brand logo

මගේ ජීවිතේට සහකාරියක් එපා - ධනුක දිල්ෂාන්

02 June 2020

හොඳ පුතෙක්, ශිෂ්‍යයෙක්, යාළුවෙක්, සහෝදරයෙක්, මස්සිනා කෙනෙක් පමණක් නෙමෙයි ඉදිරියේදී හොඳ ප්‍රේමවන්තයෙක්. හැමෝටම එක වගේ ආදරය කරන, මේ කොල්ලා කවුද? ඔහු තමයි තණමල්විල දීප්ත. දැන් ගොඩක් දෙනෙක් කතා කරන්නේ දීප්ත කියලා නේද? ඔව් හැමෝම කතා කරන්නේ එහෙම තමයි. කාලයක් නිහඬව සිටියේ ක්ෂේත්‍රය ගැන කලකිරීමෙන්ද? ඔව්. මීට අවුරුදු 2 හමාරකට කලින් තීරණයක් ගත්තා මියුසික් වීඩියෝවලට සහ මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. අනෙක් කාරණාව තමයි තණමල්විල කොල්ලෙක් දිප්තට ආරාධනය ලැබීමත් සමගම එම තිරපිටපත හා රොෂාන් අයියා සමග අවුරුදු දෙක හමාරක් පමණ ගතකරන්න ලැබුණා. මම නිහඬව සිටියේ ඒ කාලය තුළ නාට්‍යයට සම්බන්ධ බොහෝ කරුණු එක්රැස් කරගන්න සිදු වෙච්ච නිසා. පොතපත කියෙව්වා. නාට්‍ය ගැන හැදෑරුවා. මෙම විෂය සම්බන්ධ දේවල් එකතු කරගැනීමටත්, මේ කලාව හරියටම අවබෝධ කර ගන්න ඕන නිසා. අනෙක් හේතුව තමයි හැමෝම කියන්න ගත්තා මියුසික් වීඩියෝවලයි මෙගා ටෙලි නාට්‍යවලයි නිතරම ඉන්නවා නේද කියලා. ඒකත් මට වෙනස් කරගන්න ඕන වුණා. නිතරම පේනකොට අගයක් නෑ කියන එක අවබෝධ කරගත්තා. ඉදිරියටත් මෙගා නාට්‍යවල, මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්න අදහසක් නැහැ. ඔබ ක්ෂේත්‍රයට ඇවිත් කොයිතරම් කාලයක් වෙනවද? පුංචි කලේ ඉඳන්ම කලාවට ගොඩක් ආස කළා. පාසල් යන කලේම රූපවාහිනියේ යම් යම් ළමා වැඩසටහන්වල නිවේදන කටයුතු කරා. පාසලේ 7 වසරේ සිට නාට්‍ය හා රංගකලාව හැදෑරුවා. මං ඉගෙන ගත්තෙ ලුම්බිණි විද්‍යාලයේ. ලුම්බිණි රඟහළේ 7 වසරේ සිට උසස් පෙළ වෙනකම්ම වාණිජ විෂය හැදෑරුවත් වේදිකා නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළා. ලුම්බිණි විද්‍යාලයෙන්, ලුම්බිණි රඟහලෙන් ලබපු පන්නරය අති විශාලයි. ඒ ගැන ගොඩක් දෙනෙක් දන්නෙත් නෑ. මම ගොඩක් දෙනෙක්ට කියලත් නෑ. මම හිතනවා දැන් මට ඒ ගැන කියන්න කාලය ඇවිත් කියලා. තණමල්විල කොල්ලෙක් බලන හැම කෙනෙක්ටම ඒක අවබෝධ වෙලා ඇති කියලා මම විශ්වාස කරනාව. අමතක නොවන නිර්මාණය මොනවද? එහෙම කියන්න අමාරුයි. නමුත් කවදාවත් අමතක වෙන්නේ නැති නිර්මාණය තමයි තණමල්විල කොල්ලෙක්. මට විතරක් නෙමෙයි රොෂාන් අයියා ඇතුළු අපි