brand logo

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

19 January 2020

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා සංසදයේ නායක සී. වී. විග්නේෂ්වරන්, ඉන්දියාවේ චෙන්නායිහි පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගිවීම හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම කොටි සංවිධානයේ අම්පාර හා මඩකලපුව සන්නද්ධ හිටපු නායකයා වූ කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් පසුගිය සතියේ දෙමළ මාධ්‍යවල වැඩි වශයෙන් කතාබහට ලක්විය. ඉන්දියාවේ චෙන්නායි නුවරදී ලෝක දෙමළ සමුළුව පැවැත්වුණේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ ප්‍රබලයන් රැසකගේ හා දෙමළ ඩයස් පෝරාවේ මෙහෙයවීමෙනි. ඊට සහභාගි වූ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන් එම සමුළුවට එක්ව සිටි, සුපිරි සිනමා නළු රැජිනි කාන්ත්ට උතුරට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. රැජිනිකාන්ත් දකුණු ඉන්දියාවේ පමණක් නොව මෙරට දෙමළ ජනතාවගේද වන්දනාමානයට ලක්වන චරිතයකි. දෙමළ ජනතාව ඔහුට සලකන්නේ දේවත්වයෙනි. ඉකුත් කාලයේදී ඔහු ප්‍රකට ව සිටියේ ඊළාම්වාදියකු ලෙසය. මේ නිසා රජිනිකාන්ත් මෙරට දෙමළ ජනතාවට බලපෑම් කළ හැකි චරිතයකි. මේ වනවිට උතුරු නැගෙනහිර පවත්නා වාතාවරණය මෙන්ම දේශපාලන තත්ත්වය පිළිබඳ හා ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මෙම දෙදෙනා අතර කරුණු සාකච්ඡා වූ බව දෙමළ මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉදිරි මැතිවරණ ඉතා තීරණාත්මක බව අවබෝධ කරගෙන සිටින සී. වී. විග්නේෂ්වරන් උතුරු පළාත් සභාවේ බලය ඇල්ලීම හා මහ මැතිවරණයේදී ඔහුගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සංසදයට මන්ත්‍රී ධුර කිහිපයක් හිමිකර ගැනීම සඳහා විවිධ සැලසුම් සකස් කරමින් සිටින බව නොරහසකි. ඒ අනුව උතුරේ හිටපු කොටි සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල ඡන්දය තමන් වෙත නැඹුරු කරගැනීම විග්නේෂ්වරන් ඇතුළු පිරිසගේ සැලසුමයි. මෙම දෙමළ සමුළුවේදී රැජිනිකාන්ත්ට උතුරට පැමිණෙන ලෙස විග්නේෂ්වරන් ආරාධනා කරනු ලැබුවේ එම පරමාර්ථය ඉටුකර ගැනීමට බව පෙනේ. කෙසේ වුවද මෙම ඇරැයුම රැජිනිකාන්ත් පිළිගත් බවයි සී. වී. විග්නේෂ්වරන් පවසන්නේ. යම් හෙයකින් රැජිනිකාන්ත් මෙරටට පැමිණියහොත් දෙමළ ජනතාවගේ ආකර්ෂණය දිනාගෙන ඇති ඔහු විග්නේෂ්වරන් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන්ට සහාය දෙන ලෙස ඉල්ලීමක් කළහොත් එය විග්නේෂ්වරන් පාර්ශ්වය ලැබූ විශාල ජයග්‍රහණයක් වනු ඇත. එහෙත් විග්නේෂ්වරන්ලාගේ මෙම සැලැස්ම ක්‍රියාවට නැංවීමට