brand logo

මගේ ගෙදර ආයුධ නෑ තියෙන්නේ ආදරය විතරයි - නලින් පෙරේරා

13 May 2019

‘ඔවුන් අප සමග එකට හඬා වැලපුණහ.... අපගේ දේව මෙහෙයන් පවත්වන්නට ඔවුන්ගේ විහාරස්ථාන වල ඉඩ සලසා දුන්නහ... වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපගේ දේවස්ථාන පිළිසකර කිරිම වෙනුවෙන් පරිත්‍යාග කිරිමටද ඔවුන් සූදානම්ය..... ඔව්, ඒ අපේ සහෝදර බෞද්ධ ජනතාවය.... රටේත්, පොදු ජනයාගේත් ආරක්ෂාව මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කොට ඇත... අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට කිතුනුවන් වන අපද සූදානම් බව සංකේතවත් කිරීමටත්.. වෙසක් පොහෝ දින අපගේ නිවෙස්වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා බුදු රජාණන්වහන්සේගේ තෙමගුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමග එකතු වෙමු...! මෙදා සැරේ වෙසක් කලාප නැති වේවි... නමුත් අපි එකතු වී අපේ නිවෙස්වල එක පහනක් හෝ දල්වා වෙසක් සිරියෙන් මුළු රටම එක වෙසක් කලාපයක් කරමු....’ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා සිය මුහුණුපොතේ දැමූ ඒ සටහන බෞද්ධ සිත් මත සහෝදරත්වයේ සිසිලස ගැල්වීය. ඒ හෘදයාංගම සටහනට නිමිති වූයේ මොනවාදැයි අපි නලීන් පෙරේරාගෙන් ඇසුවෙමු. ඔහු දීර්ඝ පිළිතුරක් දුන්නේය. එහි සෑම ජාතියකටම, සෑම ආගමකටම සිතන්නට බොහෝ දේ ගැබ් විය. එනිසා ඒ පිළිතුර එලෙසින්ම මෙසේ සටහන් කරන්නෙමු. මම කලාකරුවෙක්. මාව මෙතැනට ඔසවා තබන්නට ජාති ආගම් භේදයක් නැතිව මට අත්පුඩි ගහල තියෙනවා. මම කොළඹ එන්නේ කටුවාපිටිය පල්ලිය පාරෙන්. ඒ එද්දි මාව දැකලා ‘නලීන් අයියා’ කියලා අතවනලා කෑ ගහපු අය අද මට පේන්නත් නැහැ. ඔවුන් අද මේ ලෝකෙත් නෑ. සමහර ගෙවල් වහපු විදිහට ඒ විදිහටම තියෙනවා. මොකද පවුල් පිටින්ම මියගිහින්. ඒ දුක වේදනාව අපේ හදවත්වලින් ඈත් වෙන්නේ නැහැ. සෑම කළු වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. මට මෙතැනදි බෞද්ධ ජනතාවගෙ හැසිරීම හරහා, සහෝදරත්වය හරහා මම ඒක දැක්කා. අපි මේ රිදී රේඛාව මෙතැනදිම ලස්සනට මතුකරගන්න ඕනා. මම හිතනවා මේ සිද්ධියෙදි පල්ලි ඇතුළෙ ඉඳලා මැරුණු කිසිම කෙනෙක්ට දුක් වෙන්න දෙයක් නැහැ. ඔවුන් එක පයින්ම ස්වර්ගයේ. ඒ අය මේ ජීවිතේ අරගෙන ඒ විදිහටම ස්වර්ගයට ගියා හා සමානවයි මම දකින්නේ. ඒ සිද්ධිය හරහා ඔවුන් අපට දීපු පණිවුඩය ජාති ආගම් වශයෙන් බෙදෙන්නේ නැතිව අපට එකතුවෙන්න කියන එකයි. අපි මෙය සුබවාදීව ගනිමු. මේ මොහොතේ මේ රටේ බෞද්ධයාගේ හැසිරීම ඇත්තෙන්ම මට හිතාගන්නත් බැරි තරම්. මේ වෙලාවේ කාදිනල්තුමා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියා මේක ඉවසීමෙන් දරාගන්න කියලා. එය අහලා මිනිස්සු ඒ විනීත බව, ඉවසීම රැකගත්තා. පල්ලියට යන එන, කතෝලික