සියලුම දෙනාටම ඒක සදා අමරණීයයි. ඒවගේම මගේ මුල් අවදියත් අමතක නැහැ. තරංග දිසානායක, රවින්ද්‍ර විජේරත්න, ලහිරු මුදලිගේ වැනි අය මාව දැකලා, මගේ දක්ෂතා තෝරාගෙන ක්ෂේත්‍රයේ ගමනක් යන්න යොමු කළා. මෙගා නාට්‍ය, මියුසික් වීඩියෝවලින් මම කරළියට ආවේ ඒ අය නිසා. සිනමාවෙන් ලැබෙන ආරාධනා කොහොමද? සිනමාව තමයි මගෙත් බලාපොරොත්තුව. ඒ හරහා මගේ වෘත්තිය පැත්තෙන් ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒ කිසිවක් තනිවම කරන්න බෑ. සිනමාවෙත් ගොඩක් හොඳ ආරාධනා ලැබිලා තියනවා තණමල්විල කොල්ලෙක් හරහා. තණමල්විල කොල්ලෙක්, මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද? අපි හැමෝම දැනගෙන සිටියා ප්‍රේක්ෂකයන් මෙය වැලඳගනී කියලා. මොකද අපි හැමෝම ඒ තුළ ජීවත් වුණ නිසා. මෙතරම් ලොකුවට ජනප්‍රිය වෙන්න හේතුව quarantine නිසා කියලා සමහරෙක් කියනව නම් එයට මං විරුද්ධයි. මොකද quarantine වුණේ නැත්නම් අපිට පාරකවත් බැහැල යන්න වෙන්නේ නැති තත්ත්වයක් උදා වෙන්නේ. මොකද මිනිසුන් ඒ තරමට මේ නාට්‍යය වැලඳගෙන ඉන්නේ. රොශාන් රවින්ද්‍රව ඔබට දැනුණේ කොහොමද ? රොෂාන් අයියව මම දැනගන්නේ තණමල්විල කොල්ලෙක්ට කලින් සිටමයි, අපේ ඇසුරේදී රොෂාන් අයියට මාව දැන ගැනීම තුළ, මම රොෂාන් අයියව අවබෝධ කර ගැනීම තුළ තමයි මේ නිර්මාණය කරන්නෙ. රොෂාන් රවින්ද්‍ර කියන්නේ මට මුණගැසුණු නිහතමානී ලස්සන හදවතක් ඇති, අවබෝධයක් තියෙන මනුෂ්‍යයෙක්, තවත් කෙනෙක්ට ලෝභ නැතුව ඕනෑම දෙයක් දෙන සහෝදරයෙක්, තාත්තා කෙනෙක්. ඔහු තමා මම දුටු තණමල්විල කොල්ලා. ඔබගේ පවුලේ තොරතුරු මොනවද? අම්මයි, තාත්තයි, නංගි, මමයි තමා මගේ ජීවිතේ. මීට කලින් නම් අපි එක්ක මගේ අත්තම්මායි, සියයි, මාමයි උන්නා. හැබැයි ඔවුන් අපෙන් වෙන් වුණා. අමතක කරන්න බැරිම දේ තමයි මගේ මල්ලි. හිතාගන්න බැරි මොහොතක ඔහු අපිව දාලා යනවා. 2001 දී මගේ මල්ලිට තැලිසීමියා රෝගය වැලඳෙනවා. එය පරම්පරාවෙන් වැලඳෙන රෝගයක්. නමුත් අපේ කිසිවෙකුට එම රෝගය නෑ. එය වැලඳෙන්නේ රජයෙන් ගැසූ වැරදි එන්නතකින්. මගේ එකම යාළුවා, සහෝදරයා මට නැතිවෙන්නේ එහෙමයි. මල්ලිගේ නම දුලාජ් හිරුෂාන්. මං දැනෙනවා එයා මගේ ළඟ ඉන්නවා කියලා. මගේ නංගි ට එතකොට මාස 4යි. නංගිට මන් ගොඩක් ආදරෙයි මගේ පණ එයා. එයාගේ නම නෙත්මි අශින්ෂා. එයා හොඳින් ඉගෙනගන්න ළමයෙක්. කොළඹ අනුලා විද්‍යාලයේ උසස්පෙළ හදාරනවා. මගේ පවුල තමයි මගේ හැමදේම. හැම මොහොතකම තාත්තා තමයි මගේ වීරයා වුණා. මගේ තාත්තා ගැනත් මට කියන්න දෙයක් තියෙනවා. එයා ගොඩක් හොඳ නළුවෙක්. මට එයත් එක්ක හැරෙන්නවත් බෑ. එයා රඟපාන්න කැමැත්තෙන් හිටියා, නමුත් එයාගේ ආසාව පැත්තකට තියලා මට නළුවෙක් වෙන්න උදව් කළා. මේ හැමදේම මට ලබා දුන්නේ මට ඉගැන්නුවේ මගේ තාත්තා. පොඩි කාලේ ඉඳන්ම අවංක වෙයන් කියලා මට ඔහු ඉගැන්නුවා. ධනුකටත් දීප්තට වගේ චිත්‍ර අඳින්න පුළුවන්ද? ඒ වගේ ලොකුවට චිත්‍ර අඳින්න මං උත්සාහ කරලා නෑ. නමුත් මට චිත්‍ර අඳින්න පුළුවන්. මට මතකයි පොඩි කාලේ මං බලාගෙන ඇඳපු චිත්‍රයක් ජපානයේ උළෙලකට තේරුණා. ධනුක ආදරය ගැන මොකද හිතන්නේ? මීට කලින් මම හිතන් හිටියේ ආදරය කියන දේ හරි සුන්දරයි කියලා. නමුත් ආදරය කියන්නේ දරා ගන්න බැරි බැඳීමක්. ලොකු ප්‍රශ්න ගොඩක්. දැන් මම ගෙවන්නේ ජීවිතය ගැන ලොකු අවබෝධයකින්. මේ අවබෝධයක් සමග ගෙවන ජීවිතයේදී ආදරය දකින්නේ වෙනස් විදියකට. කෙනෙක්ට ආදරය ලැබෙන්න ඕනෑ. ඒ වගේම ආදරය සුන්දර වෙන්න ඕන නෑ. නමුත් එහෙම ආදරයක් පවත්වාගෙන යන්න තරම් මට්ටමක නෙමේ මම ජීවත් වෙන්නේ. ඒක නිසා අවුරුදු තුනක් හදවතට ළංකරගෙන තිබුණ පිරිසුදුයි කියන ආදරය අත්හරින්න මට සිද්ධ වුණා. ඒ අපි දෙන්නගෙම හොඳට මට හිතෙනවා මට ආදරයක් පවත්වාගෙන යන්න තරම් හිතේ ශක්තියක් නැහැ කියලා. ඒ ගැන කැමැත්තකුත් නැහැ. ඒක නිසා මම කවදාවත් ආදරය කරන එකක් නැහැ. යශෝධරා සිදුහත් ආදරය තමයි මේ ලෝකේ තිබුණ පිරිසුදුම, ආදර්ශමත් ආදරය. ආදරය සිල්ලර නොවී අපි හැමෝටම එකම විදියට ආදරය බෙදන්න ඕන. එය පෙම්වතිය, සැමියා, සහෝදරයා, දෙමවුපියන්ට සැමට එක හා සමාන විය යුතුයි. ජීවන සහකාරිය තෝරගෙන ඉවරද? මම මුලදිත් කිව්වේ සහකාරියක් හොයාගෙන හිටියා. ගෙවල්වලටත් කියලා ඒ දේවල් නියම ආකාරයෙන් කරලා තිබුණේ. නමුත් එය නොගැළපෙන නිසා මම එතැනින් අයින් වුණා. කොටින්ම කියනව නම් අත්හැරියා. දැන් තීරණය කරල ඉවරයි මුළු ජීවිත කාලෙම තනියම ජීවත් වෙන්න. සමහර විට කෙනෙක් මාව තේරුම් අරගෙන මට ආදරය කරයි. එහෙම වුණොත් මගේ මේ සිතිවිල්ල වෙනස් වෙන්න පුළුවන්. එතකං මම මගේ දෙමාපියන්ව බලාගෙන පුළුවන් විදිහට සතුටින් ජීවත් වෙනවා. දීප්තට වගේ නිවැරදි මග පෙන්වීමක් අද