒ ගැන සොයා බැලීම් සිදුකර ගෙන යනවා. ඒ වගේම නීතියෙන් පීඩා විඳින හඬක් නැති ජනතාව වෙනුවෙන් කතා කරලා මට ජම්පරය අඳින්න වුණොත් ඒක මම සතුටින් භාරගන්නවා. මට සිරඳඩුවම් දෙන කාලය ගත කරල හිරෙන් එළියට එනවා. හැබැයි අම්මා මුත්තා කිව්වත් සමාවනම් ඉල්ලන්නේ නැහැ. මම කිව් එක් ප්‍රකාශයක්වත් ඉල්ලා අස් කර ගන්නෙත් නැහැ. ඒ ගැන මට කිසිම කනගාටුවක් නැහැ. කුඩුසල්ලිවලින් චිත්‍රපට හැදූ නිෂ්පාදකයින් සිටින බවක් ඔබ කිව්වා? මුජාර්ගේ සල්ලිවලින් හදපු චිත්‍රපටය ගැන මම කිව්වේ මුජාර් කියන්නේ වෝඩ් ප්ලේස්වල හිටිය කුඩු රජා. මොහොමඩ් සියාම්ගේ මස්සිනා. චිත්‍රපටයේ නම සෙල්වම්. අධ්‍යක්ෂණය කළේ සංජය ලීලාරත්න. කැමරා අධ්‍යක්ෂණය ජයනාත්, ප්‍රධාන නිළිය මාලනී ෆොන්සේකා. දැන හෝ නොදැන මේ චිත්‍රපටය සිදු කෙරුණේ මුජාර්ගේ සල්ලිවලින්. චිත්‍රපටයේ ප්‍රධාන අමුත්තා ගෝඨාභය රාජපක්ෂ. ආරක්ෂක අමාත්‍යාංශයේ හෙලිකොප්ටර් කඳවුරුවල දර්ශන සියල්ලටම සහයෝගය දැක්වූයේ ආරක්ෂක අමාත්‍යාංශය මාලනී ෆොන්සේකා හරහා. මේ අය හුඟාක් දෙනෙක් මැලේසියාවේ මුජාර්ගේ ගෙදර පවා ගිහින් තියෙනවා. අදටත් ඒ චිත්‍රපටයේ මුදල් ලබාගන්නවත් කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ. මධුෂ්ගේ සාදයට යන්න ගිහින් ගුවන් ගමන් වැරදිලා හැරිලා ආපු කෝටිපති යුවළ කවුද? මේ අය ගැන සියලු වීඩියෝ අපි අදාළ තැන්වලට දීලා තියෙනවා. ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගත් වීසා බලපත්‍ර ආදියේ තොරතුරු තියෙනවා. මේවා ගැන මීට වඩා හෙළිකළොත් එය විමර්ශන කටයුතුවලට බාධාවක් වෙන්න පුළුවන්. නඩු කටයුතුවලට අවශ්‍ය භාණ්ඩ පාස්පෝට් ආදිය විනාශ කරන්න පුළුවන්. ඒ නිසා කට ඉස්සර කරගන්න බැහැ. සමහර විස්තර එළියට ගිය නිසා තමයි නඩුවලට අවශ්‍ය හුඟාක් දේවල් ලබාගන්න බැරිවුණේ. කසාදයක් බඳින්න අදහසක් නැද්ද? හොඳ ප්‍රශ්නයක්. එහෙම කිසිම අදහසක් නැහැ. හැබැයි ප්‍රේම සම්බන්ධකම් නම් තියෙනවා. මට කිසිම බැඳීමක් නැති නිසා තමයි මේ තරම් වැඩ කොටසක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අවිවාහක බවේ උපරිම සතුට මම විඳිනවා. රාහුලයෙක් උපන්නා නම් බැඳීමක් ඇති වුණා නම් මේ ගමන මේ විදිහට යන්න බැහැ. අබ්දුල් කලාම්, නරේන්ද්‍ර මෝදි වගේ අයට වැඩ කරන්න පුළුවන් වුණෙත් බැඳීම් නැති නිසයි. දීප්ති ප්‍රමිතා අධිකාරි
 

More News..