පවුල් පරිසරයක් තියෙන උදවිය විතරක් නෙමෙයි, මේ රටේ බහුතර අයිතිවාසිකම තියෙන, මහ ජාතිය වන, සිංහල බෞද්ධයාත් කාදිනල්තුමාගේ ඒ වචනයට අවනත වුණා. ඒ දක්වපු ගෞරවය මගේ හදවතේ සදා රැඳෙනවා. ඊයේ පෙරේදා දවසක මම දැක්කා ස්වාමීන්වහන්සේලා විශාල පිරිසක් කටුවාපිටිය පල්ලියට ඇවිත් එතැන සුද්ධ පවිත්‍ර කරනවා. පල්ලිය පරිසරය පුරාම කහ සිවුරක් අතුරලා වගේ. ඒ දැකපු මගේ ඇස්වලට කඳුළු ආවා. මගෙ දෙයියනේ. මොන තරම් උත්තරීතර ආදරයක්ද මේ. කතෝලික ජනතාවට ආදරය සෙනෙහස අවශ්‍යම මොහොතක... හොඳයි, මේ මොහොතේ මෙය සිදුනොවී තව අවුරුදු දෙකක් මේ විදිහට අපට නොදැනී මේ අන්තවාදය ඔඩු දිව්වා නම් සිංහලයාව සමූලඝාතනයක් වෙන්න ඉඩ තිබුණේ නැහැ කියලා කාටවත් කියන්න පුළුවන්ද? මොකද අපි සන්නද්ධ වෙලාද හිටියේ. අපි පන්සල්වල ආයුධ තියාගත්තද? අපි කතෝලික පල්ලිවල ආයුධ තියාගත්තද? අපි ගෙදර ආයුධ තියාගත්තද? මේ රටේ බෞද්ධ, කතෝලික, හින්දු අපි සේරම ඉතාම සැහැල්ලුවෙන් හිටපු කාලයක මුස්ලිම් සමහරෙක් මේ වගේ සැලසුම් සහගතව සන්නද්ධ වුණේ ඇයි? මම මගේ ආදරණීය මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලනවා මේ රටේ ශ්‍රී ලාංකිකයන් විදිහට ජීවත්වීමට කැමති නම් මේ අනවශ්‍ය අන්තවාදයට එරෙහිව අනෙක් හැමෝටම කලින් ඔබ පෙරට එන්න. ඔබේ සමාජය ඇතුළෙන් මතුවූ විෂබීජය විනාශ කරන්න අපිට වඩා අවස්ථාව තියෙන්නේ ඔබට. ඒක අපිට වඩා ඉක්මනට දකින්නේ, දැනෙන්නේ ඔබට. වැරදි පාරෙ යන ඔබේ සහෝදරයා සහෝදරියව හරි පාරට ගන්න උත්සාහ කරන්න. දවසට පස්පාරක් ආගම අදහන ඔය තරම් භක්තිමත් පිරිසක් අතරින් මනුෂ්‍යත්වයේ පයට පෑගෙන්නවත් සුදුසු නැති තරමේ මුළාවකට වැටුණු පිරිසක් බිහිවුණේ කොහොමද කියල හොයන්න. අවංකම සිතින් ඒ කටයුත්තට පෙලඹෙන්න කියලා මම ඉල්ලනවා. මේක තමයි අපේ පාරාදීසය. ඒක මරන්න ඉඩ තියන්න එපා. මම ජීවත්වෙන මීගමු නගරයේ පසුගිය කාලෙ පාකිස්තාන ජාතිකයෝ රංචු පිටින් ගැවසුනා. එක සිංහලයෙක් ගියේ නැහැ ඇඟිල්ල දික් කරලා ‘තොපි කව්ද?’ කියලා ඒ අයගෙන් අහන්න. ඒ අයට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ලබාදුන්නා. මේ තරම් සුන්දර පරිසරයකට ගිනි තියන්න දෙන්න එපා. කඩු කිණිසි වහා අකුළාගන්න. එහෙම නැතිව අන්තවාදී හැඟීම් තියෙනවා නම් මේක තමයි සුදුසුම වෙලාව ඔවුන්ට රටින් පිටවෙන්න. අරාබි ක්‍රමයට අනුව කාගෙන බීගෙන ඒ විදිහට ජීවත් වෙන්න. බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා, අනේ ඔවුනට වීසා හදල දෙන්න, මේ රටින් යන්න. ගිහින් ඔවුන්ට ඔවුන් හොයන පරිසරයේ ජීවත්වෙන්න අවස්ථාව සලසා දෙන්න. තමන් ශ්‍රී ලාංකිකයෙක්ය කියන අවංක හැඟීමෙන් යුක්තව අනෙක් ජාතීන් එක්ක සහෝදරත්වයෙන් ජීවත්වෙන්න උවමනාව තියෙන මුස්ලිම් සහෝදර සහෝදරයින් වෙනුවන් ඒ දේ කරන්න. මගේ ගෙදර ආයුධ නැහැ. මගේ ගෙදර ආදරය