සමාජයේ ඉන්න තරුණයන්ට ලැබෙන්නේ නෑ. එහෙම අවස්ථා ලැබුණත් ඔවුන් ඒවා මගහැර ගන්නවා. කොතනද වැරැද්ද තිබෙන්නේ? ඔව් ඒ වැරැද්ද තියෙන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ හිත්වල. ලංකාවේ හොඳ අධ්‍යාපන මට්ටමක් තිබෙනවා. නමුත් හොඳ අධ්‍යාපන ක්‍රමයක් තමයි නැත්තේ. පෙර පාසලේ සිටම දරුවන් වර්ග කිරීම (category) විය යුතුයි. දරුවො එක එක්කෙනාගේ දක්ෂතාවය මත වෙනස්. එක දරුවෙක් පන්තියේ පළමු වෙනියා වෙනවා, තව කෙනෙක් අන්තිමයා වෙනවා. අන්තිමයා වුණ දරුවා ඉගෙන ගන්නේ නෑ කියන්න බැහැ. ඒ දරුවාගේ දක්ෂතාවය අඳුරගෙන නැතිකම තමයි තියෙන්නේ. මේ වර්ගකිරීම (category) සමහර රටවල තිබෙනවා. තමන් දක්ෂ දේ සොයාගෙන ඉදිරියට යෑම තුළ කෙනෙක් නිර්මාණය කිරීම සිදුවෙනවා. එම ක්‍රියාවලිය හේතුවෙන් ආකල්පමය මට්ටමෙන් රටක් දියුණු වෙනවා, තණමල්විල කොල්ලෙක් හරහා හොඳම නිදසුන දීලා තියෙනවා. පතෝලයා, කිතුලා, කුරා මේ හැමෝම O/L අසමත්. හැබැයි එහෙමයි කියලා ඒ අයගේ ආකල්ප වැරදි නෑ. සමාජයේ ගොඩක් උඩට යන අය මේ වගේ කට්ටිය ගැන අවධානය යොමුකරවන්නේ නෑ, ඔවුන්ව දෙපැත්තකට බෙදෙනවා. නමුත් අර වගේ තම දක්ෂතාවය තෝරාගෙන ඒ තුළින් ඉදිරියට ගියා නම් මේ දොගොල්ලම ගොඩ. තව කෙනෙක් පාගමින් ඉදිරියට යන්න සමාජ ක්‍රමයක් තමයි ලංකාවේ තියෙන්නේ.. ප්‍රේක්ෂකයා ඔබව දැකලා පුරුදු විදියක් තිබුණා. දැන් ඔබ ඊට වෙනස්? මගේ ගොඩක් රසිකයෝ මං ගැන හිතන් හිටියේ මං සෙල්ලක්කාර, දඩබ්බර කොල්ලෙක් කියලා. කාලෙක මම ගොසිප් මවන චරිතයක්. හැබැයි මම ගැන පැතිරුණු කතාවලට උත්තර දෙන්න ගිහින් මම නිවැරදියි කියන්න ගියා නම් මේ අය තාමත් මාව විවේචනය කරනවා. මම කිසි දෙයක් කතා කළේ නැහැ. උත්තර බැන්දෙත් නැහැ. මම මගේ පාඩුවේ උන්නා. මම සෙල්ලක්කාරයෙක්ද, රස්තියාදුකාරයෙක්ද කියන එක මම බලාගත්තා. හැබැයි මම එහෙම කෙනෙක් නෙවයි. මම හොඳ ක්‍රීඩකයෙක්. ඒ ක්‍රීඩාව නිසා තමයි මේ ඉවසීම ලබා ගත්තේ. දීප්ත වගේම යාළුවෝ ඉස්සරහ බොක්කෙන්ම වැඩකරන කොල්ලෙක්. ලෝකයට මම ගැන චරිත සහතික දෙන්න අවශ්‍ය නැහැ. මට දැනෙන්නේ දැනටමත් මම ජීවිතය දිනල කියල විතරයි. ධනුක කියලා කියන්නේ මොනවගේ කෙනෙක්ටද? මමත් තවම හොයනවා. හොයා ගත්තොත් කියන්නම්. මාව ඇසුරු කරන ගොඩ දෙනෙක් මගෙන් අසන ප්‍රශ්නයක් තමයි ඔය. මමිතා අබේසිංහ
 

More News..