brand logo

මගේ නංගි වෙලා සිටි ඇය දැන් පෙම්වතිය වෙලා

14 March 2022

චතුරංග කියන්නේ මේ වෙනකොට කලාවේ කැපී පෙනෙන සහ නැගී එන රංගන ශිල්පියෙක්. වැඩියම නිර්මාණ තුළින් නොපෙනුණත් මේ වෙද්දි තරුණ පරම්පරාවේ වගේම වැඩිහිටි පරම්පරාවෙත් චතුරංගව නොදන්න කෙනෙක් නැති තරම්. මේ දිනවල චතුරංග අලුත්ම වෙනස්ම විදිහේ වැඩකට අත ගහලා තියෙනවා. ඉතින් ඒ ගැන අහන්න අපි චතුරංගව සම්බන්ධ කරගත්තා. ඔහු මේ අලුත් වැඩේ ගැන අපිට කිව්වේ මෙහෙම. ‘’මේ දවස්වලනම් මගේ අලුත්ම වැඩේ ළංවී ටෙලිනාට්‍ය. මේක මගේ දෙවෙනි ප්‍රධාන චරිතය. ඒක විතරයි දැනට තියෙන වැඩේ. නමුත් වෙනස්ම ආකාරයේ ක්‍රියාදාම චරිතයක් තමයි මම නිරූපණය කරන්නේ. මං හිතනවා ප්‍රේක්ෂකයන් එය හොඳින් වැළඳගනීවි කියලා. මට කාලයක් වැඩ භාරගන්න බැරිව හිටියා කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් මේ චරිතයෙන් මට ආයෙම ප්‍රේක්ෂකයා හමුවට එන්න අවස්ථාව ලැබුණා.’’ අපි චතුරංගව මුලින්ම ප්‍රධාන චරිතයකින් දැක්කේ හදවතේ කතාව නාට්‍ය හරහා. එහි ආදරණීය අයියා කෙනෙකුගේ චරිතය තමයි චතුරංග රඟපෑවේ. හදවතේ කතාවේ හිටපු අයියයි නංගියි ‘ලංවී’ තුළින් පෙම්වතුන් වෙලා.. ඒ හැඩගැසීම ගැනත් ඔහු කිව්වේ මෙහෙම දෙයක්. ‘’ඒ අනුගත වීමනම් සෑහෙන්න ලොකු අභියෝගයක් වුණා අපි දෙන්නටම. මොකද එයාව මට හදවතේ කතාවෙන් මගේ නංගි විදිහටනේ මම භාරගත්තේ. නමුත් මේකෙ ඇය මගේ පෙම්වතිය. මුලදි ඒ චරිතයට අනුගත වෙන්න වගේම ඇය මගේ නංගි කියන සිතුවිල්ල කඩාගන්න ටිකක් අමාරු වුණා. ඇයටත් එහෙමයි. දැන්නම් අවුලක් නෑ. ඇයගෙත් මගෙත් සහයෝගයෙන් අපි දෙන්නම මේ චරිතෙට ලස්සනට අනුගත වුණා.’’ කලාව තුළ චතුරංග යන්නේ සැහැල්ලු මන්දගාමී ගමනක්. අපි අහලා බැලුවා මේ ගමන චතුරංගට අවාසිදායක වෙන්නෙ නැතිද කියලත්.. ‘’මට කලාවේ ඉදිරියට යන්න උනන්දුව තියෙනවා. නමුත් මම කැමතියි එක වැඩකට හරියට අවධානය යොමු කරලා කරන්න. මොකද කාලෙත් එක්ක වගේම ලංකාවේ නාට්‍ය තරගකාරීත්වයත් එක්ක අපිට චරිතයකට හැඩගැහෙන්න ලොකු කාලයක් වුවමනා වෙනවා.’’ හැබැයි අපිට චතුරංගව ගීත රූප රචනා තුළින්නම් බොහෝවිට දකින්න ලැබෙනවා. චතුරංග කිව්වේ නාට්‍යවලට වගේම රූප රචනාවලටත් එක වගේ ආරාධනා ලැබෙනවා කියලා. ඒ වගේම ඔහු මෑතකදී පෙනී සිටි නදිනි ප්‍රේමදාසගේ ගීතයේ රූප රචනාව ගැන මතක් කරමින් කිව්වේ මේ වෙනකොට එයටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතින බවයි. චතුරංග මේ වෙනකොට කලාවට අවතීර්ණ වෙලා ගතවෙලා තියෙන්නේ වසර තුනක් වගේ කෙටි කාලයක්.. ඒ කාලය ඇතුළත ඔහු කලාවෙන් ලබාගත් දේවල් පිළිබඳවත් අපිට මෙහෙම කිව්වා.. ‘’කලාවෙන් මම ලබාගත්තු ලොකුම දේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය. ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක රංගනයේ යෙදිලා මම ලොකු අත්දැකීම් ගොන්නක් ලබාගත්තා. ඒකත් නවකයෙක් විදිහට මට ගොඩක් වටිනවා.’’ අවසාන වශයෙන් රූපගත කිරීම් අතරතුර ඔහුට මුහුණ පාන්නට සිදු වුණු අමතක නොවන සිදුවීමක් මතක් කරන ගමන් අපි මේ කතාබහ අවසන් කළා.. ‘’අමතක නොවන සිදුවීම් කිහිපයක් තියෙනවා. නමුත් මම මේ මෑතකදි වුණ දෙයක් කියන්නම්. මගේ අලුත්ම නාට්‍ය ‘ලංවී’ එකේ රූපගත කිරීමකදී මට තිබුණා බයික් එකක දොරක් කඩාගෙන ගෙයක් ඇතුළට යන්න. සාමාන්‍යයෙන් ඔය වගේ කොටස්වලට නළුවා වෙනුවට යොදන්නේ ආදේශක නළුවෙක්වනේ. නමුත් මට ඕනෙ වුණා මටම ඒ කොටස රඟපාන්න. මම කලින් එහෙම සිදුවීමක් කරලම නෑ. මොකද කලින් මම රඟපාලා තියෙන්නෙ අහිංසක චරිත. කොහොමහරි ඒ සීන් එක එකපාරින්ම ගන්නත් පුළුවන් වුණා. ඒ සිදුවීම එක් අමතක නොවන සිදුවීමක්.’’ එරංදි කෞශල්‍යා
 

More News..