විතරයි තියෙන්නෙ. මොන ජාතියෙ කෙනෙක් මගේ ගෙදරට ආවත් මම පිළිගන්නේ ඒ ආදරයෙන්. ඒ ආදරය හැමෝගෙම නිවෙස්වල තියාගන්න. හැමෝගෙම සිත්වල තියාගන්න. ඒක හරියට සූත්‍රයක් මතුරනවා වගේ, ආගම කියනවා වගේ, යාච්ඤාවක් කරනවා වගේ අපි නිතර නිතර හිත ඇතුළෙන් කියමු. වෛරයෙන් වෛරය නොසන්සිඳෙනවා වගේම, අවි ගත්තෝ අවියෙන් නැසෙන බවත් දැනගෙන අපි ජීවත්වෙමු. මටත් පුළුවන් ඕනි නම් පිටරටක ජීවත් වෙන්න. නමුත් ජීවත් වෙන්න මේ රටට වඩා තැනක් මම දකින්නේ නැහැ. බෝම්බ පුපුරවාගෙන අමුතු ස්වර්ගයක් හොයා යන්න අවශ්‍ය නැහැ. අපි මේ ජීවත්වෙන රට ස්වර්ගයක්. අපි පිටරටකට ගියාම තමයි අපිට අපේ රටේ අගය දැනෙන්නේ. මේ තරම් ලස්සන රටක, මේ තරම් ලස්සනට සහයෝගයෙන් ජීවත්වෙන්න පුළුවන්කම තියෙන, මේ වගේ රටක් ලෝකෙ තව තියෙනවද? මම මුලින්ම බෞද්ධ ආගමික ස්ථානයකට ගියේ ඉස්කෝලෙ පොඩි පංතියක අධ්‍යාපන චාරිකාවක් ගියපු වෙලාවක ඒ ගියේ දළදා මාලිගාවට. එදා මට බුදුහාමුදුරුවන්ව දැනුනා. මට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් මලක් පූජාකරන්නම ඕනි වුණා. ඒ පුංචි ළමයා කාලෙම මට මේ ධර්මයේ තියෙන නිවුනු බව දැනුනා. මම ගොඩක් බණ අහන කෙනෙක්. මගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලබලා තියෙනවා බුද්ධ වචනයෙන්. ඒ තුළින් මොන තරම් සිත් එළිය කරන්න පුළුවන්ද කියන විශ්වාසය මට තියෙනවා කතෝලිකයෙක් වෙලත්. මම යුද්ධ කාලේ හමුදා සෙබළුන් වෙනුවෙන් ගීත ගායනා කරන්න උතුරට ගියහම මම කෝවිල්වලට යනවා. ඒ ගිහින් කෝවිලේ චාරිත්‍ර විධි අනුව ඒ සියල්ල කරලා තියෙනවා. නමුත් මට ඉස්ලාම් ධර්මයේ පහස විඳින්න අවස්ථාවක් උදාවෙලා නැහැ. සැබෑ ඉස්ලාම් ධර්මය අදහන ඒ මුස්ලිම් සහෝදරයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබේ ධර්මය අපටත් කියාදෙන්න. අපිත් එක්ක බෙදාගන්න. ඒ ඉස්ලාම් ධර්මය පල්ලි ඇතුළෙ කූඩු කරන්න එපා. ඒ දහමේ තියෙන ආදරය සෙනෙහස අපටත් බෙදල දෙන්න. මේක තමයි හොඳම වෙලාව මේවා එළියට එන්න. මේ කියන්නේ රෑට ෂෝ එකට ගිහින් පෙරියමුල්ලේ මුස්ලිම් කඩෙන් කෑම කාලා එන කෙනෙක්. ඒ ආහාරයේ රසය විතරක් නෙමෙයි, ඒ ආගමේ රසයත් අපට දෙන්න. ආගමක් ඇතුළෙ මොන ක්‍රමයටද දෙවියන් අදහන්නේ කියන එක අපිට අදාළ නැහැ. ඒ ආගමේ හරයෙන් මොන ක්‍රමයටද යහපත් විදිහට ජීවත්වෙන්නේ කියන එක විතරයි මට අදාළ. මේ පුංචි රටේ අපිට අපිම විතරයි. මේ රටේ බහුතරයක් සිංහල බෞද්ධ ජනතාවට මා කියන්නේ එළැඹෙන වෙසක් සමය බුදුරජාණන් වහන්සේ කියූ දේ ක්‍රියාවට නංවන්න හොඳම වෙලාව.... මෛත්‍රිය, කරුණාව දක්වන්න හොඳම වෙලාව....බුදුරජාණන් වහන්සේ කියා දුන් දහමේ වටිනාකම මේ රටේ සියලු අනෙක් සියලු ආගම් වෙනුවෙන් පෙන්වාදෙන්න හොඳම වෙලාව.... මගේ ගෙදර මේ වෙසක් සමය ඒ වෙනුවෙන් ආලෝකමත් වෙනවා. ඉන්ද්‍රජිත් සුබසිංහ
 

More News..