දෙමළ ජාතික සන්ධානය කිසිසේත් ඉඩ ලබා දීමට සූදානම් නැති බව සඳහන්ය. විග්නේෂ්වරන්ගේ ඉන්දීය සංචාරයත් සමගම තමිල්නාඩුවේ සිටින දෙමළ දේශපාලන පක්ෂ නායකයන්ට දිගින් දිගටම පණිවුඩ දෙමින් දෙමළ සන්ධාන නායක ආර්. සම්බන්ධන් ඇතුළු එම සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් විග්නේෂ්වරන්ගේ අභිමතාර්ථ ඉටුකර ගැනීමට ඉඩ නොතබන ලෙස ඉල්ලීම් කර තිබේ. දෙමළ ජනතාවගේ එකම නියෝජිතයන් වන්නේ දෙමළ ජාතික සන්ධානය බවත් එය සමස්ත දෙමළ ජනතාව පිළිගෙන ඇති බවත් පෙන්වා දෙන එම සන්ධානය ඉන්දියාව මේ මොහොතේ කළ යුත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ගැනීමට අවශ්‍ය පූර්ණ සහාය දෙමළ ජනතාවට හා තමන්ට දීම බවද එම පණිවුඩ මගින් අවධාරණය කර ඇත. කෙසේ වුවද උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැතිවරයා ඉන්දියාවේදී එරට මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට පූර්ණ බලතල සහිත දේශපාලන විසඳුමක් අවශ්‍ය බවයි. ඒ සඳහා ශ්‍රී ලංකා රජයට බලපෑම් කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගත යුතු බවද විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබේ. කෙසේ වුවද දෙමළ සන්ධානයට හෝ සී. වී. විග්නේෂ්වරන්ට ඉන්දීය දේශපාලනඥයන්ගෙන් මේ දක්වා ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව එම පාර්ශ්වල ප්‍රබලයන් සඳහන් කර තිබිණ. විග්නේෂ්වරන් රැජිනිකාන්ත් උතුරට ගෙන්වීමට උත්සාහ ගන්නා අතරේ නැගෙනහිර පළාත නියෝජනය කරන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ මාධ්‍ය පුවත්පත් මෙන්ම වෙබ් අඩවිවලද වැඩි වශයෙන් ප්‍රවෘත්ති පළකර තිබිණ. තමන්ට ද්‍රෝහියා යැයි කීමට කිසිවකුටත් අයිතියක් නොමැති බවත්, එවැනි අයිතියක් තිබූ එකම තැනැත්තා තමන්ගේ ජාතික නායකයා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බව කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබේ. ඔහු එසේ සඳහන් කර තිබුණේ අම්පාර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි. මෙහිදී වැඩිදුරටත් කරුණා අම්මාන් ප්‍රකාශ කර තිබුණේ දෙමළ ජනතාවගේ වීරයන් වීමට කිසිදු දෙමළ දේශපාලනඥයකුට නොහැකි බවය. තමා දුටු එකම දෙමළ ජාතික නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් පමණක් බවත් ඔහුට සම කිරීමට දැනට තමන් දෙමළ ජනතා නායකයන් කියාගන්නා කරළියේ සිටින කිසිවකුටවත් හැකියාවක් නොමැති බවද කරුණා අම්මාන් මෙහිදී පෙන්වා දී තිබේ. කෙසේ වුවද මෙම ප්‍රකාශය හරහා දෙමළ ජාතික සන්ධානය පමණක් නොව නොයෙක් පාර්ශ්ව කරුණා අම්මාන් සමග දැඩි සේ විරසක වී ඇත. ඔවුන් විවිධ චෝදනා කරුණා අම්මාන් වෙත එල්ල කරද්දී මේ සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවැනි අදහසකි. ‘‘දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තර ගැටුම් රැසකට මුහුණ දීලයි ඉන්නේ. එම සන්ධානයේ විවිධ අය විවිධ අදහස් පළ කිරීම නිසා තමයි මේ ගැටුම් ඇතිවෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගියදා ප්‍රකාශයක් කරලා තියෙනවා දෙමළ ජාතිකත්වය ගැන කතා කරන්න අයිතිය තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ අයට විතරයි කියලා. එහිදී ප්‍රධාන වශයෙන්ම එක් අයකුට තමා ඒ සඳහා අයිතිය තියෙන්නේ කියලත් එයා බරපතළ විදියට ප්‍රකාශ කරලා තිබුණා. ඒ අයිතිය තියෙන්නේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවයි සේනාධිරාජාට විතරයි කියලා. ඒ වගේම එම්. ඒ. සුමන්දිරන්ටවත් මඩකලපුවේ හරි අම්පාරේ හරි ඉන්න මන්ත්‍රීවරුන්ට නායකත්වය ගැන කතා කරන්න අයිතියක් නැහැ කියලත් කියලා තියෙනවා. එයා ඒ විදියට කතා කරන්නේ මොන පදනමකින්ද? අවුරුදු ගණනාවක් උතුරු නැගෙනහිර දරුණු යුද්ධයක් පැවැතුණා. මේ අයට යුද පිටිය ගැන එහි සිදුවුණ දේ ගැන දැනුමක් තිබුණද? යුද්ධයට තමන්ගේ දරුවන් යවපු දෙමව්පියන් වින්ද වේදනාව මේ අයට දැනුණද? කීදෙනෙක් අතුරුදන් වෙලා තියෙනවද? ඒ පවුල්වල අම්මලාගේ, තාත්තලාගේ, සහෝදර සහෝදරියන්ගේ, බිරින්දෑවරුන්ගේ, දරුවන්ගේ හදවත්වල තියෙන වේදනාව මේ අයට දැනෙනවාද? ඒ තත්ත්වෙට මුහුණ දුන් අය රෑ දහවල් නැතිව කොයිතරම් සෝ සුසුම් හෙළනවාද? මේවා ගැන වගක් විත්තියක් නැතිව වගේ ඉන්න දෙමළ සන්ධානේ තමයි මේ ජාතිකත්වයක්, ජාතික නායකත්වයක් ගැන මහ ලොකුවට කතා කරන්නේ. ඔය දෙමළ සන්ධානේ නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කන්චිකුඩියාරු ගන වනාන්තරයේ භාගයක්ම මේ වෙනකොට විනාශ කරලා තියෙනවා. ඒ තමන්ගේ දේශපාලන බලය යොදාගෙන. ඔය කැලේ තියෙන ගස්වලින් බොහොමයක් වැව්වේ එල්ටීටීඊය. කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් වනාන්තරයේ ගස් හිටවන්න කොටි සාමාජික සාමාජිකාවන් යොමු කළා. එහෙම හිටවපු ගස් ටික තමා මේ විදියට කපලා විනාශ කරන මේ දේශපාලකයන් මහා උජාරුවට ජාතික නායකත්වය ගැන කතා කරන්නේ. මේ අය දිගින් දිගටම කළේ දෙමළ ජනතාව රවටන එකයි. ඒක ඉතාම සූක්ෂම ආකාරයට කරමින් මේ අය අහිංසක ජනතාව අමතක කරලා ඒ අයගේ න්‍යාය පත්‍රවලට අනුව වැඩ කරගෙන යනවා. මැතිවරණයක් ළඟ එනකොට බොරු පොරොන්දු එක්ක ජනතාව අතරට එන මේ අය අහිංසක දෙමළ ජනතාව මුළා කරලා ඡන්ද ටික අරගෙන පාර්ලිමේන්තු ගියාට පස්සේ හැමදේම අමතක කරනවා. එහෙම කරලා නිකන් ඉන්නේ නෑ. වැඩ කරන අයට විවිධ චෝදනා කරනවා. මට ජාතිද්‍රෝහියා කියලා බරපතළ විදියට චෝදනා කරලා තියෙනවා. මට එහෙම චෝදනා කරනවා නම් කරන්න පුළුවන් එකම කෙනා තමයි වේළුපිල්ලේ ප්‍රභාකරන්. හැබැයි එයා වුණත් මට කවදාවත් එහෙම චෝදනා කරලා නැහැ. මේ කිසි කෙනකුට ජාතික වීරයෙක් වෙන්න බැහැ. ඒක වෙන්නෙත් නැහැ. ඒ අය එහෙම හිතාගෙන ඉන්නවා නම් ඒවා සිතුවිලි විතරක්ම වේවි’’ යැයි කරුණා අම්මාන් වැඩිදුරටත් කියා සිටියේය. දෙමළ සන්ධානය හා කරුණා අම්මාන් අතර මෙම විරසකය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතිද්දී දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී තවත් පෙරළිකාර ප්‍රකාශයක් යාපනයේදී කළේය. දෙමළ ජනතා නායකත්වයට වඩාත්ම සුදුසු පුද්ගලයා තමන් බවත් එය සැලකිල්ලට ගෙන දෙමළ ජනතා නායකත්වය තමන්ට ලබාදිය යුතු බව ඔහු තරයේ අවධාරණය කර තිබිණ. ‘‘පැරණිම දේශපාලන පක්ෂය තමයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ. එම පක්ෂය වෙනුවෙන්ම වසර ගණනාවක් තිස්සේ කැපවෙලා කටයුතු කරපු මට පක්ෂය හරහා මේ රටේ දෙමළ ජනතාවට විශාල වැඩ කොටසක් ඉටු කළා. පක්ෂයෙන් ඉවත් වෙලා හිටපු හැම කෙනෙක්ම ආයේ පක්ෂයට සම්බන්ධ කරලා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ශක්තිමත් පක්ෂයක් විදියට ජනතාව ඉදිරියට ගෙනල්ලා තියෙනවා. මගේ වයස දැන් අවුරුදු 87 ක්. පක්ෂයක් විදියටත් එහි නායකත්වය විදියටත් ඉතා පරිණත මට්ටමකයි අපි ඉන්නේ. ඒ නිසා මේ වෙලාවේ දෙමළ දේශපාලන පක්ෂ සියල්ල එක්වෙලා තීරණයකට ඇවිල්ලා දෙමළ ජනතාවගේ නායකයා ලෙස මාව පත්කරන්න ඕනෑ. ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් මම සපුරලයි ඉන්නේ. දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් සොයන්නට නම් අපි සියලු දෙනා එක්වෙන්න ඕනෑ. එහෙම එක්වෙලා නව නායකත්වයක් යටතේ මේ සඳහා ඉදිරි ගමනකට අවතීර්ණ වෙන්න, ඒ ගමනට නායකත්වය දෙන්න මම සූදානම්. ඒකට අනෙක් දේශපාලන පක්ෂවල වගේම නායකයන්ගේ සහයෝගය ලැබෙන්න ඕනෑ. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රධාන ගැටලුවට විසඳුම් ලබාදෙන්න නම් ඉන්දීය ෆෙඩරල් ක්‍රමය උදාහරණයට ගන්න ඕනෑ. මේ සම්බන්ධයෙන් මම අවස්ථා ගණනාවකදී පැවැති රජයන්ට යෝජනා භාරදීලා තියෙනවා. ඒත් ඒවා ක්‍රියාවට නැංවුණේ නැහැ. මේ ගැටලුවලට විසඳුම් සොයන්න තියෙන එකම ක්‍රමය ඉන්දීය ෆෙඩරල් ක්‍රමය විතරයි. ඒ නිසා අපි සියලු දෙනා එක්ව මේ විසඳුම කරා රජය යොමු කරන්න උනන්දු කරවිය යුතුයි. ඒ සඳහා මම මගේ උපරිම සහයෝගය දෙනවා විතරක් නෙවෙයි මේ සඳහා සම්පූර්ණයෙන්ම කැප වෙනවා’’ යයි වී. ආනන්ද සංගරී යාපනයේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහෙත් මේ සඳහා කිසිදු ප්‍රකාශයක් පසුගිය දින කිහිපය තුළ දෙමළ ජාතික සන්ධානය නිකුත් කර නොතිබිණ. ලසුනික ජයසුන්දර
 

More News..